කණ්ඩායමට මඟ හැරුණු ක්‍රීඩකයින් දෙපළක් මුම්බායට ජය ගෙනෙයි

1196
IPL 2017

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (13) පැවති තරග වල ප්‍රතිඵල සමඟින් අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 3ක් මේ වන විට තහවුරු වී ඇත. ඒ අනුව ඊයේ පැවති තරග වලින් ජය ලැබූ මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම හා දෙවන ස්ථාන වලට හිමිකම් කියන අතර කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට බොහෝ දුරට තෙවැනි ස්ථානය හිමිවනු ඇත.

දිල්ලි ජයග්‍රහණය නිසා පූනේ කණ්ඩායමට නොසිතූ අභියෝගයක්

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඊයේ (12) ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී වාර්තා කළ ලකුණු 7ක තියුණු ජයග්‍රහණයත් සමඟින් රයිසින් පූනේ සුපර්ජයන්ට් පිළට අවසන් වටයට පිවිසීමට තිබූ හොඳම අවස්ථාවක් මඟ හැරී ගියේය.

ගුජරාට් ලයන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය

කාන්පූර් තණතිල්ල මත දී කාසියේ වාසිය දිනා ගත් සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝනර් මුලින් පන්දුවට පහර දීම සඳහා ගුජරාට් ලයන්ස් කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ගුජරාට් ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. කොදෙව් ක්‍රීඩක ඩ්වේන් ස්මිත් හතරේ පහර 7ක් සහ හයේ පහර ද්විත්වයක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 54කි. මීට අමතරව යොවුන් ක්‍රීඩක ඉශාන් කිෂාන්ගේ පිත්තෙන් ලකුණු 61ක් ගුජරාට් ලකුණු පුවරුවට එක්විය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟිනි.

නමුත් මෙම සුපිරි සබඳතාවය බිඳ වැටීමත් සමඟ ගුජරාට් කණ්ඩායමේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම අඩාල විය. ලකුණු 4ක් තුල දී ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 4ක්ම එක පෙළට ඇද වැටීම නිසා පන්දුවාර 14ක් අවසානයේ ගුජරාට් ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 123ක් බවට පත්විය. නායක රයිනා, ඒරෝන් ෆින්ච්, දිනේෂ් කාර්තික් යන කිසිදු පිතිකරුවෙකු ඊයේ ලකුණු 2කට වඩා රැස් කිරීමට අපොහොසත් වීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

බිඳ වැටුණු ගුජරාට් ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු රවින්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 20ක් රැස් කළේය. නමුත් ආරම්භයේ දී හිමිවුණු වාසිය පවත්වා නොගත් ගුජරාට් ඉනිම පන්දු 4ක් ඉතිරිව තිබිය දී ලකුණු 154කට සීමා විය. පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා ප්‍රකට කළේය. ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රෂීඩ් කාන් ලකුණු 34ට කඩුලු 3යි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹාගිය සන්රයිසර්ස් පිතිකරුවන් පන්දුවාර 18යි එක් පන්දුවක් තුල දී අදාළ ඉලක්කය සපුරා ගනිමින් අවසන් වටයට පිවිසීමේ දොරගුළු විවර කර ගත්හ. සුපිරි පිතිකරණයක නියැලුණු සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 69යි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් අලංකාරවත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් විජේ ශංකර් නොදැවී ලකුණු 63යි. සන්රයිසර්ස් ඉනිමේ මුල් කඩුලු ද්විත්වය ලකුණු 25ක් තුල බිඳ වැටුණු මොහොතේ පටන් ලකුණු 133ක නොබිඳුණු සාර්ථක සබඳතාවයක් මොවුන් දෙදෙනා අතරේ ගොඩනැගුණි. තරගයේ වීරයා සම්මානය සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ගුජරාට් බලාපොරොත්තු සුන් කළ මොහොමඩ් සිරාජ්ට හිමි විය.

ගුජරාට් ලයන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 19.2): ඉශාන් කිෂාන් 61, ඩ්වේන් ස්මිත් 54, රවින්ද්‍ර ජඩේජා 20*, මොහොමඩ් සිරාජ් 4/32, රෂීඩ් කාන් 3/34, බුවනේශ්වර් කුමාර් 2/25.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 2ක් දැවී ලකුණු 158 (පන්දුවාර 18.1):ඩේවිඩ් වෝනර් 69*, විජේ ශංකර් 63*, ශිකර් ධවාන් 18, ප්‍රවීන් කුමාර් 2/22.


මුම්බායි ඉන්දියන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගය කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් කල්කටා නායක ගෞතම් ගම්බීර්ගේ තීරණය බවට පත්වූයේ මුලින් පන්දු යැවීමයි. තරගය ආරම්භ කරන විටත් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටි මුම්බායි කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩක වෙනස්කම් 6ක් සිදුකර තිබුණි. ඒ අනුව සෞරාබ් තිවාරි, අම්බති රයිදු, කෘනාල් පාණ්ඩ්‍යා, මිචෙල් ජොන්සන්, විනේ කුමාර් සහ ටිම් සවුති වැනි ක්‍රීඩකයින් රැසක් මුම්බායි කණ්ඩායම හා එක්විය.

ගම්බීර්ගේ තීරණයට ප්‍රතිචාර වශයෙන් මුලින් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වූහ. එහි දී සුපිරිම ඉනිම දෙක වාර්තා වූයේ මෙතෙක් කල් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ අම්බති රයිදු සහ සෞරාබ් තිවාරි අතිනි. ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් රයිදු හතරේ පහර 6ක් සහ හයේ පහර ත්‍රිත්වයක් සමඟින් ලකුණු 63ක් රැස් කළේය. කලක් මුම්බායි පිළේ නිත්‍ය ක්‍රීඩකයෙකු වුනු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට වැයවුනේ පන්දු 37ක් පමණි.

ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කළ සෞරාබ් තිවාරි ද ඊයේ අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම දර්ශනීය හතරේ පහර 9කින් අලංකාරවත් විය. ඇත්තෙන්ම අත්හදා බැලීමක් වශයෙන් කණ්ඩායමට එක්වුණු මෙම පිතිකරුවන් දෙදෙනා නොවන්නට මුම්බායි කණ්ඩායමට මෙම තරගයෙන් දරුණු පරාජයක් අත්වීමට ඉඩ තිබුණි. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවාගත් අතර අන්කිට් රාජ්පුත් සහ කුල්දීප් යාදෙව් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මෙම ඉලක්කය හඹා යාමට උත්සාහ දැරූ කල්කටා පිතිකරුවන් කිසිවෙකුටත් විශාල ඉනිමක් ගොඩ නැගීමට මුම්බායි පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණ. ඒ හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 164කට සීමා වන්නට ඔවුන්ට සිදු විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් මනිෂ් පාණ්ඩේ ලකුණු 33ක් රැස් කළේය. තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 29යි. ඒ හැරුණු කොට තරග දිනවන ඉනිමක් කල්කටා පිතිකරුවන්ගෙන් ප්‍රකට නොවීය.

පන්දු යැවීමේ දී හාර්දික් පාණ්ඩ්‍යා, විනේ කුමාර් සහ ටිම් සවුති අතරේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. මෙම තරගයේ දී අත්හදා බැලීම් වශයෙන් කණ්ඩායමට එක්කළ  ක්‍රීඩකයින් රැසක් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ප්‍රකට කළ බැවින් අවසන් වටයේ කණ්ඩායම තෝරා ගැනීමේ දී ඉතාමත් සැලකිලිමත් වීමට මුම්බායි කළමනාකාරිත්වයට සිදු වනු ඇත. තරගයේ වීරයා සම්මානය අම්බති රයිදුට හිමි විය.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 173 (පන්දුවාර 20): අම්බති රයිදු 63, සෞරාබ් තිවාරි 52, රෝහිත් ශර්මා 27, කිරන් පොලාර්ඩ් 13, ට්‍රෙන්ට් බෝල්ට් 2/30, අන්කිට් රාජ්පුත් 1/14.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 164 (පන්දුවාර 20): මනිෂ් පාණ්ඩේ 33, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 29, ක්‍රිස් ලින් 26, ගෞතම් ගම්බීර් 21, යූසුෆ් පතාන් 20, හාර්දික් පාණ්ඩ්‍යා 2/22, විනේ කුමාර් 2/31.

මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය වන අද දිනයේ ක්‍රියාත්මක වන රයිසින් පූනේ සුපර්ජයන්ට් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර තරගය ජය ගන්නා කණ්ඩායම මීළඟ වටය සඳහා තේරී පත්වනු ඇත. එබැවින් ස්ටීවන් ස්මිත් සහ ග්ලේන් මැක්ස්වෙල් යන ඕස්ට්‍රේලියානු නායකයින් දෙදෙනා අතර අද සවස 4ට ආරම්භ වන මෙම සටන පිළිමළුන් පිටු දකින තරගයක දැකිය හැකි උණුසුම කැටිවුණු සුපිරි තරගයක් වන බවට කල්තියා අනාවැකි පළකල හැක.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට