ජනිත සුරත් තායිලන්ත ගුවන් හමුදාවට!

2112

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජනිත සුරත් හට මෙතෙක් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෙකුට ලැබුණු ඉහළ අවස්ථාවක් ලැබුණු පුවතක් වාර්තා විය. වොලිබෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ නමක් දිනා සිටින තායිලන්ත ලීග් වොලිබෝල් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව නම් එයයි.

නාත්තන්ඩිය ක්‍රීඩකයන්ගේ අවහිර මැද කටානට ශූරතාවය

බර අවි කිහිපයකම වෙඩි බලය සමඟින් 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල්..

වෘත්තීය වොලිබෝල් කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ලැබීම ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයෙකු ලබන භාග්‍යයකි. මන්ද යත්, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමේ දී පවා ඔවුන්ට තරග මුදලක් ලබාගැනීමේ හැකියාව නොපැවතීම නිසයි. ජනිත ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ තායිලන්ත ගුවන් හමුදා ක්‍රීඩා සමාජයටයි.

2016 දී ඇරඹි එම ක්‍රීඩා සමාජය මේ වන තෙක් ලීග් ශූරතාවයන් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත. ඊට අමතරව ආසියානු අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ 9 වැනි ස්ථානය ද ඔවුන් විසින් හිමිකරගෙන ඇත. එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වරාය අධිකාරිය වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ජනිත සුරත්ට තායිලන්ත ජාතික ලීගයට ක්‍රීඩා කිරීමේ වරම හිමිවීම සැබවින්ම සතුටුජනක ය. එහි දී වරාය අධිකාරියේ නායකත්වය දැරුවේ ද ජනිත විසිනි.

මීගමුව දුටුගැමුණු විද්‍යාලයෙන් වොලිබෝලය හඳුනාගත් ජනිත පසුව මීගමුව ශාන්ත මරියා විද්‍යාලයට ඇතුලත්ව, පසුව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය ද දැරූ ක්‍රීඩකයෙකි. තවමත් 29 වැනි වියෙහි පසුවන ඔහු සෙසු ක්‍රීඩකයන්ගේ ගෞරවය ද, පුහුණුකරුවන්ගේ සහ අවශේෂ පාර්ශවයන්ගේ ද ගෞරවය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

දක්ෂ උසපන්දු ප්‍රහාරකයෙකු සහ පන්දු පිරිනමන්නෙකු වන ජනිත, 2016 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු පිරිනමන්නා යන සම්මාන ද්විත්වයම තමන් සතුකරගත්තේය. 2016 වසරේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු වොලිබෝල් අනුශූරතාවය දිනාගත්තේ ජනිතගේ නායකත්වයෙනි. එහි දී ශ්‍රී ලංකාව එවැන්නක් දිනාගත්තේ වසර 10කට පසුවයි.     

2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ දී ද ඔහුට දක්ෂතම පන්දු පිරිනමන්නාගේ සම්මානය හිමිවිය.

සෑම විටම තම දස්කම් සමඟින් බුද්ධිය ද ක්‍රීඩාවට යොදාගන්නා ජනිතට, මෙම තරගාවලිය සාර්ථකව නිම කොට නැවත ශ්‍රී ලංකා බිමට පා තබන්නට ThePapare.com අපි, සමස්ත ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රජාව සමඟින් ආසිරි පතන්නෙමු.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<