Manchester City හඹා යාම සාර්ථක වෙද්දී Mourinhoට ජයග්‍රාහී ආරම්භයක්

73

එංගලන්ත Premier League තරගාවලියේ 13 වැනි සතියේ වැදගත් තරග කිහිපයක් ඊයේ (23) දිනයේ දී පැවැත්විය.

De Bruyne හා Mahrez ගෝලවලින් Manchester Cityට ජය

ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ සිටින ප්‍රබලතම කණ්ඩායම් ද්විත්වයක් වන Manchester City හා Chelsea අතර ඊයේ ‘City of Manchester Stadium ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට Manchester City සමත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ Chelsea ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැරූ උත්සාහය 21 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූයේ N’Golo Kante තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමත් සමඟයි. එහි දී Mateo Kovacic ලබා දුන් දීර්ඝ පන්දුවක් ලබා ගනිමින් එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් Kante විසින් එම ගෝලය වාර්තා කර ගනු ලැබීය.

කෙසේ නමුත් ඉන් අනතුරුව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ Manchester City ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර ඒ අනුව මිනිත්තු කිහිපයකට පසුව ඔවුන් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. ඒ Kevin De Bruyne හට ලැබුණු පන්දුවකට ඔහු එල්ල කළ පහරක් පළමුව Chelsea ක්‍රීඩක Kurt Zoumaගේත් අනතුරුව Fikayo Tomoriගේත් වැදී ගෝල රාමුව තුළට යොමු වීමත් සමඟයි.

බෙල්ජියම හමුවේ හොඳට පැරදුණු රුසියාව යූරෝ 2020ට

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් ඊයේ (16) පැවැත්වුණා. Hazardලා …

අනතුරුව ක්‍රියාත්මක වූ Riyad Mahrez ඉතා විශිෂ්ට ගෝලයක් වාර්තා කරගනිමින් Manchester City තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. එහි දී ගෝල රාමු කලාපයට මදක් දකුණු පසෙන් පන්දුව ලබා ගත් ඔහු ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් පසුකර එය රැගෙන යමින් අනතුරුව එය ඉතා දක්‍ෂ ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

තරගයේ දෙවන අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත්, දෙපිළේම ක්‍රීඩකයින් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට අපොහොසත් වීමත් සමඟ Manchester City හට උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිවන්නට විය.

සම්පූර්ණ කාලය: Manchester City 2 – 1 Chelsea

ගෝල ලාභීන්

  • Manchester City – Kevin De Bruyne 29’, Riyad Mahrez 37’
  • Chelsea – N’Golo Kante 21’

අවසන් මොහොතේ Liverpoolට ජය

ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මෙවර තරග වාරය තුළ තවමත් අපරාජිත ප්‍රබල Liverpool කණ්ඩායම සහ Crystal Palace අතර Selhurst Park ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අවසන් වූයේ ගෝල 2-1ක් ලෙස Liverpool එහි ජයග්‍රහණය හිමිකර ගනිමිනි.

පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කර ගැනීමට ලැබුණු අවස්ථාවන් කිසිවක් සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් වීමත් සමඟ එම අර්ධය තුළ ගෝල වාර්තා වූයේ නැතත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවන විට තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට Liverpool ක්‍රීඩක Sadio Mane සමත් විය.

“මට 100%ක් කණ්ඩායමට දෙන්න බැරි වුනා” – රොනාල්ඩෝ

පසුගිය දා පැවති Juventus තරගයක් අතරතුර තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම …

Andrew Robertson ගෝල රාමුව කලාපය තුළට යොමු කළ පන්දුවක් Mane විසින් සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කිරීමෙන් එම ගෝලය වාර්තා විය.

අනතුරුව තරගයේ 82 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Wilfried Zaha විසින් Andros Townsend ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

කෙසේ නමුත් අනතුරුව Liverpool ලබා ගත් කෝනර් අවස්ථාවක් හරහා ගෝල රාමු කලාපය තුළට යොමු වූ පන්දුවක් Crystal Palace ක්‍රීඩකයින් නිසි පරිදි ඉවතට යොමුකිරීමට අසමත් වීමත් සමඟ පන්දුව ලබා ගත් Roberto Firmino එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් ගෝල 2-1ක් ලෙස Liverpool හට මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Liverpool 2 – 1 Crystal Palace

ගෝල ලාභීන්

  • Liverpool – Sadio Mane 49’, Roberto Firmino 85’
  • Crystal Palace – Wilfried Zaha 82’

Mourinho ජයග්‍රහණයකින් වැඩ අරඹයි

ප්‍රබල Tottenham Hotspur සහ West Ham United කණ්ඩායම් අතර ඊයේ London Stadium ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ගෝල 3-2ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට Tottenham ක්‍රීඩකයින් සමත් විය.

Tottenham හිටපු ප්‍රධාන පුහුණුකරු Mauricio Pochettinoව පසුගිය දා සිය ධුරයෙන් පහකිරීමෙන් අනතුරුව එම ධුරය සඳහා පත්කළ Jose Mourinhoගේ පුහුණුකාරීත්වය යටතේ Tottenham ක්‍රීඩකයින් ක්‍රීඩා කළ පළමු තරගය මෙයයි.

නව පුහුණුකරු යටතේ තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Tottenham ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල දෙකක් වාර්තා කරගන්නට සමත් විය. එහි පළමු ගෝලය Dele Alli ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කළ Son Heung-min විසිනුත්, දෙවන ගෝලය Son ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කළ Lucas Moura විසිනුත් වාර්තා කර ගනු ලැබීය.

පසුව දෙවන අර්ධය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ Harry Kane විසින් Serge Aurier ගෝල රාමු කලාපය වෙතට යොමු කළ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ගේ තෙවැනි ගෝලය වාර්තා කරගන්නට සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට පෙර Michail Antonio සහ Angelo Ogbonna විසින් West Ham කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කරගන්නට සමත් වුවත් එය Tottenham ජයග්‍රහණය වළක්වන්නට ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව Tottenham ක්‍රීඩකයින් මෙම තරගයෙන් ගෝල 3-2ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Tottenham Hotspur 3 – 2 West Ham United

ගෝල ලාභීන්

  • Tottenham – Son Heung-min 36’, Lucas Moura 43’, Harry Kane 49’
  • West Ham – Michail Antonio 73’, Angelo Ogbonna 90+6’

Arsenal නැවතත් අසාර්ථකයි

අඛණ්ඩව ප්‍රිමියර් ලීග් තරග 4ක් පුරාවට ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට අපොහොසත්ව සිටි ප්‍රබල Arsenal කණ්ඩායම නැවතත් ඊයේ දිනයේ දීත් ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට අසමත් වූයේ Southampton සමඟ Emirates Stadium ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟයි.

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් Southampton ක්‍රීඩකයින් මිනිත්තු 10ක් යන්නටත් මත්තෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. ඒ Ryan Bertrand ලබා දුන් පන්දුවක් Danny Ings විසින් ගෝල රාමුව තුළට යොමු කරමිනි.

මිනිත්තු කිහිපයකට පසුව ඊට පිළිතුරු දැක්වූ Arsenal ක්‍රීඩක Alexandre Lacazatte විසින් සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී Pierre-Emerick Aubameyang එල්ල කළ පහර අසාර්ථක වෙමින් පන්දුව Lacazatte වෙත යොමු වීමෙන් අනතුරුව ඔහු එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කිරීමෙන් එම ගෝලය වාර්තා විය.

Messiගේ හුදකලා ගෝලයෙන් ආර්ජෙන්ටිනාවට ජය

අන්තර්ජාතික තරග තහනමකින් පසුව නැවතත් පාපන්දු පිටියට පිවිසුණු ආර්ජෙන්ටිනා සුපිරි ක්‍රීඩක …

පසුව දෙවන අර්ධයේ දී Kieran Tierny විසින් සිය ගෝල රාමු කලාපය තුළ Ings හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Southampton හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළේය.

එහි දී එය ලබා ගත් James Ward-Prowse එල්ල කළ පහර Arsenal ගෝල රකින ක්‍රීඩක Bernd Leno විසින් නවතාලීමට සමත් වුවත් නැවතත් එහි දී පන්දුව Ward-Prowse වෙත යොමු වීමෙන් අනතුරුව මෙවර එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරන්නට ඔහු සමත් විය.

ඒ අනුව Southampton හට තරගයේ ජයග්‍රහණය හිමිවන සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී Arsenal වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ Lacazatte සිය කණ්ඩායමේ මෙන්ම ඔහුගේ ද තරගයේ දෙවැනි ගෝලය වාර්තා කරගනිමින් ගෝල 2-2ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්කරන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Arsenal 2 – 2 Southampton

ගෝල ලාභීන්

  • Arsenal – Alexandre Lacazatte 18’, 90+6’
  • Southampton – Danny Ings 8’, James Ward-Prowse 71’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<