විලියම්සන්ගේ ආගමනයත් සමඟින් සන්රයිසර්ස් පිළට තවත් ජයක්

1566
IPL Sunrisers Hyderabad vs Delhi daredevils report

සන්රයිසර්ස් පිළට එරෙහිව ඊයේ (19) පැවති තරගයෙන් ලකුණු 15ක පරාජයක් උරුම කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට සිදුවිය. ඒ අනුව මේ වන විට තරග 2ක් ජය ගෙන සිටින දිල්ලි පිළ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වන අතර තරග 4 බැගින් ජය ගෙන ඇති කල්කටා, හයිද්‍රාබාද් සහ මුම්බායි කණ්ඩායම් පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුනට හිමිකම් කියයි.

කොදෙව් යෝධයා රාජ්කොට් පිටිය දෙවනත් කරයි; ජය බැංගලෝරයට

මෙවර අයි.පී.එල්. තරගාවලියේ පැවති වැඩිම ලකුණු වාර්තා වු තරඟය ඊයේ (18) රාජ්කොට් හිදී ක්‍රියාත්මක විය. දෙපිළේම පිතිකරුවන් විශිෂ්ට අන්දමින් ලකුණු එක් රැස් කරගත් මෙම තරඟයේදී මුළු ලකුණු ප්‍රමාණය 405ක්…

කාසියේ වාසිය ජය ගත් සන්රයිසර්ස් පිළ පිතිකරුවන්ට උචිත බව හැඟුණු ඩෙකෑන් තණ තීරුවේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව ඉනිම ඇරඹූ ශිකර් ධවාන් පන්දු 50කින් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් කැටි කොටගත් ලකුණු 70ක් රැස්කළ අතර සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝනර්ට ඊයේ ලකුණු 4කට දැවී යාමට සිදුවිය. ඒ ක්‍රිස් මොරිස්ගේ සුරතින් ගිලිහී පැයට කිලෝමීටර් 145ක වේගයෙන් පැමිණි පන්දුව වෝනර්ට වටහා ගත නොහැකි වීම හේතුවෙනි.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ධවාන් සහ කේන් විලියම්සන් අතර ගොඩ නැගුණු ලකුණු 136ක සබඳතාවය හයිද්‍රාබාද් පිළට ජය මාවත විවර කර දුන් හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. ඔවුන් දෙදෙනාගේ මෙම දැවැන්ත සබඳතාවය නිමා කරමින් ලකුණු 89ක් ලබා සිටි විලියම්සන් නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට සන්රයිසර්ස් ලකුණු පුවරුව පන්දු වාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 148ක් ලෙස දිස්විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ තම ප්‍රථම තරගයට ක්‍රීඩා කළ කේන් විලියම්සන්ගේ ඉනිමට කල් යල් මැන පන්දු රකින්නන් අතරින් එල්ල කළ හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් විය. විලියම්සන් සහ ධවාන් සන්රයිසර්ස් ඉනිමේ අවසන් භාගය එළඹෙන තෙක්ම පිටියේ රැඳී සිටි නිසා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට වැඩි වගකීමක් දැරීමට සිදුවූයේ නැත. අවසන් මොහොතේ පිටියට පිවිසි මොයිසස් හෙන්රිකස් පන්දු 6කින් නොදැවී ලකුණු 12ක් ලබා ගැනීමත් සමඟ සන්රයිසර්ස් පිළට ලකුණු 191ක් රැස්කර ගැනීමට හැකි විය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වූයේ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් මොරිස් පමණි. සන්රයිසර්ස් පිළේ බිඳ වැටුණු කඩුලු 4ම ඔහුට අයත් වෙද්දී ඔහුගෙන් ගිලිහී ගියේ ලකුණු 26ක් පමණි. ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ පන්දුවාර 3ක් ක්‍රියාත්මක කළ ද එහිදී ලකුණු 41ක් ලබා දී කඩුලු දඩයම් කර ගැනීමට අපොහොසත් විය.

ලකුණු 192ක් හඹායාම සඳහා පිටියට පිවිසි දිල්ලි පිළේ මුල්ම කඩුල්ල ලකුණු 14දී බිඳ වැටුනත් දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 85ක් වනතුරු ආරක්ෂා කර ගැනීමට කරුන් නයර් සහ සන්ජු සැම්සන් සමත් විය. සන්ජුගේ පිත්තෙන් ඊයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ගලා ආ අතර කරුන් නයර් පන්දු 23කින් ලකුණු 33ක් ලබා ගනිමින් දිල්ලි පිළේ ලකුණු වේගය ඉහළ දැමීය. කෙසේ වෙතත් පසුගිය තරග වල දී දක්ෂතා අතර සිටි රිශාබ් පන්ට් ඊයේ ප්‍රථම පන්දුවේ දී ම දැවී යාම දිල්ලි ක්‍රීඩකයින්ට මරු පහරක් බවට පත්විය.

අවසන් මොහොත දක්වාම දිල්ලි පිළට ජයග්‍රහණය හිමිකර දීමට දැවැන්ත සටනක නියැලුණු යොවුන් දකුණත් පිතිකරු ශ්‍රෙයාස් අයර් පන්දු 31කින් නොදැවී ලකුණු 50ක් රැස් කළ ද ජයග්‍රහණය ඔහුට අත පෙවිය හැකි මානයට ඈතින් පැවතුණි. ඊයේ අංක 6 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් රැස් කළ ද දිල්ලි පිළ එවන් මොහොතක ඔහුගෙන් ඉල්ලා සිටියේ ඊටත් වඩා ආක්‍රමණශීලී ඉනිමකි.

අවසන් පන්දු වාර කිහිපයේ දී බුවනේශ්වර් කුමාර් සහ සිද්ධාර්ත් කෞල් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු අතර ඒ හේතුවෙන් දිල්ලි පිළට අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 24ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය. ඇන්ජෙලෝ මැතිව්ස් එහි දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණයකින් කෙළවර කිරීමට යම් උත්සාහයක් දැරූවද ඉතිරි පන්දු 4ට එක් ලකුණක් පමණක් ලබා දුන් සිද්ධාර්ත් කෞල් සන්රයිසර්ස් පිළට ලකුණු 15ක ජයක් හිමිකර දුන්නේය.

තරගයේ වීරයා සම්මානය සුපිරි නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්ට හිමිවිය. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (20) ක්‍රියාත්මක වන්නේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය පමණි. එය අද රාත්‍රී 8ට ආරම්භ වනු ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 4ක් දැවී ලකුණු 191 (පන්දු වාර 20): කේන් විලියම්සන් 89, ශිකර් ධවාන් 70, මොයිසස් හෙන්රිකස් 12*, දීපක් හූඩා 9*, ක්‍රිස් මොරිස් 4/26.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 176 (පන්දු වාර 20): ශ්‍රෙයාස් අයර් 50*, සන්ජු සැම්සන් 42, කරුන් නයර් 33, ඇන්ජෙලෝ මැතිව්ස් 31, සෑම් බිලින්ග්ස් 13, මොහොමඩ් සිරාජ් 2/39, යුවරාජ් සින් 1/6.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට