ගුවන් සෙබලියෝ ශූරතාවය සමඟ ඉගිලෙයි

1482
ශූරතාවය දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩා සමාජයන් විසින්  සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා අන්තර් සමාජ විවෘත දැල්පන්දු තරගාවලිය” අද (23) සාර්ථකව නිමාවට පත්වූයේ සමස්ත ශූරතාවය, ලකුණු 25/26ක් ලෙස ලබා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගනිමිනි.

පසුගිය ලිපි: HNB පිලට එරෙහිව තියුණු තරඟයකින් පසු ශූරතාවය සෙලාන් කණ්ඩායමට

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා පිටියේදී පුරා දින දෙකක් [ඊයේ 22 සහ අද 23]  තිස්සේ පැවති මෙම තරගාවලියේ, ප්‍රථම දිනයේදී වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ ලීග් තරග වටය මුලුමනින්ම නිමා කිරීමට නොහැකි වූ අතර එය නිමා වූයේ අද දහවල් 2ට පමණි.

කණ්ඩායම්/ ලීග් අදියරේ තරග ප්‍රතිඵල

A කාණ්ඩය

  • ප්‍රථම ස්ථානය: HNB බැංකු කණ්ඩායම – ප්‍රසාද ලකුණු 16
  • දෙවන ස්ථානය: වරාය අධිකාරී ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 14

B කාණ්ඩය

  • ප්‍රථම ස්ථානය: යුද හමුදා B ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 14
  • දෙවන ස්ථානය: යාපනය ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 12

C කාණ්ඩය

  • ප්‍රථම ස්ථානය: ක්‍රීඩා භූමී නිල් ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 14
  • දෙවන ස්ථානය: පුත්තලම දිස්ත්‍රික් දැල් පන්දු සංගම් ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 11

D කාණ්ඩය

  • ප්‍රථම ස්ථානය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 16
  • දෙවන ස්ථානය: නාවික හමුදා ක්‍රීඩා සමාජය – ප්‍රසාද ලකුණු 14

අර්ධ අවසන් පූර්ව වටය

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වූයේ සවස 3ට පමණි. එහිදි HNB බැංකු කණ්ඩායම (A1) පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම (C2) සමඟත්, යුද හමුදා B ක්‍රීඩා සමාජය (B1) නාවික හමුදා ක්‍රීඩා සමාජය (D2) සමඟත්, ක්‍රීඩා භූමී නිල් ක්‍රීඩා සමාජය (C1) වරාය අධිකාරී ක්‍රීඩා සමාජය (A2) සමඟත් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (D1) යාපනය ක්‍රීඩා සමාජය (B2) සමඟත් තරග වැදුනි. තරග සියල්ල එකම ක්‍රීඩාංගණයේදී එකම වේලාවකට ආරම්භ කෙරුනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රභල HNB කණ්ඩායම 20/01 ලෙසින් පුත්තලම දිස්ත්‍රික් දැල්පන්දු සමාජය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. තරමක් තරගකාරී ක්‍රීඩා විලාසයකින් තරග කල යුද හමුදා B සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය නිමාව දුටුවේ 18/23ක් ලෙස නාවික ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට පිවිසෙමිනි.

මේ අතරතුරදී පැවැති ක්‍රීඩා භූමී ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය අතර තරගය නිමාව දුටුවේ වරාය අධිකාරී ක්‍රීඩිකාවන් විසින් ක්‍රීඩා භූමී ක්‍රීඩිකාවෝ 14/26ක් ලෙස අසරණ කරමිනි. ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් යාපනය ක්‍රීඩා සමාජයට දැවැන්ත තරගයක් ලබා දෙමින් 22/07 ලෙසින් ජයග්‍රහණය ලබා අවසන් පුර්ව වටයට පිවිසියේය.

අවසන් පූර්ව වටය

අවසන් පූර්ව වටයේදී HNB ක්‍රීඩිකාවන් සහ නාවික හමුදා ක්‍රීඩිකාවන්ද, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සහ වරාය අධිකාරී ක්‍රීඩිකාවන් ද තරග වැදුනු අතර කණ්ඩායම් සියල්ලම එකිනෙකා පරදවා යමින් අවසන් මහා තරගයට සිය අසුන් වෙන් කරගැනීමට ක්‍රීඩා කරන විලාසයක් දක්නට ලැබුනි.

සවස 4ට පමණ ආරම්භ වූ මෙම තරග ද්විත්වයෙන් අවසන් මහා තරගයට ප්‍රථමයෙන්ම අසුන් වෙන් කරගත්තේ නාවික හමුදා ක්‍රීඩිකාවන්ය. ඒ 20/24ක් ලෙස ප්‍රභල HNB ක්‍රීඩිකාවන් පරාජය කරමිනි. පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී 32/20ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් වරාය ක්‍රීඩිකාවන්ගෙන් අවසන් සටනේ අසුන උදුරා ගන්නට ගුවන් සෙබලියෝ සමත් වූහ.

අවසන් මහා තරගය

එකම කාණ්ඩයෙන් (D) තරග වට ගණනාවකට මුහුණ දෙමින් අවසන් තරගය දක්වා පැමිණි ගුවන් සහ නාවික හමුදා සෙබලියෝ ඔවුන් සතු උපරීම හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දක්වමින් තරග වදින ආකාරය දක්නට ලැබුනි. අවසන් මහා තරගය ආරම්භ වූයේ සවස 5 පසුවී තරමක් වැසි සහ අදුරු කාලගුණ තත්ත්වයක් යටතේය.

කණ්ඩායම් දෙකම ඉතාමත් කරට කර තරගයක යෙදෙන අයුරු දක්නට ලැබුනු අතර තරගය ආරම්භ වී සුළු මොහොතක් යනතුරුත් කණ්ඩායම් දෙකම සම ලකුණු තත්ත්වයන් ලබා ගනිමින් ඉදිරියට ඇදෙනු දක්නට ලැබුනි. කෙසේවෙතත් ලකුණු 5ක 6ක සීමාව පසුවෙද්දී තරගයේ පෙරමුණ ගැනීමට ගුවන් සෙබලියෝ සමත් විය. මිනිත්තු 15ක ප්‍රථම අර්ධය නිමාවන විට 15/8ක් ලෙසින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

කෙටි විවේකයකින් පසුව දෙවැනි අර්ධය ඇරඹුනේ යහපත් කාළගුණයක්ද සමඟිනි. ප්‍රථම අර්ධයේදි පසුපසින් සිටි නාවික හමුදා සෙබලියන් තරගයේ වඩාත් ප්‍රවේශමෙන් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුනි. ප්‍රථම අර්ධය නිමාවේදි තිබුනු ලකුණු 7ක පරතරය අඩුකර ගැනීමට උත්සාහයෙන් ක්‍රීඩා කල නාවික හමුදා සෙබලියන් සෑම විටම ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට වඩා  ලකුණක දෙකක පසු පසින් සිටියේය. තරගයේ දෙවන අර්ධය අවසානයට නාලා නාදය නාදකිරීමට මොහොතකට කලින් නාවික හමුදාව ලකුණක් වාර්තා කිරීමට සමත් වුවත් එක් ලකුණකින් (25/26) තරගය ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් ලකුණු – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26 : 25 නාවික හමුදා ක්‍රීඩා සමාජය

තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය කිරීම විශේෂ ආරාධිත අමුත්තිය වූ ශ්‍රී ලංකා නිදහස් වෙලඳ කලාපයේ අධ්‍යක්ෂිකා හිමාලි උරුගොඩවත්ත මෙනවිය අතින් සිදුකෙරිනි.

තරගයේ විශේෂ කුසලතා සම්මාන

  • දක්ෂතම මැද පෙල ක්‍රීඩිකාව: තිළිණි වත්තේගෙදර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම රකින්නිය: දීපිකා දර්ශණී (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම විඳින්නිය: දුලංගා ධනංජී (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • දැල්පන්දු රැජින: දුලංගා ධනංජී (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

මෙවර සංවිධානය කල දැල් පන්දු තරගාවලියට කාණ්ඩා 4ක් ඔස්සේ ක්‍රීඩිකාවන් තරග වැඳුනු අතර එහිදි A කාණ්ඩයෙන් කණ්ඩායම් 9ක්, B කාණ්ඩයෙන් කණ්ඩායම් 8ක්, C කාණ්ඩයෙන් කණ්ඩායම් 8ක් සහ අවසන් කාණ්ඩය වන D කාණ්ඩයෙන් කණ්ඩායම් 9ක් ලෙස ක්‍රීඩා කණ්ඩායම් 34ක් මෙම තරගාවලියට එක්වී සිටියේය.

තවත් දැල්පන්දු පුවත් සඳහා පිවිසෙන්න