විකාශන ගැටලුවක් නිසා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියට බාධා

80

2020 වසරේ ආරම්භයේ දී ටෙස්ට් තරග සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද, එම තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. 

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, විකාශන අයිතිය ලබා දීම සම්බන්ධව 2013 වසරේ දී ගිවිසුම් අත්සන් තැබීමේ දී අයර්ලන්ත සමඟ තරගයක් සිය තරග කාල සටහනට ඇතුළත්ව නොතිබූ බවත්, එම අත්සන් තැබීමෙන් පසු අයර්ලන්තයට ටෙස්ට් වරම හිමි වූ බවත් සඳහන් කර තිබුණි.

ඒ අනුව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනුව මෙම තීරණයට පැමිණ තිබෙන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී තරගාවලිය විකාශන අයිතිය අලුත් කිරීමේ දී ගිවිසුම් ගත වීමට නියමිත තරග කාල සටහනට ඇතුළත් කරමින් තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විකාශන අයිතිය නැවත අලුත් කිරීම 2020 වසරේ දී සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 

මූලික තරග සැලසුමට අනුව අයර්ලන්ත කණ්ඩායම පෙබරවාරි මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව සමඟ එක් ටෙස්ට් තරගයකට සහභාගි වීමට නියමිතව තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<