විශිෂ්ටයින් දණ ගැස්වූ සන්දීප් ශර්මා පන්ජාබයට ජය ගෙනෙයි

342
IPL 2017 Kings Punjab XI v Royal Challengers Bagalore report

මෙවර අයි.පී.එල් තරගාවලියේ දරුණු ඉරණමකට මුහුණ පා සිටින රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ඊයේ (06) තමන්ට සහය දක්වන ප්‍රේක්ෂකයින් වැඩි පිරිසක් වෙසෙන බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දීම තවත් පරාජයක් උරුම විය. මේ වන විට මුළු තරග 12කට සහභාගි වී ඇති බැංගලෝර් කණ්ඩායම ඉන් ජය ගෙන තිබෙන්නේ තරග 2ක් පමණි.

පන්දු 105කින් ලකුණු 214ක් උදුරා ගත් විස්මිත ප්‍රහාරය

අයි.පී.එල් 10 වැනි අදියරේ මෙතෙක් පැවැත්වුණු තරගවල දී දක්ෂතා අතරට පැමිණි නවක ඉන්දියානු ක්‍රීඩකයින් රාශියකි. නිතිශ් රානා, රාහුල් ත්‍රිපති සහ සන්ජු සැම්සන් ඒ අතර…

කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි මුලින් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඇරයුම් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් පිටියට පිවිසි පන්ජාබ් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන හෂිම් අම්ලා (1) සහ මාර්ටින් ගප්ටිල් (9) පන්දුවාර 4ක් ගතවීමටත් පෙර නැවතත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්විය. මැදපෙළ පිතිකරුවන් වන ශෝන් මාර්ෂ්, මනන් වොහ්රා සහ ව්‍රිදිමන් සහා යම් ආරම්භයක් ලබා ගත්ත ද එය විශාල ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර ගැනීමට අපොහොසත් විය.

නායක ග්ලේන් මැක්ස්වෙල් ඊයේ රැස්කර ගත්තේ ලකුණු 6ක් පමණි. ලකුණු වේගය අඩාල වීම සහ නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම නිසා අසරණ වුන පන්ජාබ් ඉනිමට යම් තරමක අස්වැසිල්ලක් බවට පත්වූයේ අක්සා පටෙල් ක්‍රීඩා කළ වේගවත් ඉනිමයි. ඔහු පන්දු 17ක් තුල දී නොදැවී ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගිනි. එබැවින් පන්ජාබ් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලෙස සටහන් විය.

වර්තමාන විස්සයි විස්ස තරග රටාව අනුව ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක් ලෙස හැඳින්විය හැකි මෙම ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසියේ ක්‍රිස් ගේල් සහ මන්දීප් සිං යන ප්‍රහාරක පිතිකරුවන් දෙදෙනායි. නමුත් ආරම්භක පන්දුවාරයේදීම ක්‍රියාත්මක වුනු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ශර්මා ක්‍රිස් ගේල්ව ලකුණු 0කට දවා ගනිමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහි පළමු වෙඩි මුරය දියත් කළේය. එතකින් නොනැවතුනු සන්දීප් නායක විරාත් කෝලිව ලකුණු 6කට ද, ඒ.බී. ඩිවිලියර්ස් ව ලකුණු 10කට ද දවා ගනිමින් තරගය මුළුමනින්ම කණපිට පෙරලන්නට සමත් විය.

ආරම්භක පිතිකරු මන්දීප් සිං පන්දු 40කදී ලකුණු 46ක් රැස් කළ ද ඔහුට දණින් වැටුණු රෝයල් චැලෙන්ජර්ස් ඉනිම නැවත නගා සිටුවීමට හැකි නොවීය. මන්දීප්ගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. පිතිකරණයේ ඉහළ දක්ෂතාවයක් ඇති කෙඩාර් ජාදෙව් සහ ශේන් වොට්සන් ද ඊයේ තනි ඉලක්කමේ ලකුණු වලට සීමා විය. පවන් නෙගීගේ පිත්තෙන් ඊයේ ලකුණු 21ක් රෝයල් චැලෙන්ජර්ස් ලකුණු පුවරුවට එක්විය.

සමස්තයක් වශයෙන් මෙවර තරගාවලිය පුරාවට රෝයල් චැලෙන්ජර්ස් පිතිකරුවන්ගෙන් දක්නට ලැබුණු දියාරු ක්‍රීඩා ශෛලිය ඊයේ දිනයේ දීත් නිරූපණය වූ අතර එබැවින් පන්දුවාර 19ක් අවසානයේ ඔවුන් ලකුණු 119කට සීමා විය. පන්දු යැවීමේ දී අක්සා පටෙල් ලකුණු 11කට කඩුලු 3ක් ද, සන්දීප් ශර්මා ලකුණු 22කට කඩුලු 3ක් ද දවා ගත්හ. මීට අමතරව මොහිත් ශර්මා සහ ග්ලේන් මැක්ස්වෙල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිටිමින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල සටනක් ලබාදෙන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 19කිනි. තරගයේ වීරයා සම්මානය ක්‍රිස් ගේල්, විරාත් කෝලි සහ ඒ.බී. ඩිවිලියර්ස් යන සුපිරි විස්සයි විස්ස පිතිකරුවන් තිදෙනාවම දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ 23 හැවිරිදි සන්දීප් ශර්මාට හිමිවිය.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම් අතර තරගය අද පස්වරු 4ට පැවැත්වෙන අතර, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රී 8ට ආරම්භ වනු ඇත. මෙම තරග ද්විත්වයම අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් වල අනුපිළිවෙළ තීරණය කිරීමට අතිශයින්ම වැදගත් වනු ඇත.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 7ක් දැවී ලකුණු 138 (පන්දුවාර 20): අක්සා පටෙල් 38*, මනන් වොහ්රා 25, ව්‍රිදිමන් සහා 21, ශෝන් මාර්ෂ් 20, අනිකට් චෞද්‍රි 2/17, යුශ්වේන්ද්‍ර චහල් 2/21, ශ්‍රීනාත් අරවින්ද් 1/13.

රෝයල් චැලෙන්ජර්ස් – සියල්ලන්ම දැවී ලකුණු 119 (පන්දුවාර 19): මන්දීප් සිං 46, පවන් නෙගී 21, ඒ.බී. ඩිවිලියර්ස් 10, සැමුවෙල් බද්රි 8, අක්සා පටෙල් 3/11, සන්දීප් ශර්මා 3/22, ග්ලේන් මැක්ස්වෙල් 2/15, මොහිත් ශර්මා 2/24.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට