පන්ජාබ් සිහින බොඳ කරමින් සුපර්ජයන්ට් අවසන් වටයට

680
IPL 2017 May 14th roundup

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ සියලුම තරග ඊයේ (14) දිනයෙන් නිමාවට පත්විය. එහි දී ජයග්‍රහණ වාර්තා කළ ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුතු රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණයක් සමඟින් මෙවර අයි.පී.එල් තරගාවලියේ තම නියෝජනය අවසන් කිරීමට සමත් විය.

කණ්ඩායමට මඟ හැරුණු ක්‍රීඩකයින් දෙපළක් මුම්බායට ජය ගෙනෙයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (13) පැවති තරග වල ප්‍රතිඵල සමඟින් අවසන් වටයට සුදුසුකම් ලබන..

කිංග්ස් XI පන්ජාබ් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර තරගය

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට අවසන් වටයේ දොරගුළු හැර ගැනීමට තිබූ අවසාන අවස්ථාවත් මෙම තරගයේ දී හිමිවුණු දරුණු පරාජයත් සමඟින් මඟ හැරී ගියේය. ඒ අනුව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබාගත් ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන අවසන් කණ්ඩායම් 4 සඳහා සුදුසුකම් ලබා සිටියි.

කාසියේ වාසිය දිනා ගත් රයිසින් පූනේ කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් පන්ජාබ් පිතිකරුවන් පන්දුවාර 16ක් ගත වීමටත් පෙර ලකුණු 73කට දැවී ගියේ ඔවුන්ගේ අවසන් වටයට පිවිසීමේ සිහින සියල්ල බිඳ වැටෙද්දීය. මීට පෙර නිමාවුණු තරගයක දී ප්‍රබල මුම්බායි කණ්ඩායමට එරෙහිව ලකුණු 230ක් වාර්තා කළ පන්ජාබ් පිතිකරුවන් මෙම තීරණාත්මක තරගයේ දී ඉතාමත් අඩු ලකුණු ගණනකට සීමා වීම දෛවයේ සරදමක් බඳුවිය.

පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට තුන් ඉරියව් ක්‍රීඩක අක්සා පටෙල් සමත් වුවද ඔහු ද රැස්කර ගත්තේ ලකුණු 22ක් පමණි. කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහා ලකුණු 13යි. මීට අමතරව ශෝන් මාර්ශ් සහ ස්වප්නිල් සිං ලකුණු 10 බැගින් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශාදුල් තකූර් ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව ක්‍රිස්ටියන්, උනද්කට් සහ සැම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 74ක පහසු ඉලක්කයක් හිමිවුණු පූනේ පිතිකරුවන් පන්දුවාර 12ක් අවසානයේ එම අභියෝගය ජය ගනිමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූහ. ආරම්භ පිතිකරු අජින්ක්‍යා රහානේ එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34යි. ලකුණු 28ක් ලබා සිටි රාහුල් ත්‍රිපති දැවී යාමෙන් අනතුරුව රහානේ සමඟින් එක්වුණු නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් පූනේ ජයග්‍රහණය තහවුරු කළේය.

මෙම පරාජයත් සමගින් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර රයිසින් පූනේ සුපර්ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය හෙට (16) වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම තරගය ජය ගන්නා කණ්ඩායම කෙළින්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන අතර, පරාජය වන කණ්ඩායමට කල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

කිංග්ස් XI පන්ජාබ් – සියල්ලන්ම දැවී ලකුණු 73 (පන්දුවාර 15.5): අක්සා පටෙල් 22, ව්‍රිදිමන් සහා 13, ශෝන් මාර්ශ් 10, ස්වප්නිල් සිං 10, මොහිත් ශර්මා 6, ශාදුල් තකූර් 3/19, ඩැනියෙල් ක්‍රිස්ටියන් 2/10, ජාදෙව් උනද්කට් 2/12, ඇඩම් සැම්පා 2/22.

රයිසින් පූනේ – එක් කඩුල්ලක් දැවී ලකුණු 78 (පන්දුවාර 12): අජින්ක්‍යා රහානේ 34*, රාහුල් ත්‍රිපති 28, ස්ටීවන් ස්මිත් 15*, අක්සා පටෙල් 1/13.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය

අයි.පී.එල් ඉතිහාසයේ තමන් මුහුණ දුන් අසාර්ථකම තරගාවලිය ජයග්‍රහණයක් සමඟින් නිමා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් විය. ඔවුන් හමුවේ පරාජය ලැබුවේ මෙවර තරගාවලියෙන් කල් තියාම ඉවත් වුනු තවත් කණ්ඩායමක් වන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමයි. සුපිරි ක්‍රීඩකයින් රැසක් අන්තර්ගත වුවත් ජයග්‍රාහී රිද්මය හඳුනා ගැනීමට නොහැකි වුනු බැංගලෝර් පිළ මෙම තරගාවලිය පුරාවට තරග 14කට සහභාගි වී ඉන් ජයගත්තේ තරග 3ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි ෆෙරෝ ෂා කොට්ලා තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කරන්නේ අභියෝගයන් රාශියක් මැදයි. ඒ මීට පෙර පැවති තරග රැසක දී ම ඔවුන්ගේ පිතිකරණ බල ඇණිය ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගොස් තිබීම නිසාවෙනි. කෙසේ වෙතත් 2017 වර්ෂය වෙනුවෙන් තම අවසන් අයි.පී.එල් තරගයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට බැංගලෝර් පිතිකරුවන් සමත් විය.

ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 48කි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට පන්දු 38ක් ප්‍රමාණවත් විය. මෙවර තරගාවලිය පුරාවට පිතිකරුවෙකු ලෙසින් ද නායකයෙකු ලෙසින් ද දක්ෂතා අතරට පැමිණීමට අසමත් වුනු විරාත් කෝලි ඊයේ ලකුණු 58ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 151කට සීමාවිය. දිල්ලි පිළ වෙනුවෙන් රිශාබ් පන්ට් ලකුණු 45ක් රැස් කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. හතරේ පහර ද්විත්වයක් සහ එක් හයේ පහරක් සමඟින් ශ්‍රෙයාස් අයර් ලකුණු 32යි. ප්‍රතිවාදී දිල්ලි පිතිකරුවන්ව මැනවින් හසුරුවාගත් බැංගලෝර් පන්දු යවන්නන් ඒ අනුව ලකුණු 10ක ජයක් තම කණ්ඩායමට හිමි කර දුන්හ.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක පවන් නෙගී ලකුණු 10ට කඩුලු 3ක් ද, නවක වේග පන්දු යවන්නෙකු වන හර්ෂාල් පටෙල් ලකුණු 43කට කඩුලු 3ක් ද දවා ගත්හ. මීට අමතරව එක් කඩුල්ල බැගින් දවාගත් ශේන් වොට්සන් සහ අවේශ් කාන් පවා ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ පන්දු වාරයකට ලකුණු 6කටත් වඩා අඩුවෙනි. තරගයේ වීරයා සම්මානය නවක ක්‍රීඩකයෙකු වශයෙන් දක්ෂතා අතරට පැමිණි හර්ෂාල් පටෙල්ට හිමිවිය.

රෝයල් චැලෙන්ජර්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 161 (පන්දුවාර 20): විරාත් කෝලි 58, ක්‍රිස් ගේල් 48, පවන් නෙගී 13*, කෙඩාර් ජාදෙව් 12, සචින් බේබි 12, පැට් කමින්ස් 2/21, ශබාස් නදීම් 1/12.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 20): රිශාබ් පන්ට් 45, ශ්‍රෙයාස් අයර් 32, කරුන් නයර් 26, මොහොමඩ් ශමි 21, පවන් නෙගී 3/10, හර්ෂාල් පටෙල් 3/43, ට්‍රැවිස් හෙඩ් 2/30.

මෙම තරග ද්විත්වයත් සමඟින් 2017 අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ සියලු තරග නිමාවට පත්වන අතර එහි දී සාර්ථකම කණ්ඩායම බවට පත්වූයේ තරග 14ක දී ජයග්‍රහණ 10ක් ලබාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. තරග 14කදී ජයග්‍රහණ 9ක් ලබාගත් රයිසින් පූනේ කණ්ඩායමට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවිය. මෙම සුපිරි කණ්ඩායම් දෙක අතරින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන ප්‍රථම කණ්ඩායම තීරණය කිරීමේ සටන හෙට වන්කඩේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 8ට ආරම්භ වනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට