සුනිල් නරෙයින් ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි; ජය කල්කටාවට

5038
Photo Credit: ESPN Cricinfo

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඊයේ (13) කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉදිරියේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය. මෙම තරගය අතරතුරදී කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙයින් පන්දුවෙන් සහ පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කල අතර කල්කටා නායක ගෞතම් ගම්බීර් තැඹිලි හිස් වැස්ම (Orange Cap) දිනා ගන්නට ද සමත් විය.

නවකයින්ගේ දක්ෂතා නිසා මුම්බායි පිළට තවත් ජයක්

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම වැජඹුණු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රථම පරාජය උරුමකර දීමට ඊයේ (12) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ඊයේ දිනයේ ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයට එක්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කාසියේ වාසිය දිනා ගත් නයිට් රයිඩර්ස් පිළ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පන්ජාබ් කණ්ඩායමට ඇරයුම් කළහ. ඒ අනුව ඉනිම ඇරඹූ මනන් වොහ්රා සහ හෂිම් අම්ලා පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීය. ඕස්ට්‍රේලියානු පිතිකරු මාකස් ස්ටොයිනිස් ලකුණු 9කට දැවී ගිය ද ග්ලේන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් මිලර් වැනි සුපිරි ප්‍රහාරකයින්ගෙන් අනූන පන්ජාබ් කණ්ඩායම ලකුණු 200කට ආසන්න වන බවක් පෙනෙන්නට තිබුණි.

මීට පෙර තරග දෙකේදීම නොදැවී සිටිමින් පන්ජාබ් පිළ ජයග්‍රහණය කරා කැටුව ගිය ග්ලේන් මැක්ස්වෙල් ඊයේ දිනයේ දී ද හොඳ ආරම්භයක් ලබා ගනිමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 25ක් රැස් කළද උමේෂ් යාදෙව්ගේ පන්දුවක් හමුවේ ඉනිම නිමා කර ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදුවිය. එතැන් පටන් පිටියේ එක්වුණු ඩේවිඩ් මිලර් සහ ව්‍රිදිමන් සහ කල්කටා පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු 57ක සබඳතාවයක් ගොඩ නැංවූහ.

ඊයේ තරගයේ මුල් කොටසේ කල්කටා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමත්, පන්දු යැවීමත් එතරම් ඉහළ මට්ටමක නොතිබීම නිසා කල්කටා ක්‍රීඩකයින්ට පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 145ක් රැස්කර ගැනීමට හැකි විය. නමුත් 18 වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ උමේෂ් යාදෙව්ගේ විශිෂ්ට පන්දු යැවීම මෙම තරගයේ තීරණය සහමුලින්ම කණපිට හරවන්නට හේතු විය.

ඒ යාදෙව් මෙම පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු වලදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් මිලර් සහ ව්‍රිදිමන් සහ යන පිතිකරුවන්ව දවාගෙන අවසන් පන්දුවේදී අක්සා පටෙල්වත් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නන්ට සමත් වූ බැවිනි. මෙම කඩුලු දඩයමට කල්කටා පන්දු රකින්නන්ගෙන් ද මනා සහයෝගයක් හිමිවිය. පන්ජාබ් ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15ක් තුල දී බිඳ වැටුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 170කට සීමා වන්නට සිදුවිය. පන්දු යැවීමේ දී කල්කටා කණ්ඩායම වෙනුවෙන් වැඩිම දායකත්වය ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලූ උමේෂ් යාදෙව්ගෙන් හිමිවිය. මීට අමතරව සුනිල් නරෙයින් තම පන්දුවාර 4 තුලදී ලකුණු 19ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාලීය.

ඕස්ට්‍රේලියානු සුපිරි ප්‍රහාරක ක්‍රිස් ලින් උරහිසේ ආබාධයකට ලක්වීම නිසා හිස්වුනු ආරම්භක පිතිකරණ ධූරයට කල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාරිත්වය දඟ පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සුනිල් නරෙයින්ව ආදේශ කර තිබුණේ තරමක් පෙරළිකාර තීරණයක් ගනිමිනි. නමුත් එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ නරෙයින් පන්ජාබ් පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නේ ගෞතම් ගම්බීර් හා එක්ව ලකුණු 76ක වේගවත් සබඳතාවයක් පවත්වමිනි. පන්දු 18කට පමණක් මුහුණ දුන් නරෙයින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 37ක් රැස් කළේය. කෙසේ වෙතත් මෙය නරෙයින් ඉනිමක් ආරම්භ කල ප්‍රථම අවස්ථාව නොවන අතර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ Melbourne Renegades කණ්ඩායම වෙනුවෙන් ද ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළේය.

මීට අමතරව කල්කටා නායක ගෞතම් ගම්බීර් තම සුපුරුදු පිතිකරණයේ යෙදෙමින් හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 72ක් රැස් කළේය. මේ වන විට මුළු ලකුණු 167ක් ලබා සිටින ගම්බීර් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. කල්කටා පිතිකරුවන් සියලු දෙනාම පාහේ වේගවත් පිතිකරණයක නිරත වීම නිසා ඔවුන්ට ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට අවශ්‍ය වූයේ පන්දුවාර 16යි පන්දු 3ක් පමණි. මෙම ජයග්‍රහණයත් සමගින් කල්කටා කණ්ඩායමට නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද හැකි විය.

පන්දුවෙන් සහ පිත්තෙන් විස්මිත දක්ෂතා දැක්වූ සුනිල් නරෙයින්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි කණ්ඩායම අතර තරගය අද සවස 4ට ආරම්භ වීමට නියමිතව ඇති අතර ගුජරාට් සහ පූනේ කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 9ක් දැවී ලකුණු 170 (පන්දුවාර 20): මනන් වොහ්රා 28, ඩේවිඩ් මිලර් 28, හෂිම් අම්ලා 25, ග්ලේන් මැක්ස්වෙල් 25, ව්‍රිදිමන් සහ 25, උමේෂ් යාදව් 4/33, ක්‍රිස් වෝක්ස් 2/30, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 1/15, සුනිල් නරෙයින් 1/19.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 2ක් දැවී ලකුණු 171 (පන්දුවාර 16.3): ගෞතම් ගම්බීර් 72*, සුනිල් නරෙයින් 37, රොබින් උතප්පා 26, මනිෂ් පාණ්ඩේ 25*, වරුන් ආරෝන් 1/23, අක්සා පටෙල් 1/36.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට