ජර්මානු Bundesliga තරගාවලිය හා ස්පාඤ්ඤ La Liga තරගාවලිය අද (17) අලුයම ආරම්භ වූ අතර පළමු දිනය තරගාවලි දෙකේම දැවැන්තයින්ට නම් එතරම් සුබ වුනේ නැහැ. 

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ බලාපොරොත්තු වූ පරිදිම ලිවර්පූල් හා Arsenal කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළ අතර Lucas Mouraගේ සුපිරි දක්ෂතා නිසා Manchester City කණ්ඩායමට සිදු වූයේ Tottenham සමඟ ජයග්‍රහණය බෙදා ගැනීමටයි.   

Rashford හා Martial Chelsea බලාපොරොත්තුවලට හරස් වෙයි

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සති අන්තය නිමා කරමින් අද (11) Manchester United කණ්ඩායම ප්‍රබල…

Tottenham හා Manchester City සම සමව අවසන් වේ 

Tottenham Hotspur කණ්ඩායම වෙනුවෙන් ගෝල සම කරමින් Lucas Moura සිය පළමු ස්පර්ශයෙන්ම ගෝලයක් වාර්තා කළ අතර Tottenham Hotspur හා Manchester City අතර තරගය අවසන් වූයේ ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවය. ඒ අනුව ප්‍රිමියර් ලීග් ශූරයින්ගේ තරග 15ක අපරාජිත වාර්තාව බිඳ වැටීමත් විශේෂත්වයක්.   

City කණ්ඩායම වෙනුවෙන් Gabriel Jesus’ගේ අවසන් මොහොතේ ප්‍රහාරය විනිසුරු VAR අවස්ථාවක් යොදා ගනිමින් නිෂ්ප්‍රභා කළා. ඒ එම ගෝලය වාර්තා වීමට ප්‍රථම පන්දුව Aymeric Laporteගේ අතේ ස්පර්ශ වන බව පවසමින්. තරගයේ තීරණාත්මක තීරණය වූ ඒ තීරණයට නම් City ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් එතරම් කැමැත්තක් පළ කළේ නැහැ.   

Lucas අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිස තත්පර 19කින් තරගයේ දෙවන Spurs ගෝලය වාර්තා කළේ City කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගනිමින්.   

20 වැනි මිනිත්තුවේ දී අඛණ්ඩව දෙවන තරගයේ දීත් Raheem Sterling ගෝලයක් වාර්තා කළේ City කණ්ඩායමට පෙරමුණ ගෙන එමින්. Kevin De Bruyneගේ අලංකාර හරස් පන්දු යොමු කිරීමක් හමුවේ Sterling එම ගෝලය වාර්තා කළා.   

ඊට මිනිත්තු කිහිපයකට පසුව Erik Lamela දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිට අලංකාර ප්‍රහාරයකින් ලකුණු රැස් කළේ Spurs වෙනුවෙන් ලකුණු රැස් කරමින්.  

Pep Guardiolaගේ City කණ්ඩායම නැවතත් පළමු අර්ධයට පෙර තරගයේ වාසිය තමන්ගේ අතට හරවා ගත්තේ De Bruyne ගේ හරස් පන්දු යොමු කිරීමක් Sergio Aguero ගෝල රාමුවට යාර හයක් පමණ නුදුරේ සිට දක්ෂ ලෙස දැල තුළට එල්ල කිරීමත් සමඟයි.  

කෙසේ වෙතත් Lamela ලබා ගත් corner අවස්ථාවකට Kyle Walker පරාජය කළ Lucas දෙවන Spurs ගෝලය වාර්තා කළේ City හදවත් බිඳ දමමින්.  

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 2 – 2 Manchester City

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Tottenham Hotspur – Erik Lamela 23′, Lucas Moura 56′ 
  • Manchester City – Raheem Sterling 20′, Sergio Agüero35′ 

Arsenal වසර නවයකට පසුව අඛණ්ඩව සිය ආරම්භක තරග දෙකම ජය ගනියි! 

Pierre-Emerick Aubameyangගේ දෙවන අර්ධයේ ගෝලයේ පිහිටෙන් Arsenal කණ්ඩායම ගෝල 2-1ක් ලෙස Burnley කණ්ඩායම පරාජය කළා. තරගය පැවැත්වුණේ Emirates ක්‍රීඩාංගණයේ දීයි.     

13 වැනි මිනිත්තුවේ දී Alexandre Lacazette, Arsenal වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළේ Nick Pope මඟ හරිමින් පන්දුව දැල් ගත කරමින්.    

Burnley කණ්ඩායම වෙනුවෙන් Chris Wood දෙවරක්ම ගෝල රැස් කිරීමට අසන්න අවස්ථා ගොඩ නැගුවත් එම අවස්ථා දෙකම සාර්ථක වූයේ නැහැ. ඔහුගේ පළමු උත්සාහය ගෝල රාමුවෙන් ඉවත ගිය අතර දෙවන අවස්ථාවේ ඔහු හිසෙන් යොමු කළ පන්දුව Bernd Leno විසින් රැක ගන්නා ලදි.  

පළමු අර්ධයට මිනිත්තු දෙකක් තිබිය දී Burnley කණ්ඩායම ගෝල සම කළේ Ashley Barnesගේ අලංකාර ප්‍රහාරයකින්. Ashley Barnes තරග දෙකක් තුල වාර්තා කළ තෙවන ගෝලය මෙයයි.

64 වැනි මිනිත්තුවේ දී Aubameyang නැවතත් ක්‍රියාත්මක වූයේ පළමු තරගයේ මෙන්ම මේ තරගයේ දී ද Arsenal පිහිටට එමින්. Dani Ceballos දිනයේ සිය දෙවන ගෝලය සඳහා දායක වීම සිදු කළේ දක්ෂ ලෙස පන්දුව Aubameyang වෙත යොමු කරමින්. Aubameyang සුපිරි ධාවනයකින් අනතුරුව පන්දුව බිම දිගේ මෙන් දැල වෙත යොමු කළේ ගෝල රකින ක්‍රීඩක Pope මඟ හරිමින්.    

ඒ අනුව Unai Emeryගේ Arsenal කණ්ඩායම මෙවර තරග වාරයේ පළමු සති දෙකේම ජයග්‍රහණ වාර්තා කළ අතර මෙලෙස ඔවුන් පළමු තරග දෙකේ අඛණ්ඩ ජයග්‍රහණ වාර්තා කළේ වසර නවයකට පසුව වීම විශේෂත්වයක්. 

අවසන් ලකුණු තත්වය: Arsenal 2 -1 Burnley

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Arsenal – Alexandre Lacazette 13′, Pierre-Emerick Aubameyang 64′
  • Burnley – Ashley Barnes 43′  

ලිවර්පූල් නූලෙන් බේරේ 

දෙවන සති අන්තයේදීත් පහසු ජයක් ලබන්නට Liverpool කණ්ඩායමට ලැබුණු අවස්ථාව අවසන් මොහොතේ දී ගිලිහී ගියත් Liverpool කණ්ඩායම Southampton පරාජය කරමින් ගෝල 2-1ක ජයක් වාර්තා කාරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ St Mary ක්‍රීඩාංගණයේ දී.    

Sadio Mane හා Roberto Firmino පිළිවෙළින් පළමු අර්ධයේ දී හා දෙවන අර්ධයේ දී ගෝල වාර්තා කළේ Liverpool කණ්ඩායම අඛණ්ඩව වාර්තා කළ 11 වැනි ප්‍රිමියර් ලීග් ජය වාර්තා කරමින්. මීට පෙර ඔවුන් මෙවැනි දක්ෂතාවක් දක්වා තිබුණේ 2014 වසරේ දීයි.  

කෙසේ වෙතත් තරගය Liverpool කණ්ඩායමට එතරම් පහසු නොවූයේ Danny Ings අවසන් මිනිත්තු කිහිපයක දී වාර්තා කළ ගෝලයක් නිසාවෙන්. පසුව Southampton කණ්ඩායමට ගෝල සම කිරීමට අනගි අවස්ථාවක් ලැබුනත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ.  

Mane තරගයේ පළමු ගෝලය වාර්තා කළේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී. ඔහුගේ අලංකාර ප්‍රහාරයක් කවාකාරව ගොස් දැල් ගත වුනේ Liverpool කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින්. 

71 වැනි මිනිත්තුවේ දී Mane පන්දු යොමු කිරීමක් Firmino දක්ෂ ලෙස ගෝල රාමුවෙන් ඇතුළට යොමු කළේ Liverpool වෙත පහසු ජයක දොරගුළු විවර කරමින්.   

83 වැනි මිනිත්තුවේ දී Ings, Liverpool ගෝල රකින ක්‍රීඩක, Adrian අසළටම ගිය අතර Adrian එතරම් උනන්දුවකින් තොරව එල්ල කළ ප්‍රහාරයක් ඔහුගේ ඉදිරියේ සිටි Ingsගේ පාදයේ වැදී ගෝලය තුළට ගියේ හාස්‍යජනක ලෙසයි.

කෙසේ වෙතත් ගෝල සම කිරීමට ලැබුණු අවස්ථාව Southampton වෙතින් ගිලිහී ගියේ ගෝල රාමුවට යාර හයක් නුදුරෙන් ගෝල රකින්නා පමණක් පසු කිරීමට තිබූ පසුබිමකයි.   

අවසන් ලකුණු තත්වය: Liverpool 2 – 1 Southampton

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Sadio Mané 45 +1′, Roberto Firmino 71′ 
  • Southampton – Danny Ings 83′

Aritz Aduriz ගෙන් සුපිරි ගෝලයක් 

ගුවනේ පාවී ගිය Aritz Aduriz සිය හිසට ඉහළින් එල්ල කළ දර්ශනීය ගෝලයකින් ප්‍රබල Barcelona කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් කර දුන්නේ Athletic Bilbao කණ්ඩායමට නොසිතූ ජයක් රැගෙන එමින්. ස්පාඤ්ඤ La Liga තරගාවලියේ පළමු තරගය වූ මේ තරගයේ දී වත්මන් ශූර Barcelona කණ්ඩායම සිය ප්‍රධානතම තුරුම්පුව වූ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී නොමැතිව ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.     

තරගය පුරා Barcelona කණ්ඩායම එතරම් හොඳින් ක්‍රීඩා නොකළ අතර 38 හැවිරිදි Aduriz අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට පිවිස 89 වැනි මිනිත්තුවේ දී සුපිරි scissor-kick අවස්ථාවක් මඟින් ලකුණු රැස් කරන ලදි.  

Luis Suarezගේ හා Rafinhaගේ ප්‍රහාරයන් දෙකක් ගෝල රාමුවේ වැදී ඉවත ගියත් යූරෝ මිලියන 107කට කණ්ඩායමට එක් වුණු සුපිරි ක්‍රීඩක Antoine Griezmann මේ තරගයේ දී එතරම් වෙනසක් කිරීමට සමත් වූයේ නැහැ.  

Suarez තරගය අතරතුර දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර පාදයේ ආබාධයක් නිසා Lionel Messi හා කණ්ඩායමෙන් ඉවත්වන්නට සුදානම් වන Philippe Coutinho ද තරගයට සහභාගී නොවීම Barca කණ්ඩායම අතිරේක පීඩනයක් විය.   

තරගයේ දී සුපිරි වීරයා වූ Aduriz වසර 20කට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමෙන් පසුව මේ වසරේ දී විශ්‍රාම යාමට නියමිතයි. Ajax කණ්ඩායමෙන් Barcelona වෙත එක්වුණු Frenkie de Jong පිළිබඳව ද ප්‍රේක්ෂකයින් බොහෝ බලාපොරොත්තු තබා සිටියත් ඔහුත් එතරම් සාර්ථක වූයේ නැහැ. 

Athletic Bilbao කණ්ඩායම Barcelona කණ්ඩායම පරාජය කළේ වසර 6කට පසුවයි. 

අවසන් ලකුණු තත්වය Athletic Bilbao 1 – Barcelona

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Athletic Bilbao – Aduriz 89’ 

Bayern බලය බිඳ වැටේ 

2019/20 ජර්මානු Bundesliga තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර Bayern Munich කණ්ඩායම හා පැවති තරග ගෝල 2–2ක් ලෙස සම කරන්නට Hertha Berlin කණ්ඩායම සමත් වුනා. ඒ අද (17) අලුයම පැවති තරගයක දී.

ප්‍රබල Bayern Munich කණ්ඩායම මෙවර සිය ඇස යොමන්නේ අඛණ්ඩව අටවැනි Bundesliga කිරුළ වෙතයි.      

තරගාවලියේ පළමු ගෝලය වාර්තා කරන්නට Bayern සුපිරි ප්‍රහාරක Robert Lewandowski සමත් වූ අතර අලංකාර පන්දු යොමු කිරීමක් 24 වැනි මිනිත්තුවේ දී පිටියේ ලිස්සා ගොස් ගෝල රාමුව තුළට එල්ල කළ ඔහු දර්ශනීය ගෝලයක් වාර්තා කරන ලදි.  

පසුගිය තරග වාරයේ 11 වැන්නා ලෙස ලකුණු සටහනේ සිටි Hertha කණ්ඩායම ඉන්පසු Bayern කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළේ මිනිත්තු දෙකක් තුළ නොසිතූ ගෝල ද්විත්වයක් වාර්තා කරමින්. Dodi Lukebakio හා Marko Grujic 36 වැනි හා 38 වැනි මිනිත්තුවල දී ගෝල රැස් කළේ පීඩනය ප්‍රතිවාදීන් දෙසට හරවමින්.

කෙසේ වෙතත් එතැන් සිට ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර Lewandowski නැවත වතාවක් සිය කණ්ඩායම ගලවා ගත්තේ 60 වැනි මිනිත්තුවේ දීයි. ඒ Grujicගේ අනවශ්‍ය බාධා කිරීමකට විනිසුරු VAR අවස්ථාවක් ලබා ගෙන ඉන්පසුව ලබා දුන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.     

ප්‍රබල Bayern කණ්ඩායම මෙවර තරගවාරයේ දී නව ක්‍රීඩකයින් රැසක් සමඟින් තරගාවලියට එක්වූ අතර පළමු තරගයේ සම්පූර්ණ ප්‍රසාද ලකුණු ඔවුන්ට අහිමි වීම පිළිබඳව ඔවුන්ගේ පුහුණුකරුවා එතරම් සතුටක් පෙන්වූයේ නැහැ. 

“මෙය නරකම ආරම්භය නොවේ. අපි තමා හොඳම කණ්ඩායම. අපිට දිනන්නට තිබුණා” Bayern පුහුණුකරු Niko Kovac පවසා තිබුණා.

අවසන් ලකුණු තත්වය: Bayern Munich 2 – 2 Hertha Berlin

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Bayern Munich – Lewandowski (24′ minutes, 60′ minutes pen)
  • Hertha Berlin – Lukebakio (36′ minutes), Grujic (38′ minutes)

>> පාපන්දු පුවත් සඳහාක පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<