අවසන් තරගයේ සැබෑ වාසිය කාහටද?

2998
Royal v Isipathana

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය සාකච්ඡා පිට සාකච්ඡා වලින් අනතුරුව එලඹෙන බදාදා (13) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්තාවක මෙම සටහන ලියවේ.

මේ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යලය සුදුසුකම් ලබා ඇත. ඉසිපතනය පළමු අවසන් පූර්ව තරඟයේ දී බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය ලකුණු 20-24 ලෙස පරාජය කරමින් අවසන් තරඟයේ තම ස්ථානය තහවුරු කරගත් අතර  දෙවන අවසන් පූර්ව තරඟයේ රාජකීයයන් තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලය ලකුණු 15-24 ලෙස පරාජය කරමින් අවසන් මහා තරඟයේ තම ස්ථානය තහවුරු කරගන්නා ලදී.

මෙවර අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා සිටින ඉසිපතන විද්‍යාලය පිළිබඳව සඳහන් කරතොත් මෙම තරඟාවලිය වැඩි වාර ගණනක්  ජයග්‍රහණය කරමින් වැඩි ගෞරව අත්විඳින පාසල ඉසිපතන විද්‍යලය වේ. මෙවර ලීග් ශූරතාවයද අපරාජිතව දිනා ගත් ඉසිපතන විද්‍යලය මෙම අවසන් තරඟය සඳහාද ඉහල මානසිකත්වයකින් පසුවන බවට අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන්ම ඔවුන්ගේ පසු පෙල ක්‍රීඩකයින් ඉතාමත් සුපිරි දස්කම් අතර සිටීම, ඔවුනට විශාල පිටිවහලක් වනු ඇති බව නොඅනුමනය.

පසුගිය ලිපි: අවසන් මොහොතේ තර්ස්ටන් සාන්ත ජෝන් අභිබවයි

“Green Machine“ ලෙස විරුදාවලි ලත් ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර මෙහෙය වනු ලබන්නේ Center ක්‍රීඩක කුෂාන් ඉඳුනිල් විසිනි. නායකත්වයේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ඔහු සැබැවින් ම ඉසිපතනය ජයග්‍රහණය කරා ගෙන යා හැකි නියමුවෙකු වේ. කණ්ඩායමේ උප නායක සුමුදු රන්කොත්ගේ ද මෙම තරඟ සමයේ ඉතාමත් විශිෂ්ට දස්කම් අතර සිටින ක්‍රීඩකයෙකි. මෙම නායක – උප නායක සුසංයෝගය ඉසිපතනයට මහත් ශක්තියක් බවට අමුතුවෙන් කිව යුතු නැත. Wing ක්‍රීඩක චමොද් ප්‍රනාන්දු හා රනිඳු ප්‍රමෝද් ද මෙම තරඟ වාරයේ වැඩි උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉසිපතනයේ ජය මඟට දායක වූවන් බව පැවසිය යුතුය. එමෙන්ම full back ක්‍රීඩක ගයාන් වික්‍රමරත්න ද ඉසිපතනයට ඉතාම වැදගත් අවියක් වන්නේ, රග්බි පන්දුව ගෝල කණු දෙක අතරින් සාර්ථක ලෙස යොමු කිරීමේ භාරදුර කටයුත්ත පැවරී ඇත්තේ ඔහුට බැවිනි. ඉසිපතන විද්‍යාලයේ ශක්තිමත් ඉදිරිපෙල ක්‍රීඩකයින් පිළිබඳව ද ඉසිපතන ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඇතුවාට නොඅනුමානය. අදීශ වීරතුංග, වගීෂ වීරසිංහ , ඩෙවින් ගුණරත්න ද ඉසිපතන කණ්ඩායම මහත් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයන්වේ. මෙම තරඟයේ දී ඉසිපතන විද්‍යාලයීය ඉදිරිපෙල ක්‍රීඩකයින්ට ඉතාමත් විශාල වගකීමක් ඇත. එය නම් රාජකීය විද්‍යාලයේ ප්‍රමුඛතම අවිය වන Rolling Maul හැකි පමණ අවම කර ගැනීම ය.

රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායම පිලිබඳව සලකා බලන විට ගියවර ලීග් ශූරයන් වූ ඔවුන් මෙවර තරඟවාරයට පිවිසෙන්නේ ඉතාමත් ලාබාල නවක ක්‍රීඩකයන් රැසක් සමගය. නමුත් ඔවුන් පිටිය තුල පෙන්වූ දක්ෂතා මත ඔවුන් නවක ක්‍රීඩකයින් යැයි කිසිවෙකුටත් හුවා දැක්විය නොහැක. මෙවර ලීග් තරඟ සමයේ දී ඔවුන් තරඟ 2ක් පමණක් පරාජය වෙමින් සමස්ථ තරඟ සටහනේ 3වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. නිකිල ගුණධීර නායකත්වය දරන රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම සතු ප්‍රබලතම අවිය ඔවුන්ගේ ඉදිරිපෙල ක්‍රීඩකයින් බව මෙම තරඟ සමය තුල ඔවුන් ක්‍රීඩා කල ආකාරය පිළිබඳව විමසිලිමත් ඕනෑම අයෙකුට නොරහසකි. රාජකීය කණ්ඩායමේ වැදගත් ම ක්‍රීඩකයෙකු ලෙස Scrum Half ක්‍රීඩක අශෝක් විජේකුමාර් දැක්විය හැක. ඔහු සතු විශිෂ්ට තීරණ ගැනීමේ හැකියාව රාජකීයයන් අවස්ථා ගණනාවකදීම ජයග්‍රහණය කරා ගෙන යාමට මහඟු රුකුලක් විය. ඔහුගේ එම විශිෂ්ට තීරණ ගැනීමේ හැකියාව මත රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳා පවතිනවා යැයි කෙනෙකු පැවසුවහොත් ඊට විරුද්ධ වීමට අපහසුය. රාජකීයයන් “Match Winner” ලෙස හඳුන්වන ඔවින් ඇස්කි, රාජකීයයන් මහත් බලාපොරොත්තු තබා ඇති තවත් ක්‍රීඩකයෙකි.  රාජකීය කණ්ඩායමේ නිත්‍ය ප්‍රවර්තකයා ලෙස ක්‍රීඩා කරන ඔහු මෙවර තරඟ සමයේ වැඩිම සාර්ථක ප්‍රවර්තන ප්‍රතිශතයක් රාජකීය විද්‍යාලීය වෙනුවෙන් පවත්වාගත් ක්‍රීඩකයාද වේ.

පසුගිය ලිපි: පාසල් රග්බි කණ්ඩායම් වලට පැනවූ තහනමෙන් නිසි අරමුණු ඉටුවෙයිද?

සමස්ථයක් ලෙස මෙම කණ්ඩායම් දෙකම ඉතාම දක්ෂ ආකාරයෙන් මෙම තරඟ සමය පුරාවට ක්‍රීඩා කල කණ්ඩායම් දෙකක් වේ. එමනිසා ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත් විශිෂ්ට තරඟයක් අත්විඳීමට හැකි වනු බව නම් නොඅනුමානය. විශේෂයෙන් ම ඉසිපතන විද්‍යාලයේ පසු පෙල ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය සහ රාජකීය විද්‍යාලයේ ඉදිරි පෙල ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය පිලිබඳව විදුහල් දෙකෙහිම වැඩි බලාපොරොත්තු තබා ඇති බව මාගේ අදහසයි. නමුත් ඉසිපතනයේ ඉදිරි පෙල ක්‍රීඩකයන් ද රාජකීය පසු පෙල ක්‍රීඩකයන් ද එකිනෙකාට නොදෙවනි ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරයි. එම නිසා තරඟයේ ප්‍රථිපලය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කල නොහැකිය. මෙම බදාදා දින පස්වරු 4.30ට මෙම තරඟ සමයේ විශිෂ්ටතම තරඟයක් දැක බලා ගැනීමට ක්‍රීඩා ලොලීන්ට අවස්ථාව උදා වෙනු ඇත. කෙසේ වෙතත් ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලය මෙම තරඟාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය වෙත ලිඛිතව දන්වා තිබුනේ තමන් රාජකීය විද්‍යාලය සමඟ රාජකීය විද්‍යාලයීය පිටියේ දී තරඟ වැදීමට අකමැති බවයි. ඊට හේතුව ලෙස දක්වා තිබුනේ සත්කාරක කණ්ඩායමක් වීමේ වාසිය එක් කණ්ඩායමකට පමණක් හිමි වීමයි. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මීට පෙර ප්‍රකාශ කර සිටියේ සියලුම තරඟ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වෙන බවටයි.

අවසන් සටහනක් ලෙස මා දැක්වීමට කැමති වන්නේ දිවයිනේ ප්‍රධානතම රග්බි ක්‍රීඩා කරන පාසල් දෙකක් ලෙස ඉසිපතන විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අනෙකුත් පාසල් වලට ආදර්ශයක් වන ආකාරයට ක්‍රීඩා කල යුතු බවයි. ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් මහත්වරුන් ලෙස ක්‍රීඩා කර සහෝදරයන් මෙන් පිටව යන මෙන් අප සැමගෙන් ඉල්ලා සිටිමු.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට