වාර්තා බිහිවුනු දිනයකදී මුම්බායි ඉන්දියන්ස් තරගයක් කණපිට හරවයි

4956

මොහොතින් මොහොත අපූර්ව සිදුවීම් වාර්තා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) සිදුවුනු සුවිශේෂිම සිදුවීම බවට පත්වූයේ එකම දිනයක් තුලදී කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා වීමයි. මෙවන් සිදුවීමක් අයි.පී.එල් තරග බිමේ වාර්තා වුනු ප්‍රථම අවස්ථාව මෙය බවට පත්විය. ඊයේ පැවති තරග දෙකෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය.

සුනිල් නරෙයින් ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි; ජය කල්කටාවට

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඊයේ (13) කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ගේ දක්ෂතා…

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය

ඊයේ සවස පැවති මෙම තරගයේ කාසියේ වාසිය අත්වූයේ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මාටයි. මෙවර අයි.පී.එල් තරග වාරයේ බොහෝ නායකයින් සිදු කරන පරිද්දෙන් ලකුණු හඹා යාමට කැමැත්තක් දැක්වූ රෝහිත් මුලින්ම පන්දුවට පහර දීමට බැංගලෝර් පිළට ආරාධනා කළේය. කෙසේවෙතත් ශ්‍රී ලාංකික සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග හොඳ ශාරීරික යෝග්‍යතාවකින් නොසිටීම නිසා මුම්බායි පිළේ ඔහුගේ හිඩැස පිරවීමට මිචෙල් මැක්ලනගන් කැඳවා තිබුණි.

අයි.පී.එල් 10 වන අදියරේ ප්‍රථම වතාවට බැංගලෝර් පිළේ සුපිරි පිතිකරු විරාත් කෝලි ඊයේ කණ්ඩායම සමග එක්වී තිබුනේ කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්රි සමගිනි. ආරම්භක කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 63ක සබඳතාවයක් පිහිටුවමින් බැංගලෝර් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීමට විරාත් කෝලි සහ ක්‍රිස් ගේල් සමත් විය. නමුත් තම ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවෙන් මඳක් ඈත්වුනු ගේල් ඊයේ ලකුණු 22ක් රැස් කරන්නට පන්දු 27ක් වැය කළේය. කෙසේවෙතත් විස්සයි විස්ස තරග වලදී ලකුණු 10000 සීමා අභියස සිටින ඔහුට ඊයේ දිනයේදී ඊට ලකුණු 3ක් මෙපිටින් දැවී යන්නට සිදුවිය.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ඒ.බී. ඩිවිලියර්ස්ට ද ඊයේ තම සුපුරුදු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනු අතර පන්දු 21කින් ලකුණු 19ක් ලබාගෙන ඔහු ක්‍රීඩාගාරයට හැරී ගියේය. බැංගලෝර් ඉනිමේ විස්සයි විස්ස තරග රටාවට උචිත අන්දමින් පන්දුවට පහර දුන් එකම පිතිකරුවා බවට පත්වූයේ නායක විරාත් කෝලි පමණි. ඔහු කල් යල් මැන එල්ල කරන ලද හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 47ක් තුලදී ලකුණු 62ක් රැස් කළේය.

මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම නිසා බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 142කට සීමා වන්නට සිදුවිය. මෙම ලකුණු සංඛ්‍යාව මුම්බායි පිතිකරුවන් පහසුවෙන් හඹා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද තෙවැනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වුනු කොදෙව් පා දඟ පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්රි කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් මුම්බායි පිළ අන්දමන්ද කිරීමට සමත් විය. ඔහුගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාතිව් පටෙල්, මිචෙල් මැක්ලනගන් සහ නායක රෝහිත් ශර්මාට කඩුලු අහිමි විය.

ලකුණු 7කට කඩුලු 4ක් අහිමි වුනු මුම්බායි කණ්ඩායමට ලකුණු 146ක් ලබා ගැනීමට පිහිටවූයේ කොදෙව් දේශයේම පතාක යෝධයෙකු වන කිරන් පොලාර්ඩ්ය. කළකට පසු නැවතත් තම උපරිමයට ලඟාවුනු පොලාර්ඩ් පන්දු 47කින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිම අකුණු සැර වන් හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් විචිත්‍රවත් විය. මෙවර තරග වාරයේ දිගින් දිගටම දක්ෂතා අතර සිටින කෘනාල් පාණ්ඩ්‍යා ඊයේ නොදැවී ලකුණු 37ක් ලබා ගනිමින් පොලාර්ඩ්ට සහයෝගය දැක්වීය.

අවසානයේ බද්රිගේ කඩුලු ත්‍රිත්වයට බිලි වන්නට තිබූ තරගය බේරා ගත් මුම්බායි පිතිකරුවන් කඩුලු 6කට ලකුණු 145ක් ලබා ගනිමින් තරගය ජය ගත්හ. සැමුවෙල් බද්රි ලකුණු 9කට කඩුලු 4ක් බිඳ හෙලමින් විස්මිත පන්දු යැවීමක යෙදුනද තරගයේ වීරයා සම්මානය මුම්බායි පිළට ජයග්‍රහණයේ මාවත පෙන්වා දුන් කිරන් පොලාර්ඩ්ට හිමිවිය. මෙම ජයග්‍රහණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නටද හැකිවිය.

රෝයල් චැලේන්ජර්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 142 (පන්දුවාර 20) විරාත් කෝලි 62, ක්‍රිස් ගේල් 22, ඒ.බී. ඩිවිලියර්ස් 19, පවන් නෙගී 13*, මිචෙල් මැක්ලනගන් 2/20, හාර්දික් පාණ්ඩ්‍යා 1/9, කෘනාල් පාණ්ඩ්‍යා 1/21.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 145 (පන්දුවාර 18.5) කිරන් පොලාර්ඩ් 70, කෘනාල් පාණ්ඩ්‍යා 37*, නිතිශ් රනා 11, හාර්දික් පාණ්ඩ්‍යා 9, සැමුවෙල් බද්රි 4/9, ස්ටුවර්ට් බිනී 1/14.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් සහ ගුජරාට් ලයන්ස් අතර තරගය

මේ වනතෙක් තරගාවලියේ දැක්වූ අඩු දක්ෂතා නිසා ප්‍රසාද ලකුණු සටහනේ පහළටම ඇද වැටී සිටි කණ්ඩායම් දෙක අතර මෙම තරගය පැවතියේ රාජ්කොට් හිදීයි. කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායකයාගේ ඇරයුමින් පූනේ පිතිකරුවන් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 171ක් ලකුණු පුවරුව මත සටහන් කළහ.

ආරම්භක කඩුල්ල ලෙස අජින්ක්‍යා රහානේ ලකුණු නොලබාම දැවී ගියද ස්ටීවන් ස්මිත් (43) බෙන් ස්ටෝක්ස් (25) වැනි මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා පූනේ කණ්ඩායමට තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකිවිය. නමුත් පූනේ ඉනිමේ හොඳ ආරම්භයක් ලබාගත් පිතිකරුවන් කිසිවෙකුට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ට ලකුණු 200ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට නොහැකි විය.

අවසන් පන්දුවාරයේදී සුපිරි පන්දු යැවීමක නිරත වුනු ඕස්ට්‍රේලියානු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙලීය. එය ඊයේ දිනය තුලදී වාර්තා වුනු දෙවැනි කඩුලු ත්‍රිත්වයයි. ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අන්කිත් ශර්මා, මනෝජ් තිවාරි සහ ශාදුල් තකූර්ට කඩුල්ල අහිමි විය. ලකුණු 17කට කඩුලු 5ක් දවා ගනිමින් ඔහු දැක්වූ මෙම සුවිශේෂී දක්ෂතාව අයි.පී.එල් 10 වැනි අදියරේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

ලකුණු 172ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩ්වේන් ස්මිත් ලකුණු 94ක වේගවත් සබඳතාවයක් ගුජරාට් ලයන්ස් පිළට හිමිකර දුන්හ. බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ පන්දු 32කින් ලකුණු 49ක් (හතරේ පහර 5, හයේ පහර 3) රැස් කරගත් අතර නැවතත් තම සුපුරුදු පිතිකරණ ස්ථානයට උසස්වීම් ලද ඩ්වේන් ස්මිත් ලකුණු 48ක් වාර්තා කළේය.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව නායක සුරේෂ් රයිනා සහ ඒරෝන් ෆින්ච් ඉතා පහසුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 18ක් තුලදී අදාළ ඉලක්කය පසුකර යාමට සමත් වූහ. රයිනා ඊයේ පන්දු 22කින් නොදැවී ලකුණු 35ක් රැස් කරද්දී ෆින්ච්ට නොදැවී ලකුණු 33ක් රැස් කිරීමට වැයවූයේ පන්දු 19ක් පමණි. විස්සයි විස්ස විශේෂඥ පන්දු යවන්නෙකු ලෙස නම් දරා සිටින ඉම්රාන් තහීර් ද ඊයේ තම පන්දුවාර 4ට ලකුණු 53ක් ලබා දුන්නේය.

කඩුලු 7කින් වාර්තා වුනු මෙම ජයග්‍රහණය ගුජරාට් ලයන්ස් කණ්ඩායම තරගාවලියේ ලද ප්‍රථම ජයග්‍රහණය බවට පත්වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින රයිසින් පූනේ පිළ අභිබවා එක් පියවරක් ඉහළට නැගීමට ඔවුන්ට හැකිවිය. තරගයේ වීරයා සම්මානය ඊයේ තම මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කල වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි ට හිමිවිය.

රයිසින් පූනේ – කඩුලු 8ක් දැවී ලකුණු 171 (පන්දුවාර 20) ස්ටීවන් ස්මිත් 43, රාහුල් ත්‍රිපති 33, මනෝජ් තිවාරි 31, බෙන් ස්ටෝක්ස් 25, අන්කිත් ශර්මා 25, ඇන්ඩෘ ටයි 5/17, ඩ්වේන් ස්මිත් 1/10, රවින්ද්‍ර ජඩේජා 1/40.

ගුජරාට් ලයන්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 172 (පන්දුවාර 18) බ්‍රෙන්ඩන් මැකලම් 49, ඩ්වේන් ස්මිත් 47, සුරේෂ් රයිනා 35*, ඒරෝන් ෆින්ච් 33*, ශාදුල් තකූර් 1/14, රාහුල් චහාර් 1/26.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩාම් අතර තරගය අද සවස 4ට ආරම්භ වීමට නියමිතව ඇති අතර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට