Neymar නැවතත් PSGට ජය කැඳවයි; Man. Unitedට නැවතත් නොසිතූ පරාජයක්

72

එංගලන්ත Premier League තරගාවලියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ සයවැනි සතියේ හා ස්පාඤ්ඤයේ La Liga සහ ජර්මානු Bundesliga ලීග් තරගාවලිවල පස්වැනි සතියේ වැදගත් තරග කිහිපයක් ඊයේ (22) නිමාවට පත්විය. 

Manchester Cityගෙන් ගෝල වැස්සක්; Barcelonaට නින්දා සහගත පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ සයවැනි ……

Liverpool තවමත් අපරාජිතයි

Premier League තරගාවලියේ Liverpool සහ Chelsea අතර ඊයේ Stamford Bridge ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ගෝල 2-1ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට Liverpool සමත් වූ අතර මේ වන විට මෙවර තරග වාරයේ සහභාගී වූ තරග 6ම ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත්ව ඇත. 

සුපුරුදු පරිදි සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරමින් 14 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට Liverpool ක්‍රීඩකයින් සමත් විය. ගෝල රාමු කලාපය පිටත ඔවුන්ට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් ලබාගත් Mo Salah එහි දී පන්දුව අසල සිටි Trent Alexander-Arnold වෙත බාර කළ අතර ඔහු එයට වේගවත් පහරක් එල්ල කරමින් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව Cesar Azpilicueta විසින් Chelsea වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එම ගෝලය නිර්මාණය කිරීමේ දී Mason Mount off-side නීතිය උල්ලංඝණය කළ බවට VAR හරහා තහවුරු වීම නිසා එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත. 

පසුව Liverpool හට ප්‍රතිවාදී අන්තයේ තවත් නිදහස් පහරක් හිමිවූ අතර එය ලබා ගත් Andrew Robertson ගෝල රාමු කලාපයට යොමු කළ පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකළ Roberto Firmino සිය කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත. එහි දී Chelsea ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalagaගේ විශිෂ්ට ගෝල රැකීම ද කැපී පෙනෙන්නට විය. 

කෙසේ නමුත් පසුව ක්‍රියාත්මක වූ Ngolo Kante විශිෂ්ට ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ Chelsea ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වුවත් එහි දී ඔවුන්ට ලැබුණු අවස්ථා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් අසමත් වීමත් සමඟ තරගයේ ජයග්‍රහණය Liverpool කණ්ඩායමට හිමිවන්නට විය. 

සම්පූර්ණ කාලය: Liverpool 2 -1 Chelsea 

ගෝල ලාභීන් 

  • Liverpool – Trent Alexander-Arnold 14’, Roberto Firmino 30’
  • Chelsea – Ngolo Kante 71’ 

Athletico අවසන් මොහොතේ දී තරග සම කරද්දී Courtoisට බැනුම්

2019/20 ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ තවත් ………..

Yarmolenko සහ Cresswell විසින් Manchester United අභියෝගය මැඩලති

Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ West Ham United කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 0-2ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට West Ham කණ්ඩායම සමත් විය.  

තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට එතරම් අවස්ථා හිමි නොවූ අතර ඔවුන්ට හිමි වූ සුළු අවස්ථාවන් ප්‍රමාණය ද ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Andriy Yarmolenko විසින් Felipe Anderson ලබා දුන් පන්දුවක් ගෝල රාමු කලාපය තුළ සිට පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

දෙවැනි අර්ධයේ දී ද පළමු අර්ධයේ දී මෙන් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවන් එතරම් නිර්මාණය කරගැනීමට අපොහොසත් වෙද්දී Manchester United හි Juan Mata හට ගෝලයක් වාර්තා කරගැනීමට ලැබුණු පහසු අවස්ථාවක් ඔහු අතින් ගිලිහී ගියේ ඔහු එහි දී එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාමත් සමඟයි.

පසුව West Ham වෙත ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවූ අතර එය ලබාගත් Aaron Cresswell විසින් ඉතා විශිෂ්ට ලෙස පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් එය සාර්ථක කරගනු ලැබුවේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි. 

සම්පූර්ණ කාලය: Manchester United 0 – 2 West Ham United

ගෝල ලාභීන් 

  • West Ham United – Andriy Yarmolenko 44’, Aaron Cresswell 84’

Arsenal සහ Aston Villa අතර උණුසුම් තරගයක්

Premier League තරගාවලිය යටතේ ඊයේ Arsenal සහ Aston Villa අතර පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කරන්නට Arsenal ක්‍රීඩකයින් සමත් විය. 

Arsenal ක්‍රීඩකයින් විසින් තරගයට ආක්‍රමණශීලී ආරම්භයක් ලැබුවත් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණෙන්නට සමත් වූයේ Aston Villa ක්‍රීඩකයින් ය. ඒ Anwar El Ghazi විසින් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් John McGinn විසින් ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමිනි.

පසුව පළමු අර්ධය අවසන් වන්නට පෙර Arsenal ක්‍රීඩක Ainsley Maitland-Niles වෙත විනිසුරුවරයා විසින් ඔහුගේ දෙවන කහ කාඩ්පත නිකුත් කිරීම හරහා එය රතු කාඩ්පතක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර ඒ අනුව Arsenal හට තරගය එතැන් සිට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරන්නට සිදු විය.

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී Arsenal හට පිරිනැමුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් Nicolas Pepe සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් විය.

ඊට වහාම ප්‍රතිචාර දැක්වූ Aston Villa ක්‍රීඩක Wesley Moraes විසින් ඉතා දක්‍ෂ ලෙස Jack Grealish ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟ නැවතත් ඔවුන් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

කෙසේ නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ඉක්මන් ගෝල 2ක් වාර්තා කර ගත් Arsenal ක්‍රීඩකයින් තියුණු සටනකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. Matteo Guendozi ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Aston Villa ක්‍රීඩකයින් විසින් නිසි පරිදි ඉවතට යොමුකිරීමට අසමත් වීමත් සමඟ පන්දුව ලබා ගත් Calum Chambers එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් එහි පළමු ගෝලය වාර්තා වූ අතර ඔවුන්ට ගෝල රාමු කලාපය පිටත පිරිනැමුණු නිදහස් පහර අවස්ථාවක් ඉතා විශිෂ්ට ලෙස සාර්ථක කර ගත් Pierre-Emerick Aubameyang විසින් එහි දෙවන ගෝලය වාර්තා කරගනු ලැබීය.

සම්පූර්ණ කාලය: Arsenal 3 – 2 Aston Villa

ගෝල ලාභීන් 

  • Arsenal – Nicolas Pepe 59’ (P), Calum Chambers 81’, Pierre-Emerick Aubameyang 84’
  • Aston Villa – John McGinn 20’, Wesley Moraes 60’ 

ජීවිත පරිත්‍යාගයෙන් ඉල්ලන පාපන්දු අයිතිය

පාපන්දු තරග නැරඹීමට තහනම් වීම නිසා තරුණියකට ගිනි………..

Benzema ගෝලයෙන් Real Madridට ජය

ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය යටතේ ප්‍රබල Real Madrid සහ Sevilla කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට Real Madrid සමත් විය.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වුවත් තරගය ඉදිරියට යත්ම Real Madrid හි Eden Hazardට සහ Dani Carvajal හට ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවන් හිමිවුවත් එහි දී ක්‍රියාත්මක වූ Sevilla ගෝල රකින ක්‍රීඩක Tomas Vaclik ඒවා නවතාගන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Karim Benzema විසින් Carvajal ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

තරගය අවසන් වන්නට පෙර Javier Hernandez විසින් Sevilla වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එහි දී off-side නීතිය උල්ලංඝණය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට හිමිනොවූ අතර ඒත් සමඟම Real Madridට තරගයේ ජයග්‍රහණය හිමි විය. 

සම්පූර්ණ කාලය: Real Madrid 1 – 0 Sevilla 

ගෝල ලාභීන් 

  • Real Madrid – Karim Benzema 64’ 

Neymar නැවතත් PSG ගැලවුමට

ප්‍රංශයේ Ligue 1 තරගාවලිය යටතේ ප්‍රබල Paris Saint-Germain (PSG) සහ Olympique Lyonnais (Lyon) කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස අවසාන මොහොතේ ජයග්‍රහණය කරන්නට PSG සමත් විය.

තරගය ආරම්භයේ පටන් PSG ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් එහි දී විශිෂ්ට ගෝල රැකීමක් දියත් කළ Lyon ගෝල රකින ක්‍රීඩක Anthony Lopes ගෝල රාමුව වෙත එල්ල වූ සියලුම පහරවල් වළකා ගන්නට සමත් විය. ඒ අතරට Neymar Jr. විසින් ලබාගත් නිදහස් පහර අවස්ථාවක දී ඔහු දියත් කළ විශිෂ්ට රැකගැනීම ද ඇතුළත් විය. 

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් පසුගිය තරගයේ දී අවසාන මිනිත්තුවේ වාර්තා කර ගත් ගෝලයක් සමඟින් PSGට ජයග්‍රහණය හිමිකර දුන් Neymar නැවතත් එම වික්‍රමය ම විදහා දැක්වූයේ තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Lyon ආරක්‍ෂක ක්‍රීඩකයින් අභිබවමින් අගනා ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට නැවතත් ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 1 – 0 Olympique Lyonnais 

ගෝල ලාභීන් 

  • Paris Saint-Germain – Neymar Jr. 87’

Dortmundට ‘own goal’ හරස් වෙයි

ජර්මානු Bundesliga තරගාවලිය යටතේ ඊයේ Borussia Dortmund සහ Eintracht Frankfurt කණ්ඩායම් අතර පැවති තරගය ඊයේ උණුසුම් තරගයකින් අනතුරුව නිමාව දුටුවේ ගෝල 2-2ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වෙමිනි. 

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් Dortmund ක්‍රීඩකයින්ගේ ගෝලයක් වාර්තා කරගැනීමේ උත්සාහය 11 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූයේ Thorgun Hazard ලබා දුන් පන්දුවක් Axel Witsel විසින් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟයි.

අනතුරුව කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වන්නට පෙර Frankfurt නැවතත් තරගයට අවතීර්ණ කළ Andre Silva විසින් Djibril Sow ලබා දුන් පන්දුවකට පහරක් එල්ල කරමින් ගෝල රාමුව තුළට යොමුකරමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Jadon Sancho විසින් Witsel ගෝල රාමුව දෙසට යොමු කළ පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් නැවතත් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

ඒ අනුව ඔවුන්ට තරගයේ ජයග්‍රහණය හිමිවන සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Daichi Kamada විසින් ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවක් පිටියෙන් ඉවතට යොමුකිරීමට Thomas Delaney දැරූ උත්සාහයක දී පන්දුව ඔහුගේ පාදයේ වැදී සිය ගෝල රාමුව තුළට ම යොමුවීමෙන් ප්‍රතිවාදී Frankfurt හට ‘own goal’ අවස්ථාවක් හිමිවී තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය. 

සම්පූර්ණ කාලය: Borussia Dortmund 2 – 2 Eintracht Frankfurt

ගෝල ලාභීන් 

  • Borussia Dortmund – Axel Witsel 11’, Jadon Sancho 66’
  • Eintracht Frankfurt – Andre Silva 43’, Thomas Delaney 88’ (OG)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<