ශ්‍රී ලංකාවේ පාපන්දුව නැවතත් ජාත්‍යන්තරයට

1148

වසර දෙකක පමණ දීර්ඝ කාලයකට පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද (08) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ලිතුවේනියා කණ්ඩායම සමඟ පැවති ජාත්‍යන්තර සුහද තරගය ගෝල 0-0ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් විය. 

24 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලිතුවේනියාව සමඟ පැවැත්වෙන සුහද තරගාවලියට හා 2018 සැප්තැම්බර් මස දකුණු ආසියානු (SAFF) පාපන්දු ශූරතාවලියට…

තරගය ආරම්භයේ සිට සිය ආධිපත්‍යය රඳවා ගත් ලිතුවේනියා කණ්ඩායම පන්දුව ප්‍රතිවාදී අන්තයේ රඳවා ගනිමින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීය. ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක පෙළ තරමක් දුර්වල සංවිධානාත්මක බවක් පෙන්නුම් කළත් කෙමෙන් තරගයට අවතීර්ණ වූ ඔවුන් ලිතුවේනියා ඉදිරිපෙළ ක්‍රීඩකයින් හට ගෝලයක් ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදීමට වගබලා ගත්තේය.

ලිතුවේනියා ක්‍රීඩකයින් හට තරගයේ 16 වන මිනිත්තුවේ දී පහසු ස්ථානයක නිදහස් පහර අවස්ථාවක් ලැබුනත් එහි දී ඔවුන් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගිය නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයට පන්දුව රැගෙන යමින් ඔවුන්ට තර්ජනයක් එල්ල කරන්නට අසමත් වූ අතර පන්දුව ඉදිරියට ගෙන ගිය අවස්ථාවන් වලදීත් ඔවුන් ප්‍රදර්ශනය කළ දුර්වල පන්දු හැසිරවීම සහ පන්දු හුවමාරු කර ගැනීම නිසා ප්‍රතිවාදී ලිතුවේනියා කණ්ඩායම දැඩි අපහසුතාවයකින් තොරව ඔවුන්ගෙන් පන්දුව ලබා ගන්නට සමත් විය.

මගේ කතාව – රෝමේලු ලුකාකු

“මට මගේ අම්මා ශීතකරණය ළඟ හිටගෙන බලන් හිටපු විදිය තවමත් මතකයි.” මෙසේ කියන 2018 පාපන්දු…

කෙසේ නමුත් තරගයේ 34 වන මිනිත්තුවේ දී ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ඉදිරියට රැගෙන යමින් මොහොමඩ් ෆාසාල් විසින් එය ගෝල රාමුව අසල සිටි කවිඳු ඉෂාන් හට බාර කළ නමුත් ඔහුට ගෝලයක් ලබා ගැනීමට පහරක් එල්ල කිරීමට අවස්ථාවක් නොවූ අතර ඒ අනුව ඔහු විසින් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකු හට බාර කිරීමට උත්සාහ දැරුවත් එහි දී පන්දුව ඉවතට යොමු කරන්නට ලිතුවේනියා ක්‍රීඩකයින් සමත් විය.

අනතුරුව ලිතුවේනියා ක්‍රීඩකයින් හට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් අසමත් විය.

පළමු අර්ධය: ලිතුවේනියාව 00 – 00 ශ්‍රී ලංකාව

පළමු අර්ධයේ දී මෙන් දෙවන අර්ධය ආරම්භයේ දී ද ලිතුවේනියා කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට උත්සාහ දරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ නැවතත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

තරගයේ 57 වන මිනිත්තුවේ දී ‘කෝනර්’ අවස්ථාවක් හරහා යොමු වූ පන්දුවකට ලිතුවේනියා ක්‍රීඩකයෙක් හිසින් එල්ල කළ පහරක් ගෝල රාමුවට ඉහළින් ඇදී යාමත් සමඟ ඔවුන්ට එම අවස්ථාව අහිමි විය.

දෙවන අර්ධයේ මැද භාගය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් වෙත යොමු වූ අතර ඒ අනුව ඉක්මන් අවස්ථාවන් දෙකක් හරහා ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරන්නට ඔවුන් සමත් විය. කෙසේ නමුත් එම අවස්ථාවන් ද්විත්වයේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල කලාපය පිටත සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

අනතුරුව 80 වන මිනිත්තුවේ දී නැවත වරක් ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ඉදිරියට යමින් ජේ. ඩී. සසංග විසින් එය මොහොමඩ් සර්වාන් වෙත බාර කළ නමුත් එහි දී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ලිතුවේනියා ගෝල රකින ක්‍රීඩකයා වෙත සෘජුව යොමු වීම නිසා එවර ද ගෝලයක් වාර්තා කර ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියේය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට අසමත් වූ අතර ඒ අනුව තරගය ගෝල රහිතව ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සම්පූර්ණ කාලය: ලිතුවේනියාව 00 – 00 ශ්‍රී ලංකාව

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් සුහද තරගය එළඹෙන බදාදා (11) තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතය.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<