මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 55 වන සහෝදරයින්ගේ සංග්‍රාමයත් සමඟ ආරම්භ වන අතර එහි දී ඉසිපතන විද්‍යාලය අවසන් වරට 1999 වසරේ දී ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඔවුන් පවත්වා ගෙන ඇති ආධිපත්‍ය බිඳ හෙළීමේ අරමුණින් මෙවර ප්‍රබල තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම තරගයට පිවිසෙනු ඇත.

මෙවර ඔවුන්ගේ තරග ආකෘතියේ වෙනසක් සිදුකිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ අනුව තරගය අවසානයේ තීරණයක් ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් දෙකේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කර ඇත. මේ දක්වා පවත්වා ඇති තරගවලින් තරග 45ක් අවසන් වී ඇත්තේ ජය-පරාජයෙන් තොරව ය.

අතීතයෙන් බිඳක්

ඉතිහාසය පුරාවට තීරණයක් සහිතව තරග අවසන් වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. ඒ අනුව අවසන් වරට තරගයක් තීරණයක් සහිතව අවසන් වී ඇත්තේ 1999 වසරේ දී වන අතර එහි දී තරගයේ ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ ඉසිපතන විද්‍යාලය යි. තර්ස්ටන් විද්‍යාලය අවසන් වරට ලබාගත් ජයග්‍රහණය 1992 වසරේ දී මැකන්සි පෙරේරාගේ නායකත්වය යටතේ වාර්තා කරගෙන ඇත.

ඒ අනුව තීරණයක් සහිතව අවසන් වූ තරග ගණන 9ක් වන අතර ඉන් තරග 5ක් තර්ස්ටන් විද්‍යාලයත් ඉතිරි තරග 4 ඉසිපතන විද්‍යාලයත් ජයග්‍රහණය කර ඇත.

එහි දී ක්‍රීඩකයෙක් එක් ඉනිමක දී වාර්තා කර ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස 2002 වසරේ දී ඉසිපතන විද්‍යාලයේ සමන් නිශාන්ත නොදැවී වාර්තා කර ගත් ලකුණු 150 සටහන්ව ඇති අතර අනෙක් පසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා 1996 වසරේ දී වාර්තා කර ගත් කඩුලු 10 පන්දු යවන්නෙක් වාර්තා කර ගත් ඉහළම දක්ෂතාවය ලෙස සටහන් වී ඇත.

තර්ස්ටන් විද්‍යාලය

නිපුන් ලක්ෂාන්ගේ නායකත්වය යටතේ මෙම තරග වාරයට ක්‍රීඩා කරනු ලබන තර්ස්ටන් විද්‍යාලය 2017/18 තරග වාරයේ දී ඔවුන් සහභාගී වී ඇති තරග 13න් 3ක් ජයග්‍රහණය කරමින් සහ තවත් තරග 7ක් ජය-පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇත.

මෙම තරග වාරයේ ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වන ලකුණු 616ක් ලබාගෙන ඇති ආරම්භක පිතිකරු සවන ප්‍රභාෂ්ගේ දක්‍ෂතා ඔවුන්ට මෙම තරගයේ දී බෙහෙවින් වැදගත් වනු ඇති අතර අනෙක් පසින් මෙම තරග වාරය තුළ ලකුණු 478කට හිමිකම් කියන යෙෂාන් වික්‍රමආරච්චිගේ දායකත්වය ද ඔවුන්ට තීරණාත්මක සාධකයක් වනු ඇත.

තරග 11ක් තුළ කඩුලු 43ක් දවා ගැනීමට සමත්ව ඇති සඳරු ඩයස් පන්දුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වීමට සමත්ව ඇති අතර නායක නිපුන් ලක්ෂාන් (කඩුලු 36ක්) සහ අයේෂ් හර්ෂණ (කඩුලු 35ක්) තවදුරටත් ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති.

තර්ස්ටන් විද්‍යාලයීය සංචිතය: නිපුන් ලක්ෂාන් (නායක), යෙෂාන් වික්‍රමආරච්චි, නිමේෂ් ලක්ෂාන්, ඉමේෂ් විරංග, සවන් ප්‍රභාෂ්, නිමේෂ් පෙරේරා, අයේෂ් හර්ෂණ, ශලක බණ්ඩාර, පන්සිළු දේශාන්, අනුෂ්ක ප්‍රනාන්දු, ජයවිහන් ප්‍රදීප්ත, බිම්සර රණතුංග, තිනෙත් ප්‍රබුද්ධ, බවන්ත ජයසිංහ, රශ්මික රවිහාර, අවිශ්ක කෞශල්‍ය, යහන් සචිත, සුනෙත් ගුණතිලක, සඳරු ඩයස්

ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය මෙම තරග වාරයේ දී ඉහළම දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව ඔවුන් තරග 12කින් එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කරගනිද්දී තරග 8ක් ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වී, තරග 3ක් පරාජයට පත්වී ඇත.

තරග 8ක දී ලකුණු 500කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති අයන සිරිවර්ධන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන අතර ඊට අමතරව සංජුල බණ්ඩාර සහ ලෙශාන් අමරසිංහ ලකුණු 370 බැගින් සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන සංජුල අබේවික්‍රම ලකුණු 350කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇත. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමු කර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ඔවුන්ට අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත.

තරග 12ක දී කඩුලු 46කට හිමිකම් කියන මදුෂික සඳරුවන් ඔවුන්ගේ වැඩිම කඩුලු ලාභියා වන අතර තවදුරටත් නායක අයන සිරිවර්ධන කඩුලු 37 හා සංජුල බණ්ඩාර විසින් කඩුලු 25 බැගින් දවා ගැනීමට සමත්ව ඇත. මෙම තරග වාරය තුළ ඔවුන්ගේ පන්දු යැවීම එතරම් ඉහළ තත්වයක නොපැවති අතර කෙසේ නමුත් එම තත්වය මෙම තරගයේ දී වෙනස් කර ගැනීමේ අරමුණින් ඔවුන් පසු වනු ඇත.

ඉසිපතන විද්‍යාලයීය සංචිතය: අයන සිරිවර්ධන (නායක), සංජුල අබේවික්‍රම, සංජුල බණ්ඩාර, ලෙශාන් අමරසිංහ, අනූපම හේරත්, දිනත් දිසානායක, තෙවිඳු දික්වැල්ල, මදුෂික සඳරුවන්, එෂාන් ප්‍රනාන්දු, සවිඳු උත්සර, කලීක් අමාත්, මලින්ද අභිෂේක්, අශේන් ලක්ෂිත, සවීන් දන්ත, ලිසුර වීනාත්, මෙනුර පෙරේරා, රසුල වික්සුර, ශාමික වික්‍රමතිලක

අවසන් වශයෙන්

මෙම තරග වාරය තුළ කණ්ඩායම් ද්විත්වය දැක්වූ දක්‍ෂතා පිළිබඳව සලකා බලන විට තර්ස්ටන් විද්‍යාලයට වැඩි වාසි හිමි වන නමුත් අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉසිපතන විද්‍යාලයට ද මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව පවතී.

ඒ අනුව 55 වන සහෝදරයින්ගේ සංග්‍රාමය එළඹෙන 23 හා 24 දිනයන් හිදී පෙරවරු 9 සිට SSC ක්‍රීඩාංගණයේ සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 01 සහ My TV හරහා ඔබ වෙත සජීවීව සමීප කෙරෙනු ඇත.

සජීවී ලකුණු තත්වය, තරග වාර්තා, ඡායාරූප සහ අනෙක් සියලුම විශේෂාංග අදාළ දිනය අවසානයේ ඔබට ThePapare.com වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැක.

සජීවී විකාශය: Thurstan College vs Isipathana College – 55th Battle of the Brothers

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<