කුළුඳුල් ශතකය පරදුවට තැබූ ශ්‍රෙයාස් දිල්ලියට ජය ගෙනෙයි

616
DD vs GL - IPL 2017

තවමත් 22 වැනි වියේ පසුවන යොවුන් දකුණත් පිතිකරු ශ්‍රෙයාස් අයර් ගේ විශිෂ්ට ඉනිම නිසාවෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 195ක දැවැන්ත ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඊයේ (10) සමත් විය.

කල්කටා පිතිකරුවන්ට එරෙහිව පන්ජාබයෙන් සුපිරි පන්දු යැවීමක්!

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අංක 5 ස්ථානයේ රැඳී සිටින කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම මීළඟ වටයට පිවිසීම..

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහනේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පමණක් ඉහළින් සිටින මෙම කණ්ඩායම් දෙකටම මේ වනවිටත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව මඟහැරී ගොස් තිබේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දිල්ලි නායක සහීර් කාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී ගුජරාට් ලයන්ස් පිළට ඇරයුම් කළේය. ඊට ශක්තිමත් පිලිතුරක් සැපයූ ගුජරාට් පිතිකරුවන් තමන්ට නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 195ක ප්‍රමාණයක් රැස්කර ගැනීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් සහ නායක සුරේෂ් රයිනා හට ඊයේ තනි ඉලක්කමේ ලකුණු වලට සීමා වීමට සිදු වුවද කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් තමන් මත පැටවී ඇති වගකීම සිහිතබාගෙන පිතිකරණයේ යෙදීම නිසා ගුජරාට් පිළට ලකුණු 200 සීමාව අසලට ලඟා වීම එතරම් අපහසු නොවීය.

ඕස්ට්‍රේලියානු සුපිරි විස්සයි විස්ස පිතිකරු ඒරෝන් ෆින්ච් ඊයේ පන්දු 39ක් පමණක් වැය කරමින් රැස් කරගත් ලකුණු 69 ගුජරාට් ඉනිමේ වටිනාම වත්කම බවට පත්වූ අතර ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. ෆින්ච් කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් සමඟ එක්වී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාවය ලකුණු 92කි. ඒ සඳහා කාර්තික් ලකුණු 40කින් දායක විය. ඉනිමේ අවසන් කොටසේදී පිටියට පිවිසි ජේම්ස් ෆෝක්නර් (14*) සහ රවේන්ද්‍ර ජඩේජා (13*) ප්‍රවේගකාරී පිතිකරණයක යෙදෙමින්  කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 195ක් දක්වා ඉහළ දැමීය.

ඕනෑම ආකාරයක ප්‍රබල පිතිකරණ බල ඇණියකට පවා අභියෝගයක් විය හැකි මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසි දිල්ලි පිළේ මුල් කඩුලු 2 ලකුණු 15ක් තුළදී අවාසනාවන්ත ලෙස බිඳ වැටුණි. දිල්ලි කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලෙස මෙවර තරගාවලියේ නවක ක්‍රීඩකයින් ලෙසින් දක්ෂතා ප්‍රදර්ශනය කළ සන්ජු සැම්සන්ට සහ රිශාබ් පන්ට් ට නැවතත් ක්‍රීඩාගාරය වෙත නික්මී යාමට සිදු විය. කෙසේවෙතත් තම වගකීම හඳුනාගත් කරුන් නයර් සහ ශ්රෙයාස් අයර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් දිල්ලි පිළට යම් සහනයක් සලසා දීමට සමත් වූහ.

හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් නයර්ගේ පිත්තෙන් ඊයේ ගලා ආ ලකුණු සංඛ්‍යාව 30කි. එම සබඳතාවය බිඳ වැටීමෙන් අනතුරුව මාලන් සැමුවෙල්ස්, කුරේ ඇන්ඩර්සන් සහ කාලෝස් බ්‍රත්වයිට් යන ක්‍රීඩකයින්ව ඉක්මනින් දවා ගනිමින් නැවතත් තරඟයට පිවිසීමට ගුජරාට් පන්දු යවන්නන් ඉඩ සලසා ගත්හ. එවන් තත්වයක් යටතේ දිල්ලි පිළට ජය ගෙනෙන වැදගත්ම ලකුණු සබඳතාවය ගොඩ නැගෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් සහ ශ්‍රෙයාස් අයර් අතරයි.

ඔවුන් දෙදෙනා සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවයක් ගොඩ නගමින් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණයේ සීමාව දක්වා රැගෙන ඒමට සමත් විය. පන්දු යවන්නෙකු ලෙසින් කණ්ඩායමට එක්වී සිටි නමුත් එම අසීරු අවස්ථාවේ තම පිතිකරණ දක්ෂතා මැනවින් පෙන්වූ පැට් කමින්ස් ලකුණු 24ක් රැස් කළේය. අවසන් පන්දුවාරය දක්වාම පිතිකරණයේ යෙදෙමින් දිල්ලි පිළට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් ශ්‍රෙයාස් අයර් ලකුණු 96යි. ඔහුගේ සුපිරි ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

අවසන් පන්දුවාරයේ දී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බැසිල් තම්පිගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස තම මංගල අයි.පී.එල්. ශතකය අහිමි වුවද දිල්ලි පිළට ජයග්‍රහණය ගෙන ආ ශ්‍රෙයාස්ගේ මෙම දැකුම්කළු ඉනිම ශතකයකට වඩා වැඩි වටිනාකමකින් යුතුවිය. තරඟය නිමාව දැකීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කර සිටියේ තමාගේ හොඳම අයි.පී.එල්. ඉනිම ලෙස මෙය හැඳින්විය හැකි බවයි. ශ්‍රෙයාස්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි අමිත් මිෂ්රා පිට පිටම හතරේ පහර 2ක් එල්ල කරමින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව ගියේය.

තරගයේ වීරයා සම්මානය කිසිදු මතභේදයකින් තොරවම යොවුන් පිතිකරු ශ්‍රෙයාස් අයර්ට හිමිවිය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 2කින් මෙම තරගය ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අංක 6 ස්ථානය දක්වා ඔවුන් උසස්වීම් ලැබීය. මේ වනවිට අංක 5 ස්ථානයේ සිටිමින් අවසන් වටයට පිවිසීම සඳහා දැඩි සටනක නිරත වී සිටින කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මේ වනවිටත් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද රාත්‍රී 8ට වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ගුජරාට් ලයන්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 195 (පන්දුවාර 20) ඒරෝන් ෆින්ච් 69, දිනේෂ් කාර්තික් 40, ඉශාන් කිෂාන් 34, ජේම්ස් ෆෝක්නර් 14*, රවින්ද්‍ර ජඩේජා 13*, අමිත් මිෂ්රා 1/27, මොහොමඩ් ශමි 1/36.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 197 (පන්දුවාර 19.4) ශ්‍රෙයාස් අයර් 96, කරුන් නයර් 30, පැට් කමින්ස් 24, කාලෝස් බ්‍රත්වයිට් 11, සන්ජු සැම්සන් 10, ජේම්ස් ෆෝක්නර් 2/39, දවාල් කුල්කර්නි 1/30.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට