කොළඹ සහ කෑගල්ල අවසන් මහා තරඟයට

1379
Semi Final round up

දිස්ත්‍රික්ක 24ක් නියෝජනය කරමින් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අන්තර් දිස්ත්‍රික් එක්දින තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ අද (31) නිමාව දුටුවේ කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික්ක වලට අවසන් මහා තරගයේ ස්ථාන හිමි කර දෙමිනි. අද ක්‍රියාත්මක වූ තරඟ දෙකම පන්දු යවන්නන් තම කෞශල්‍යය මැනවින් පෙන්වූ කෙටි තරඟ බවට පත්වීම විශේෂයෙන් කැපී පෙනුණි.

අවමානයෙන් ගැලවී තරගාවලිය සම කරන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (අප්‍රේල් 01) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මහනුවර සහ කෑගල්ල අතර තරගය

මහනුවර දිස්ත්‍රික්කයට කාසියේ වාසිය ජය ගැනීමට හැකියාව ලැබූ නමුත් තරඟ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු මෙම තරගය කොළඹ පී.සරා ඕවල් පිටියේදී පැවැත්විණ. මෙම තරගයෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ පන්දුවාර 49ක් පමණි.

ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීම තෝරාගත් මහනුවර ක්‍රීඩකයින් ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට අපේක්ෂා කළද කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා හමුවේ එම ප්‍රයත්නය අසාර්ථක වී ගියේය.ප්‍රථම පැයේ වාසිය මැනවින් උපයෝගී කොට ගනිමින් දෝලනයක් ලබාගත් ඉශාන් ජයරත්න සහ ළහිරු ගමගේ ලකුණු 6කට මහනුවර මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී නොදැවී ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත ගෙන ගිය මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරට පවා අද පිත්තෙන් සාර්ථක වීමට කෑගල්ල දිස්ත්‍රික් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිවූයේ නැත. වේග පන්දු යවන්නන් දෙදෙනා මහනුවර මුල්පෙළ බිඳ දැමීමෙන් අනතුරුව මැදපෙළ පිතිකරුවන්ට තම වමත් පිට දඟ පන්දුවේ ජවය පෙන්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙලීය.

පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම නිසා අසරණ වූ මහනුවර ඉනිමට යම් තරමක හෝ අස්වැසිල්ලක් වන්නට සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වූහ. ඒ පිළිවෙලින් ලකුණු 29ක් සහ 15ක් රැස්කර ගනිමිනි. කෙසේවෙතත් සැලකිය යුතු ලකුණු සබඳතාවයක් ගොඩ නංවන්නට කිසිදු පිතිකරණ යුගලයක් සමත් නොවීම නිසා මහනුවර ඉනිම පන්දුවාර 29කදී ලකුණු 96කට පමණක් සීමා විය.

පන්දු යවන්නන්ගෙන් ලැබුණු නොමද සහය හේතුවෙන් ඉතාමත් පහසු ඉලක්කයක් හිමිවුණු කෑගල්ල පිතිකරුවෝ පන්දුවාර 20ක් ගතවෙද්දී කඩුලු 3ක් පමණක් දැවී පහසු ජයක් වාර්තා කළහ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එක් ලකුණ බැගින් රැස්කර සිටියදී දැවී ගියත නමුත් හෂාන් දුමිඳුගේ සාර්ථක පිතිකරණය නිසාවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට කිසිදු පීඩනයක් එල්ල නොවීය. තවමත් 21 වැනි වියේ පසුවන හෂාන් අද හතරේ පහර 7ක් සමගින් නොදැවී අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙම තරඟයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගත් කෑගල්ල ක්‍රීඩකයන් අවසන් මහා තරගට ප්‍රවිෂ්ට වීමට සුදුසුකම් ලබා ගත්හ.

මහනුවර – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 29) සචිත්‍ර සේනානායක 29, ජෙෆ්රි වැන්ඩර්සේ 15*, ශම්මු අශාන් 14, දසුන් ශානක 9, ප්‍රභාත් ජයසූරිය 3/17, ඉශාන් ජයරත්න 2/16, සහන් ආරච්චිගේ 1/10.

කෑගල්ල – කඩුලු 3ක් දැවී ලකුණු 98 (පන්දුවාර 20) හෂාන් දුමිඳු 50*, ඇන්ජෙලෝ ජයසිංහ 24, විශාද් රන්දික 7*, සචිත්‍ර සේනානායක 1/7, තරිඳු රත්නායක 1/21.


මන්නාරම සහ කොළඹ අතර තරගය

කොළඹ NCC පිටියේදී ක්‍රියාත්මක වුනු මෙම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් කොළඹ දිස්ත්‍රික්කයට අත්විය. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය සමගින් අවසන් මහා තරගයේදී කුසලානය වෙනුවෙන් සටන් වදින්නට කොළඹ දිස්ත්‍රික්කය ඉඩ හසර විවර කර ගත්හ.

කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මන්නාරම දිස්ත්‍රික් පිතිකරුවන් අසාර්ථක පිතිකරණයක නියැලී ලකුණු 130ක් තුළදී සියලුම කඩුලු අහිමි කර ගත්හ. මන්නාරම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු අක්ෂු ප්‍රනාන්දු පවා අද රැස්කර ගත්තේ ලකුණු 31ක් පමණි. මෙම තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින උදාර ජයසුන්දරට පවා අද ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැත. ළහිරු තිරිමාන්න ලකුණු 10යි. පන්දු යැවීමේදී දක්ෂතා ප්‍රකට කල වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව චතුරංග ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙලීය. ඔහුට අනගි සහයක් ලබාදුන් ලහිරු ගමගේ සහ ලහිරු මධුශංක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොළඹ දිස්ත්‍රික් පිතිකරුවන්ට අදාළ ඉලක්කය පන්දුවාර 27ක් තුළදී සපුරා ගැනීමට හැකියාව ලැබුණි. සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කල නායක අශාන් ප්‍රියන්ජන් තරඟය නිමාව දකින අවස්ථාවේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය. ප්‍රියන්ජන් සමග එක්වී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය ආසන්නයටම ගෙන ආ මලිඳු මධුරංග අද ලකුණු 55ක් ලබා සිටියදී දැවී ගියේය. කෙසේවෙතත් අදාළ ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරාගත් කොළඹ දිස්ත්‍රික්කයට අප්‍රේල් මස දෙවැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව උදා විය.

මන්නාරම – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 37.1) අක්ෂු ප්‍රනාන්දු 31, ලහිරු මිලන්ත 16, රොශේන් සිල්වා 16, චතුර පීරිස් 14, විශ්ව ප්‍රනාන්දු 3/23, ලහිරු ගමගේ 2/18, ලහිරු මධුශංක 2/19.

කොළඹ – කඩුලු 3ක් දැවී ලකුණු 136 (පන්දුවාර 27) අශාන් ප්‍රියන්ජන් 55*, මලිඳු මධුරංග 55, ඩිල්ශාන් මුණවීර 12, උදිත් මධුශාන් 2/32.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

Match Highlights