කොදෙව් යෝධයා රාජ්කොට් පිටිය දෙවනත් කරයි; ජය බැංගලෝරයට

3147

මෙවර අයි.පී.එල්. තරගාවලියේ පැවති වැඩිම ලකුණු වාර්තා වු තරඟය ඊයේ (18) රාජ්කොට් හිදී ක්‍රියාත්මක විය. දෙපිළේම පිතිකරුවන් විශිෂ්ට අන්දමින් ලකුණු එක් රැස් කරගත් මෙම තරඟයේදී මුළු ලකුණු ප්‍රමාණය 405ක් ලෙස වාර්තා වූ අතර අවසානයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිළ ලකුණු 21කින් ජය වාර්තා කළහ.

වොහ්රාගේ බිහිසුණු ප්‍රහාරය නතර කළ සන්රයිසර්ස් පිළට ජය

කිංග්ස් XI කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල උත්සාහයක් දැරූ මනන් වොහ්රාගේ…

තරමක් මන්දගාමී තණතීරුවක් සහිත රාජ්කොට් ක්‍රීඩාංගණයට ඊයේ රැස්වුනු දහස් ගණනක් වූ ගුජරාට් ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයන් ඉදිරියේ කාසියේ වාසිය තමා සතු කරගත් ගුජරාට් නායක සුරේෂ් රයිනා තීරණය කරන්නේ මුලින් පන්දු යැවීමටයි. විශේෂයෙන්ම තරඟාවලියේ මුල් තරඟ වලදී අසාර්ථක වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පහළටම ඇද වැටී සිටි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුණු මෙම තරඟය දෙපිළටම අතිශයින්ම තීරණාත්මක විය. මෙම තරඟය සඳහා ඒ.බී. ඩිවිලියර්ස් වෙනුවට ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් කැඳවීමට බැංගලෝර් කළමනාකාරීත්වය තීරණය කර තිබුණි.

බැංගලෝර් ඉනිම ආරම්භ කල ක්‍රිස් ගේල් සහ විරාත් කෝලි පිතිකරණ පාරාදීසයක් ලෙසින් පෙනුණු රාජ්කොට් තණතීරුවේ වේගවත් ලකුණු 122ක සබඳතාවයක් පිහිටුවමින් සමස්ත කණ්ඩායමේම බලාපොරොත්තු වලට නව ජීවයක් එක් කළහ. ගුජරාට් කණ්ඩායම සතුව ඇන්ඩෘ ටයි හැරුණුකොට මෑතකදී දස්කම් පෑ වෙනත් පන්දු යවන්නෙකු නොසිටීම බැංගලෝර් පිතිකරුවන්ට තම ප්‍රවේගකාරී පිතිකරණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට මනා පිටිවහලක් විය.

කළකට පසු නැවතත් අයි.පී.එල්. පිටියේ විශිෂ්ටතම ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් ඊයේ පන්දු 38ක් පමණක් වැය කරමින් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය. ගුජරාට් පන්දු යවන්නන්ව තුට්ටුවකට මායිම් නොකළ ඔහු ආකර්ෂණීය හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 7ක් තම ඉනිමට එක් කළේය. මෙම තරඟය අතරතුරදී ඔහු තම විස්සයි විස්ස තරග දිවියේ ලකුණු 10,000 පසුකර යෑමටද සමත් වූ අතර මේ වනවිට ඔහු රැස් කරගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10,074කි.

විස්සයි විස්ස තරඟ වලදී ලකුණු 10,000 සීමාව පසුකල ලොව එකම ක්‍රීඩකයා වන්නේද ක්‍රිස් ගේල් පමණි. තරඟ 290කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී හයේ පහර 743ක් සහ ශතක 18ක් රැස් කරගෙන සිටින්නේ ද ලොව එවැනි දක්ෂතාවයක් දැක්වූ ප්‍රථමයා බවට පත්වෙමිනි. විස්සයි විස්ස වැඩිම මුළු ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තය සුපිරි ප්‍රහාරක බ්‍රෙන්ඩන් මැකලම් පවා රැස් කරගෙන සිටින්නේ ලකුණු 7596 පමණි.

ගේල් සමගින් ඉනිම ආරම්භ කල බැංගලෝර් නායක විරාත් කෝලි ද ඊයේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස් කළේය. මීට අමතරව ට්‍රැවිස් හෙඩ් ලබාගත් ලකුණු 30ත්, කෙඩාර් ජාදෙව් අවසන් මොහොතේ පිටියට පිවිස පන්දු 16කින් ලකුණු 38ක් රැස්කර ගැනීමට සමත් වීමත් නිසා බැංගලෝර් ලකුණු පුවරුව 213ක් ලෙස අවසානයේ දිස්විය. පන්දු යැවීමේදී ධවල් කුල්කර්නි සහ බැසිල් තම්පි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූ නමුත් එය බැංගලෝර් ඉනිම අඩපණ කිරීමට ප්‍රමාණවත් නොවීය.

මෙම දැවැන්ත ඉලක්කය හඹායාම සඳහා ගුජරාට් කණ්ඩායමට සිටි එකම බලාපොරොත්තුව බවට පත්වූයේ බ්‍රෙන්ඩන් මැකලම්ය. විස්සයි විස්ස තරග 272ක අත්දැකීම් මෙන්ම තාක්ෂණයත්, දක්ෂතාවයත් සහජයෙන්ම උරුම කරගෙන ඇති මැකලම් ඊයේ ප්‍රතිවාදී ගේල්ගේ අඩිපාරේ යමින් පන්දු 44කින් ලකුණු 72ක් රැස් කළේය. ඒ හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 7ක් සමගිනි. කෙසේවෙතත් 15 වැනි පන්දුවාරයේදී මැකලම් දැවී යාමත් සමග ගුජරාට් කණ්ඩායමේ බලාපොරොත්තුද ක්‍රමයෙන් වියැකී ගියේය.

අංක 7 පිතිකරු ඉශාන් කිශාන් පන්දු 16කින් ලකුණු 39ක්‍ රැස් කරමින් ගුජරාට් පිළේ ජයග්‍රහණය ලඟා කරගැනීමට උත්සාහ කළ නමුත් බැංගලෝර් පිළ රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව ලඟාවිය නොහැකි තරම් ඉහළ මට්ටමක පැවතුණි. කෙසේවෙතත් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් නවකයෙකු ලෙස ඔහු දැක්වූ දක්ෂතා ප්‍රශංසනීය මට්ටමක පැවති අතර අනෙක් අන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් රැඳී සිටියානම් ගුජරාට් පිළ මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඉඩ තිබුණි. නමුත් රයිනා, ෆින්ච්, ස්මිත් වැනි පිතිකරුවන්ගෙන් ද සැලකිය යුතු සහයෝගයක් නොලැබුණු ගුජරාට් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 192කට අවසානයේ සීමා විය.

පන්දු යැවීමේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූයේ ලකුණු 31කට කඩුලු 3ක් බිඳ හෙලූ යුශ්වේන්ද්‍ර චහල්ය. මීට අමතරව පවන් නෙගී තම පන්දුවාර 4 තුලදී ලකුණු 21ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් බිඳ හෙලමින් ගුජරාට් පිළේ ලකුණු වේගය අඩපණ කර දුන්නේය. දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස මොවුන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තත් වේග පන්දු යවන්නන් වන අරවින්ද්, වොට්සන් සහ මිල්න් දරුණු ප්‍රහාරයකට ගොදුරු විය.

තරගයේ වීරයා සම්මානය අද්විතීය තරග වාර්තාවක් සමගින් ලකුණු 77ක් රැස් කරගත් ප්‍රහාරක පිතිකරු ක්‍රිස් ගේල්ට හිමිවිය. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ක්‍රියාත්මක වන්නේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය පමණි. එය අද රාත්‍රී 8ට ඩෙකෑන් හිදී ආරම්භ වනු ඇත.

රෝයල් චැලේන්ජර්ස් – කඩුලු 2ක් දැවී ලකුණු 213 (පන්දුවාර 20)
ක්‍රිස් ගේල් 77, විරාත් කෝලි 64, කෙඩාර් ජාදෙව් 38, ට්‍රැවිස් හෙඩ් 30*, බැසිල් තම්පි 1/31, ධවල් කුල්කර්නි 1/37.

ගුජරාට් ලයන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 192 (පන්දුවාර 20)
බ්‍රෙන්ඩන් මැකලම් 72, ඉශාන් කිශාන් 39, සුරේෂ් රයිනා 23, රවින්ද්‍ර ජඩේජා 23, ඒරෝන් ෆින්ච් 19, යුශ්වේන්ද්‍ර චහල් 3/31, පවන් නෙගී 1/21.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට