ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් පිළ ඊයේ (16) ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගත්හ. මීට අමතරව ඊයේ පැවති අනෙක් තරගයේ දී ප්‍රබල ක්‍රීඩකයින් රැසකින් සමන්විත රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට රයිසින් පූනේ කණ්ඩායම සමත් විය.

වාර්තා බිහිවුනු දිනයකදී මුම්බායි ඉන්දියන්ස් තරගයක් කණපිට හරවයි

මොහොතින් මොහොත අපූර්ව සිදුවීම් වාර්තා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ (14) සිදුවුනු සුවිශේෂිම සිදුවීම බවට පත්වූයේ….

ගුජරාට් ලයන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය

නීල වර්ණයෙන් සැරසී වැන්කේඩ් ක්‍රීඩාංගණය ආක්‍රමණය කල දහස් සංඛ්‍යාත මුම්බායි ප්‍රේක්ෂකයින් ඉදිරියේ කාසියේ වාසිය දිනා ගත් රෝහිත් ශර්මා මෙවරත් තීරණය කරන්නේ පන්දු යැවීමටයි. පසුගිය තරග වල දී ද ඔවුන් ලකුණු හඹාගොස් ජයග්‍රහණ අත්පත් කර ගැනීම ඔහුගේ මෙම තීරණයට බොහෝ සෙයින් හේතුවිය. කලින් තරගයට ක්‍රීඩා නොකළ ලසිත් මාලිංග මෙම තරගයේ දී නැවතත් කණ්ඩායමට එක්වී සිටියේ මුම්බායි පිළ සතු වටිනාම ක්‍රීඩකයා ඔහු වූ බැවිනි.

ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ඩ්වේන් ස්මිත්ව දෙවැනි පන්දුවේදීම දවා ගනිමින් ප්‍රේක්ෂක ජය හඬ දෙගුණ තෙගුණ කරන්නට ඊයේ ප්‍රථම පන්දු වාරය ක්‍රියාත්මක කළ මිචෙල් මැක්ලනගන් සමත් විය. නමුත් බ්‍රෙන්ඩන් මැකලම් සහ සුරේෂ් රයිනාගේ පිත්තෙන් වේගවත් ලකුණු 80ක් ගුජරාට් ලකුණු පුවරුවට එක්විය. පිටිය සිසාරා පහර දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 44කින් ලකුණු 64ක් ලබා සිටි මැකලම් ඒ වන විට මුම්බායි පිළට තිබූ විශාලතම හිසරදය බවට පත්වෙමින් තිබුණි.

එවැනි වටපිටාවක් තුල නායක ශර්මා 14 වැනි පන්දු වාරය සඳහා පන්දුව භාර කරන්නේ ලසිත් මාලිංගටයි. තම අත්දැකීම් සහ දක්ෂතාව මැනවින් භාවිතා කළ මාලිංග ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට සූදානම් වුනු මැකලම්ගේ කඩුල්ල බිඳ හෙලන්නට සමත් විය. කෙසේ වෙතත් අවසන් පන්දු වාර කිහිපයේ දී කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් පන්දු 26කින් නොදැවී ලකුණු 48ක් රැස්කර ගැනීම නිසා ගුජරාට් පිළට කඩුලු 4ක් දැවී ලකුණු 176ක් රැස්කර ගැනීමට හැකි විය.

මෙම අසීරු ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි මුම්බායි පිළේ පළමු කඩුල්ලත් දෙවැනි පන්දුවේදීම බිඳ වැටුණි. නමුත් අංක 3 පිතිකරු නිතිශ් රනා, ජෝස් බට්ලර් සමඟ එක්වෙමින් ලකුණු 85ක සබඳතාවයක් පිහිටුවන්නේ මුම්බායි ප්‍රේක්ෂකයින්ට නැවතත් බලාපොරොත්තු ගෙන දෙමිනි. ප්‍රහාරයත් ආරක්ෂාවත් යන දෙකම සහජයෙන්ම උරුම කරගෙන සිටින ඉන්දියානු නවක පිතිකරු නිතිශ් රනා ඊයේ පන්දු 36කින් ලකුණු 53ක් රැස් කළේය. කල් යල් මැන එල්ල කළ හතරේ පහර 4ක් සහ උඩු ගුවනේ පියඹා ගිය හයේ පහර 2ක් සමඟින් ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට ඇතුළත් විය. මේ වන විට තරග 5ක් තුල දී ලකුණු 193ක් රැස් කරගෙන සිටින රනා අයි.පී.එල් 10 වැනි අදියරේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ගෞතම් ගාම්බීර්, ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් වැනි සුපිරි පිතිකරුවන් ඔහුට පහළින් සිටියි.

මීට පෙර තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයක් කණපිට පෙරළූ කිරන් පොලාර්ඩ් ඊයේ දිනයේ දී ද පන්දු 23කින් ලකුණු 39ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු වේගය ඉහළ දැමීය. මෙවර තරගාවලියේ තරග 4ක් තුල දී තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යා වලට දැවී ගොස් තිබූ රෝහිත් ශර්මා ඊයේ නොදැවී ලකුණු 40ක් රැස් කරමින් මුම්බායි කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා ගෙන ගියේය. තරගයේ වීරයා සම්මානය අර්ධ ශතකයක් රැස් කළ 23 හැවිරිදි වමත් පිතිකරු නිතිශ් රනාට හිමිවිය.

ගුජරාට් ලයන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20): බ්‍රෙන්ඩන් මැකලම් 64, දිනේෂ් කාර්තික් 48*, සුරේෂ් රයිනා 28, ජේසන් රෝයි 14, ඉශාන් කිශාන් 11, මිචෙල් මැක්ලනගන් 2/24, හර්බජාන් සින් 1/22, ලසිත් මාලිංග 1/51.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 177 (පන්දුවාර 19.3): නිතිශ් රනා 53, රෝහිත් ශර්මා 40*, කිරාන් පොලාර්ඩ් 39, ජෝස් බට්ලර් 26, හාර්දික් පාණ්ඩ්‍යා 6*, ඇන්ඩෘ ටයි 2/34, ප්‍රවීන් කුමාර් 1/25, මුනාෆ් පටෙල් 1/35.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය

මෙතෙක් සහභාගි වූ තරග වලින් එක් ජයග්‍රහණයක් පමණක් ලබා තිබූ රයිසින් පූනේ කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඊයේ ද්වන්ධ සටනකට අවතීර්ණ වන්නේ බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදීයි. එහි දී සුපිරි ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂක දිරිමත් කිරීම් අතින් ඉහළින් සිටින රෝයල් චැලේන්ජර්ස් පිළ පහසුවෙන් පූනේ කණ්ඩායම පරාජය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් අවසන් තීරණය ඊට වඩා පෙරළිකාර‍ විය.

කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක විරාත් කෝලිගේ ඇරයුමින් පන්දුවට පහර දුන් රයිසින් පූනේ කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනා හොඳින් පන්දුවට පහර දුන්නද අවසානයේ දී ඔවුන්ට සිදුවන්නේ ලකුණු 161කට සීමා වීමටයි. ලකුණු 127කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු පූනේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 3ක් තුල දී බිඳ වැටීම ඊට හේතුවිය. කෙසේ වෙතත් අවසන් පන්දු වාර කිහිපයේ දී ප්‍රහාරයක් දියත් කළ මනෝජ් තිවාරි පන්දු 11කින් ලකුණු 27ක් (හතරේ පහර 3, හයේ පහර 2) රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් සහ ස්‍රීනාත් අරවින්ද් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 162ක ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි කෝලි, ඩිවිලියර්ස් සහ වොට්සන් වැනි සුපිරි පිතිකරුවන් සහිත බැංගලෝර් පිළට ඊයේ ලකුණු 134කට සීමා වන්නට සිදුවිය. බොහෝ බැංගලෝර් පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්තත් ඒ කිසිවෙකුටත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි වීම මීට හේතුවිය. බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු ඩිවිලියර්ස් පවා රැස්කර ගත්තේ ලකුණු 29ක් පමණි.

පන්දු යැවීම ආරම්භ කළ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ජාදෙව් උනද්කට් සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශාදුල් තකූර් පූනේ කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කළහ. මීට අමතරව මදවේග පන්දු යවන බෙන් ස්ටෝක්ස් ද කඩුලු 3ක් බිඳ හෙලීය. පූනේ කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකු අනවශ්‍ය ලෙස ප්‍රතිවාදීන්ට ලකුණු ලබා නොදෙමින් පන්දු යැවීම මෙම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් විය.

මෙම තරගය ලකුණු 27කින් ජය ගත් රයිසින් පූනේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සයවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සමත් විය. ප්‍රතිවාදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිළ මේ වන විට ලකුණු සටහනේ පහළටම වැටී සිටින්නේ තමන් සහභාගි වූ තරග 5න් 4ක්ම පරාජයට පත්වෙමිනි. තරගයේ වීරයා සම්මානය එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට හිමිවිය.

රයිසින් පූනේ – කඩුලු 8ක් දැවී ලකුණු 161 (පන්දුවාර 20): රාහුල් ත්‍රිපති 31, අජින්ක්‍යා රහානේ 30, එම්.එස්. දෝනි 28, ස්ටීවන් ස්මිත් 27, මනෝජ් තිවාරි 27, ඇඩම් මිල්න් 2/27, ස්‍රීනාත් අරවින්ද් 2/29, පවන් නෙගී 1/12, සැමුවෙල් බද්රි 1/32.

රෝයල් චැලේන්ජර්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 134 (පන්දුවාර 20): ඒ.බී. ඩිවිලියර්ස් 29, විරාත් කෝලි 28, කෙඩාර් ජාදෙව් 18, ස්ටීවන් බිනී 18, ශේන් වොට්සන් 14, බෙන් ස්ටෝක්ස් 3/18, ශාදුල් තකූර් 3/35, ජාදෙව් උනද්කට් 2/25.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩාම් අතර තරගය අද සවස 4ට ආරම්භ වීමට නියමිතව ඇති අතර සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට