ප්‍රබල කල්කටා පිළ මට්ටු කරමින් රයිනා නැවතත් ලකුණු අතරට!

1066
IPL 2017 Kolkata knight riders v Gujarat lions
ESPN Cricinfo

නම ගිය පිතිකරුවන් රැසක්ම කණ්ඩායම නියෝජනය කළ ද මුල් තරග වල දී ජයග්‍රාහී රිද්මය හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පහළටම ඇද වැටී සිටි ගුජරාට් ලයන්ස් පිළ ඊයේ (21) ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් පිළට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ගැනීමට සමත් විය. ඒ නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ගේ රාජධානිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී ම ඔවුන්ව කඩුලු 4කින් පරාජයට පත් කරමිනි.

ලකුණු 199ක් පන්දු 93කින් හඹා ගිය බට්ලර් – රනා වික්‍රමය

කිංග්ස් XI පන්ජාබ් පිළට වැඩි සහයෝගයක් දක්වන ප්‍රේක්ෂකයින් දහස් ගණනක් ඉදිරියේ ලකුණු 199ක් දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් අති විශිෂ්ට ජයග්‍රහණයක්…

ජයග්‍රහණය වෙනුවෙන් යන ගමනේ පළමු අදියර ලෙස කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායක සුරේෂ් රයිනා මුලින් පන්දු යැවීමට තීරණය කරන්නේ තම ශක්තිමත් පිතිපෙළ භාවිතා කිරීම පසුවට කල් තබමිනි. ඒ අනුව කල්කටා පිළ වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්නේ නායක ගෞතම් ගම්බීර් සහ සුනිල් නරෙයින් විසිනි. මොවුන් දෙදෙනා පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 45ක් දක්වා ගෙන යාමට සමත් වූහ. විශේෂඥ දඟ පන්දු යවන්නෙකු ලෙසින් නම් දැරූව ද, පන්දුවට තදින් පහර දීමට සහජයෙන්ම කුසලතාවයක් ඇති සුනිල් නරෙයින් ඊයේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරන්නේ පන්දු 17ක් තුල ලකුණු 42ක් රැස් කරමිනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ද අන්තර්ගත විය.

අනෙක් අන්තයේ සිටි නායක ගම්බීර් ද හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් රැස් කරන්නේ කල්කටා ඉනිමේ ආරම්භය සුරක්ෂිත කරමිනි. මොවුන් දෙදෙනා දමා දුන් අත්තිවාරම යටතේ කල්කටා ඉනිම ගොඩ නැංවීමේ වගකීම අංක 3 පිතිකරු රොබින් උතප්පා භාර ගත්තේය. ඒ පන්දු 48කින් ලකුණු 72ක් රැස්කර ගනිමිනි. කෙසේ වෙතත් 12 වැනි පන්දු වාරයේ දී පිටියට පිවිසි මැදපෙළ පිතිකරු මනිෂ් පාණ්ඩේ අවස්ථාවට උචිත අන්දමින් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කිරීමට අසමත් වූ අතර ඔහු පන්දු 21ක් තුල දී රැස්කර ගත්තේ ලකුණු 24ක් පමණි.

ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන් පිළිගන්නා ශකීබ් අල් හසන්ව අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කර වීම ද කල්කටා කළමනාකාරිත්වය ඊයේ ත‍රගයේ දී ගත් තේරුම් ගැනීමට අපහසු තීරණයක් බවට පත්විය. කෙසේ වෙතත් මුල්පෙළ පිතිකරුවන් දැක්වූ සාර්ථකත්වය නිසාම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 187ක් රැස්කර ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් සමත්කම් දැක්වීය. පන්දු යැවීමේ දී කුමාර්, ෆෝක්නර්, තම්පි සහ රයිනා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව පන්ජාබ් පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 188ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණු නමුත් පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නොදක්වන ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුවේ ජයග්‍රහණය වෙනුවෙන් වෑයමක් දරන්නට ගුජරාට් පිතිකරුවන්ට අපහසු වූයේ නැත. පන්දුවට වැරෙන් පහර දීමට රුචිකත්වයක් දක්වන ඒරෝන් ෆින්ච් සහ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 42ක ආරම්භක සබඳතාවයක් පිහිටුවමින් ඒ සඳහා ශක්තිමත් පදනමක් දැමූහ.

ෆින්ච්ගේ පිත්තෙන් ඊයේ පන්දු 15ක් තුල දී ලකුණු 31ක් ගලා ආ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් මැකලම් පන්දු 17ක් තුල වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 33කි. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මොවුන් දෙදෙනා එක්ව දියත් කළ ප්‍රහාරය නිසා සෙසු ගුජරාට් පිතිකරුවන්ට ලකුණු වේගය පිළිබඳ එතරම් කරදර වීමට අවශ්‍ය වූයේ නැත.

කලකට පසු ලකුණු අතරට පිවිසි ගුජරාට් නායක සුරේෂ් රයිනා ඊයේ තරග දිනවන සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. ඒ පන්දු 46කින් වේගවත් ලකුණු 84ක් රැස් කරමිනි. ඔහුගේ විශිෂ්ට ඉනිමට හී සැර වන් හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය. 18 වැනි පන්දු වාරයේ දී රයිනා දැවී යන විටත් ගුජරාට් ඉනිම ලකුණු 180ක් ලෙස සටහන් වූ නිසා කල්කටා පන්දු යවන්නන්ට මෙම තරගයේ තීරණය ආපසු හැරවීමට කිසිදු අවස්ථාවක් උදා නොවීය. අංක 7 පිතිකරු ලෙසින් ක්‍රීඩා කළ රවින්ද්‍ර ජඩේජා පන්දු 13කින් නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් ගුජරාට් ලයන්ස් කණ්ඩායම සුරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යන්නට සමත් විය. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ය.

පන්දු යැවීමේ දී කල්කටා පිළ වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳ හෙලන්නට කුල්දීප් යාදෙව් සහ නේදන් කෝල්ටර්නයිල් සමත් වූහ. තරගයේ වීරයා සම්මානය ගුජරාට් නායක සුරේෂ් රයිනාට හිමිවිය. මෙම ජයග්‍රහණයත් සමඟින් ගුජරාට් ලයන්ස් පිළ ප්‍රසාද ලකුණු සටහනේ සත්වැනි ස්ථානයට උසස්වීම් ලැබුවේ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමිනි. දළ ලකුණු වේගය අතින් ඔවුන් මේතරම් පහළින් සිටිය ද අංක 4 ස්ථානයේ පසුවන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පවා ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 4ක් පමණි.

එබැවින් ඉතාමත් තරගකාරී අන්දමින් ගලාගෙන යන අයි.පී.එල්. 10 වැනි අදියරේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් 4 නිවැරදිව සඳහන් කිරීමට තවමත් හැකියාවක් නැත. තරගාවලියේ තවත් උණුසුම් තරග 2ක් අද (22) පැවැත්වෙන අතර පූනේ සහ හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය අද සවස 4ට පූනේ හිදී ද, මුම්බායි සහ දිල්ලි කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8ට මුම්බායි හිදී ද ආරම්භ වීමට නියමිතව ඇත.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 187 (පන්දුවාර 20): රොබින් උතප්පා 72, සුනිල් නරෙයින් 42, ගෞතම් ගම්බීර් 33, මනිෂ් පාණ්ඩේ 24, යූසුෆ් පතාන් 11, සුරේෂ් රයිනා 1/11, ප්‍රවීන් කුමාර් 1/24, ජේම්ස් ෆෝක්නර් 1/24.

ගුජරාට් ලයන්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 188 (පන්දුවාර 18.2): සුරේෂ් රයිනා 84, බ්‍රෙන්ඩන් මැකලම් 33, ඒරෝන් ෆින්ච් 31, රවින්ද්‍ර ජඩේජා 19*, ජේම්ස් ෆෝක්නර් 4*, කුල්දීප් යාදෙව් 2/33, නේදන් කෝල්ටර්නයිල් 2/41, ක්‍රිස් වෝක්ස් 1/20.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට