බෙන් ස්ටෝක්ස්ගේ පන්දු යැවීම නිසා මුම්බායි ජය ගමන නිමාවෙයි

559
Ben Stokes

පිට පිටම තරග 6ක් ජයගෙන සිටි මෙවර අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් පිළ පරදවා ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය පිටුපස සිටි මහ පොදු සාධකය බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඊයේ තරගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

අයි.පී.එල් තරගාවලියේ අඩුම ලකුණු බැංගලෝර් කණ්ඩායම වාර්තා කරයි!

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (23) පැවති තරග දෙකෙන් ජය හිමිකර ගැනීමට ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස්..

තරගය පැවැත්වුණු මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරුව ඊයේ වෙනදාටත් වඩා මන්දගාමී වූ අතර එහිදී කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කරන්නේ මුලින්ම පන්දු යැවීමටයි. මෙවර තරගාවලියේ අවස්ථා 5කදී ලකුණු හඹා ගිය මුම්බායි කණ්ඩායම එම සෑම අවස්ථාවකදීම ජය තහවුරු කරගෙන තිබීම ඊට හේතුවිය.

ඉනිම ආරම්භ කළ රයිසින් පූනේ පිතිකරුවන් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක් එක් කරමින් මුම්බායි කණ්ඩායම තරමක පීඩනයකට ලක් කිරීමට සමත් වූහ. අජින්ක්‍යා රහානේ නැවතත් ලකුණු අතරට පිවිසෙමින් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 38ක් රැස් කළේය. ඔහුගේ සහයක පිතිකරු බවට පත්වූ රාහුල් ත්‍රිපති පන්දු 31කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් වාර්තා කල ලකුණු 45 පූනේ ලකුණු වේගය ඉහළ දැමීමට අතිශයින්ම වැදගත් විය.

කෙසේ වෙතත් මුම්බායි මැදපෙළ ඊයේ එතරම් කුසලතා පූර්ණ පිතිකරණයක යෙදීමට අපොහොසත් වූ අතර කලින් තරගයේ දී සුපිරි පිතිකරණයක යෙදුණු එම්.එස්. දෝනි ලකුණු 7කට දැවී ගියේය. ස්ටීවන් ස්මිත් සහ බෙන් ස්ටෝක්ස් පන්දු 12කදී ලකුණු 17 බැගින් රැස් කළහ. ඉනිමේ අවසන් භාගයේ දී මනෝජ් තිවාරි පන්දු 13කින් හතරේ පහර 4ක් සමගින් රැස්කළ ලකුණු 22 රයිසින් පූනේ කණ්ඩායමට ලකුණු 160ක් වැනි සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට උපකාරී විය. පන්දු යැවීමේදී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මෙම තරග වාරයේදීම ලකුණු 199ක් පන්දු 93කින් හඹාගිය සුපිරි පිතිකරණ බල ඇණියකින් සමන්විත මුම්බායි පිළ මෙම ලකුණු සංඛ්‍යාව පහසුවෙන් හඹා යන බව බොහෝ දෙනාගේ නිගමනය විය. එය සැබෑවක් වන බවට සාක්ෂි සපයමින් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 35ක සබඳතාවයක් පිහිටුවන්නට ජෝස් බට්ලර් සහ පාතිව් පටෙල් සමත් විය. සමස්ථ වන්කඩේ ක්‍රීඩාංගණයේම ජය ඝෝෂා මැද පාතිව් පටෙල් හතරේ පහර 4ක් සමගින් ලකුණු 33ක් රැස් කළේය.

කෙසේ වෙතත් පසුගිය තරග වලදී ලකුණු අතර සිටි නවක ක්‍රීඩක නිතිශ් රානා ඊයේ ලකුණු 3කට සීමා වීමද මුම්බායි බර අවිය්ක් වන කිරන් පොලාර්ඩ් ලකුණු 9කට දැවී යාමද නිසා මුම්බායි පිළේ ජය ගමන සෑහෙන තරම් දුරකට අඩාල විය. නමුත් මුම්බායි නායක රෝහිත් ශර්මා නොදැවී කඩුල්ලේ රැඳී සිටීම නිසා ජයග්‍රහණය පිලිබඳ යම් තරමක බලාපොරොත්තුවක් තබා ගැනීමට ඔවුන්ට හැකිවිය. උද්වේගකර අවසානයක් කරා ඇදී යමින් තිබූ තරගයේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා නායක ස්මිත් භාර කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ටයි.

ඒ වනවිට මුම්බායි පිළට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 12කදී ලකුණු 24ක් අවශ්‍ය කර තිබුණි. ඉනිමේ මුල් කොටසේදී සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ජෝස් බට්ලර් සහ කරන් ශර්මාව දවාගෙන තිබූ ස්ටෝක්ස් 19 වැනි පන්දුවාරය ලකුණු 7ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් නිමා කර ගැනීමට සමත් විය. ඒ අනුව අවසන් පන්දු වාරයට ලකුණු 17ක් මුම්බායි කණ්ඩායමට අවශ්‍ය විය. එහිදී තරමක ප්‍රහාරයකට හසු වුවත් රෝහිත් ශර්මා සහ මිචෙල් මැක්ලනගන්ව දවා ගනිමින් ලකුණු 3ක තියුණු ජයක් පූනේ කණ්ඩායමට හිමිකර දීමට ජාදෙව් උනද්කට්ට හැකියාව උදාවිය.

අවසාන මොහොත දක්වාම මුම්බායි පිළ ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ කල රෝහිත් ශර්මා පන්දු 39කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කළේය. මෙය ඔහු 2017 තරග වාරය තුලදී රැස් කරගත් ප්‍රථම අර්ධ ශතකයයි. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21කට කඩුලු 2ක් දවාගත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට හිමිවිය.

මෙම ජයග්‍රහණය පූනේ කණ්ඩායම පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය බවට පත්වූ අතර ඔවුන් දැන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගෙන ඇත. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය තරගය අද රාත්‍රී 8ට පැවැත්මිතයි.

රයිසින් පූනේ – කඩුලු 6ක් දැවී ලකුණු 160 (පන්දුවාර 20): රාහුල් ත්‍රිපති 45, අජින්ක්‍යා රහානේ 38, මනෝජ් තිවාරි 22, ස්ටීවන් ස්මිත් 17, බෙන් ස්ටෝක්ස් 17, ඩැනියෙල් ක්‍රිස්ටියන් 8*, ජස්ප්‍රිට් බුම්රාහ් 2/29, කරන් ශර්මා 2/39, හර්බජාන් සිං 1/20.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී 157 (පන්දුවාර 20): රෝහිත් ශර්මා 58, පාතිව් පටෙල් 33, ජොස් බට්ලර් 17, හාර්දික් පාණ්ඩ්‍යා 13, කරන් ශර්මා 11, බෙන් ස්ටෝක්ස් 2/21, ජාදෙව් උනද්කට් 2/40, ඩැනියෙල් ක්‍රිස්ටියන් 1/6.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට