ඇෆ්ගනිස්තානය පරදවා අයර්ලන්තයට පහසු එක්දින ජයක්!

190

පසුගිය දා බංග්ලාදේශයට ශූරතාවය හිමිකර දෙමින් අවසන් වුනු තුන්කොන් එක්දින තරගාවලියේ දී එතරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අයර්ලන්ත කණ්ඩායම ඊයේ (19) විශිෂ්ට එක්දින ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ ප්‍රතිවාදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 210ක කුඩා ඉලක්කයක් සාර්ථක ලෙස ආරක්ෂා කර ගනිමිනි. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය තවත් සන්නද්ධ කරයි

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15…

ඊයේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පිටියේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ ඇෆ්ගනිස්තාන නව එක්දින නායක ගුල්බදීන් නයිබ් විසිනි. ඒ අනුව පිතිකරුවන්ට එතරම් යෝග්‍ය නොවන බව පෙනෙන්නට තිබූ තණතිල්ලේ මුලින් පන්දු යැවීමට ඔහු තීරණය කළේය.

ඔවුන් සිතූ පරිදිම අයර්ලන්තයේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර ලකුණු 35ක් වෙද්දී මුල්පෙළ කඩුලු 2ක් ඔවුන්ට අහිමි විය. ඒ අතර මෑත කාලයේ හොඳින් දක්ෂතා දැක්වූ ඇන්ඩි බැල්බර්නිගේ කඩුල්ල ද විය.

කෙසේ නමුත් කලකට පසු නැවතත් ලකුණු අතරට පිවිසි නායක විලියම් පොටර්ෆීල්ඩ් සහ පෝල් ස්ටර්ලින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නගමින් අයර්ලන්ත පිළට වැටුණු වළෙන් ගොඩ එන්නට පිහිට වූහ. පන්දු 94කට මුහුණ දී ලකුණු 71ක් රැස්කළ පෝල් ස්ටර්ලින් ඊයේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ හතරේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමඟිනි. මීට අමතරව නායක පොටර්ෆීල්ඩ් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් රැස්කර ගත්තේය.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා දැවී යාමෙන් අනතුරුව නැවතත් අයර්ලන්ත මැදපෙළ නාය ගිය අතර විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීම අවස්ථාව ඔවුන්ට අහිමි විය. නමුත් නමගිය මැදපෙළ පිතිකරුවෙකු වන කෙවින් ඕ’බ්‍රයන් ලබා ගත් ලකුණු 32 නිසා අයර්ලන්තයට ලකුණු 200 ඉක්මවා යෑමට හැකියාව ලැබුණි. පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්තානු පිළේ ආරම්භක දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනා වන අෆ්තාබ් අලාම් සහ දව්ලත් සද්රාන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. පා දඟපන්දු යවන ක්‍රීඩක රශීඩ් කාන් කඩුලු 2යි.

එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝකස් පාකිස්තානය සමූල ඝාතනය කරයි

එංගලන්ත සහ පාකිස්තානය අතර පැවති තරග 5කින් සමන්විත වූ එක්දින…

ඒ අනුව ඇෆ්ගනිස්තානු පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 211ක පහසු ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 50 තුල දී ඔවුන් එම ඉලක්කය නිරායාසයෙන්ම හඹා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. ඒ මෑත කාලයේ ඇෆ්ගනිස්තාන පිතිකරණ අංශය සැලකිය යුතු දක්ෂතා දක්වා තිබීම හේතුවෙනි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ වී වැඩි කල් යන්නට පෙර ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 40ක් තුල දී බිඳ වැටුණි. ඒ අයර්ලන්ත වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා නිසයි.

ඉනිමේ මුල්පෙළට එල්ල වූ ප්‍රහාරය නිසා මැදපෙළ පිතිකරුවන් ද යම් චකිතයකින් යුතුව ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණු අතර ඇෆ්ගනිස්තානු පිළට අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගන්නට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අහිමි වන බව දැක ගන්නට ලැබුණි. බිඳ වැටුණු ඉනිමේ ලකුණු 30 සීමාවට පවා ළඟා වන්නට සියලු පිතිකරුවන් අසමත් වෙද්දී, හිටපු නායකයින් වන අස්ගාර් ඇෆ්ගන් ලකුණු 29ක් ද, මොහොමඩ් නබී ලකුණු 27ක් ද රැස්කර ගත්හ. ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 138කට සීමා කළ මාර්ක් අඩේර් කඩුලු 4ක් දවා ගනිද්දී බෝයිඩ් රෑන්කින් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ…

ඒ අනුව ලකුණු 72ක සුපිරි ජයක් අයර්ලන්ත පිළට හිමි වූ අතර මෑත කාලීනව දස්කම් දැක්වූ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන පිළ පරාජය කිරීම ඔවුන්ට චමත්කාරජනක අත්දැකීමක් වූ බව පෙනෙන්නට තිබුණි. දෙරට අතර කෙටි එක්දින තරගාවලිය නිමා කරමින් දෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (21) මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතව ඇත.

අයර්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 48.5) පෝල් ස්ටර්ලින් 71, විලියම් පොටර්ෆීල්ඩ් 53, කෙවින් ඕ’බ්‍රයන් 32, ජෝජ් ඩොක්රල් 14, ගැරී විල්සන් 10, අෆ්තාබ් අලාම් 3/28, දව්ලත් සද්රාන් 3/35, රශීඩ් කාන් 2/41.

ඇෆ්ගනිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 35.4) අස්ගාර් ඇෆ්ගන් 29, මොහොමඩ් නබී 27, ගුල්බදීන් නයිබ් 20, රශීඩ් කාන් 16, හස්රතුල්ලා සසායි 14, හශ්මතුල්ලා ශහිදි 12, මාර්ක් අඩේර් 4/19, බෝයිඩ් රෑන්කින් 3/40, ටිම් මර්ටා 2/12.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<