ගුජරාට් සිංහයින්ට ක්‍රිස් ලින්ගෙන් සුපිරි ප්‍රහාරයක්

706

මේ වන විට දෙවතාවක්ම ඉන්දියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනාගෙන සිටින ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (07) පැවති තරගයේ දී වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය. ඒ ප්‍රතිවාදී ගුජරාට් ලයන්ස් පිළ ලබා දුන් ලකුණු 184ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී විශිෂ්ට ලෙස හඹා යමිනි.

මාලිංග නොමැති මුම්බායි පිළට ස්මිත්ගෙන් ප්‍රහාරයක්

සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් දියත් කළ විශිෂ්ට පිතිහරඹයක හේතුවෙන් ඉනිම නිමාවීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක තියුණු ජයග්‍රහණයක් හිමිකර…

මෙවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා යාමක් මෙතෙක් විස්සයි විස්ස තරගයක දී සිදු වී නොමැති අතර එබැවින් මෙය නව තරග වාර්තාවක් බවට ද පත්විය. නයිට් රයිඩර්ස් පිළේ මෙම සුපිරි ආරම්භක කඩුල්ලේ සබඳතාවය පිටුපස සිටි මහපොදු සාධකය බවට පත්වන්නේ නායක ගෞතම් ගම්බීර් සහ ක්‍රිස් ලින්ගෙන් සමන්විත නව ආරම්භක පිතිකරණ යුගලයයි.

ඕස්ට්‍රේලියානු බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේ මැදපෙළ නියෝජනය කරන සුපිරි ප්‍රහාරකයෙකු වන ක්‍රිස් ලින් ඊයේ ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවන්නේ තම විස්සයි විස්ස දිවියේ තෙවැනි වතාවටයි. නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මෙම අත්හදා බැලීම 100%ක් නිවැරදි බව තහවුරු කල ක්‍රිස් ලින් ඊයේ දැවැන්ත හයේ පහර 8ක් සහ දැකුම්කළු හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය. අකුණු සැර වන් ඔහුගේ දරුණු ප්‍රහාරය නතර කළ හැකි ආකාරයක් ගුජරාට් නායක සුරේෂ් රයිනාට තරග අවසානය දක්වාම සොයා ගත නොහැකි විය.

විස්සයි විස්ස තරග රැසක දී ඉනිම ආරම්භ කර අත්දැකීම් ඇති නායක ගෞතම් ගම්බීර් අනෙක් අන්තයේ රැඳී සිටීම ද ක්‍රිස් ලින්ගේ මෙම සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. අනවශ්‍ය ලෙස නිලකුණු පන්දු ගොඩ ගැසෙන්නට ඉඩ නොදුන් ගෞතම් ගම්බීර් නිරන්තරයෙන් ක්‍රිස් ලින් සමග අන්තය මාරු කර ගනිමින් ලකුණු පුවරුව ඉහළ නැංවූයේ නයිට් රයිඩර්ස් කණ්ඩායම වටා කිසිදු පීඩනයක් ගොඩ නොනැගෙන පරිද්දෙනි. ඒ හේතුවෙන්ම තරගය ජය ගන්නා මොහොත වන විට ගම්බීර් ද කල් යල් මැන එල්ල කරන ලද හතරේ පහර 12ක් සමගින් පන්දු 48ක් තුල දී නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියේය. මොවුන් දෙදෙනාගේ සුපිරි පිතිකරණය නිසාවෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජය කණුව පසු කිරීමට වැයවුනේ පන්දුවාර 14යි පන්දු 5ක් පමණි.

ඊයේ තරගයේ කාසියේ වාසිය ද ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් පිළට හිමිවුණු අතර මුලින් පන්දුවට පහර දීමට ගුජරාට් කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට අවස්ථාව ලැබෙන්නේ ඒ අනුවයි. පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් පෙනුණු පැතලි තණතීරුව මත දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් නායක සුරේෂ් රයිනාගේ පිත්තෙන් ඊයේ දිනයේ දී පන්දු 51ක් තුල ලකුණු 68ක් ගලා ආ අතර කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ලකුණු 47කින් දායකත්වය සැපයීය.

නවසීලන්ත සුපිරි ප්‍රභාරක බ්‍රෙන්ඩන් මැකලම් (35) මෙන්ම ඒරෝන් ෆින්ච් සහ ජේසන් රෝයි යන විදෙස් ක්‍රීඩකයින් ද ඊයේ හොඳ ආරම්භයක් ලබා ගත්තත් එය විශාල ලකුණු ප්‍රමාණයක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අසමත් වීම ගුජරාට් කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුවිය. පන්දු යැවීමේ දී ජයග්‍රාහී නයිට් රයිඩර්ස් පිළ වෙනුවෙන් චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 2ක් බිඳ හෙලීය.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දක්වා ඉහළ නැගීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වූ අතර ගුජරාට් කණ්ඩායමට තමන්ට වැඩි සහයෝගයක් ඇති රාජ්කොට් පිටියේදීම ප්‍රථම පරාජය අත්විඳින්නට සිදුවිය. තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රේලියානු සුපිරි ප්‍රහාරක ක්‍රිස් ලින්ට හිමිවිය. ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්ජාබ් සහ පූනේ අතර තරගය අද (08) සවස 4ට ආරම්භ වීමට නියමිත අතර බැංගලෝර් සහ දිල්ලි අතර තරගය රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇත.

ගුජරාට් ලයන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 20): සුරේෂ් රයිනා 68*, දිනේෂ් කාර්තික් 47, බ්‍රෙන්ඩන් මැකලම් 35, ආරෝන් ෆින්ච් 15, ජේසන් රෝයි 14, කුල්දීප් යාදව් 2/25, පියුශ් චව්ලා 1/33.

කල්කටා නයිට් රයිඩර්ස් – කිසිවෙකු නොදැවී ලකුණු 184 (පන්දුවාර 14.5): ක්‍රිස් ලින් 93*, ගෞතම් ගම්බීර් 76*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට