ආබාධ රැසකින් පෙලෙන ශ්‍රී ලංකා සංචිතයට ආදේශකයන් පහක්

341
AFC Solidarity Cup Sinhala

එළඹෙන නොවැම්බර් මස දෙවන දා මැලේසියාවේදී පැවැත්වීමට නියමිත 2016 ආසියානු සහයෝගිතා කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ ආබාධිත තත්වයන්ගෙන් පෙලෙන ක්‍රීඩකයින් වෙනුවට නව ක්‍රීඩකයින් පස්දෙනෙක් ආදේශ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් කටයුතු කර ඇත.

පසුගිය ලිපි: ජයග්‍රහණය සහිරා, මාරිස් ස්ටෙලා සහ සා. ජෝසප් විදුහල් වලට

ඉකුත් සතියේ සුහද පාපන්දු තරඟයක් වෙනුවෙන් කාම්බෝජයට සංචාරය කළ සංචිතයේ සිටි දිලිප් පීරිස්, අෆාම් අක්‍රම් සහ ඥානරූබන් විනෝද් යන ක්‍රීඩකයන් දණහිස් ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇත. නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ ගෝල රකින්නා වන සුපුන් කවීෂ් ප්‍රනාන්දු කාම්බෝජයට යාමට පෙර ඇතිවූ ආබාධයකින් සුවය ලබා නැවතත් පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇත.

විදේශික කණ්ඩායමක් හා පැවති තරඟයේදී දණහිසෙහි ආබාධයකට ලක්වු ඥානරූබන් විනෝද් කාම්බෝජ සංචාරයටද එක් වූයේ නැත. 2015 දී ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම නියෝජනය කළ දිලිප් පීරිස් හා අෆාම් අක්‍රම් අවාසනාවන්ත ලෙස ආබාධයන්ට ලක්වීම නිසා කුළුඳුල් තරඟ සංචාරයට සහභාවී වීමේ වරම් අහිමිව යන ලදී.

දිලිප් පීරිස් කාම්බෝජයට එරෙහි තරඟයට පෙර දිනයේ පැවති පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක්විය. එම තරඟයේ දෙවන අර්ධයේදී සුභාෂ් මදුශාන් වෙනුවට පිටියට පිවිසි අෆාම් අක්‍රම් සිදුකළ පා පැටලීමක් විනිසුරුට හසුවීමෙන් යාන්තමින් ඔහු කහ කාඩ්පතකින් බේරුනු නමුත් තරඟ කාලය අතරතුර දී තවත් එවැනිම උත්සහයක් වැරදී යෑමෙන් ඔහු දණහිසෙහි ආබාධයට ලක්විය.

“අපි දෙදෙනාවම ස්කෑන් පරීක්ෂණවලට භාජනය කළා. දිලිප්ට අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් කරන්නට සිදුවේවි. අෆාම් ගැන තවමත් නිගමනයකට පැමිණ නැහැ.” යැයි ThePapare.com සමඟ විශේෂයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මොහොමඩ් රමීස් පැවසීය.

කාම්බෝජයට එරෙහිව පැවති තරගය එතරම් විශ්වාසයකින් තොරව ක්‍රීඩා කල ලාංකිකයෝ ඔවුන්ට ගෝල හතරක් පිදූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන දස්කම් දැක්වූයේ සුජාන් පෙරේරා පමණි.

සංචිතයට අලුතින් එකතු වන ක්‍රීඩකයින් වන්නේ රොෂාන් අප්පුහාමි, අෆීල් මොහොමඩ්, මදුශාන් ද සිල්වා, සුන්තරරාජ් නිරේෂ් සහ සජිත් කුමාර යන ක්‍රීඩකයින් ය. රොෂාන් අප්පුහාමි, මදුශාන් ද සිල්වා සහ සජිත් කුමාර යුධ හමුදා කණ්ඩායමෙන්ද, අෆීල් මොහොමඩ් සහ සුන්තරරාජ් නිරේෂ් පිළිවෙලින් කොළඹ සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජවලින් ද තේරී පත්ව ඇත.

රිනවුන් කණ්ඩායමේ මොහොමඩ් උස්මාන් පුහුණු සැසිවලට සහභාගී වුවද, ඔහු සහයෝගිතා කුසලාන සංචිතයට ඇතුලත් කර නොමැත.

“කාම්බෝජයට එරෙහි තරඟයෙන් පසුව අපට තේරුම් ගියා අපේ කණ්ඩායමේ වම්පස ශක්තිය මදි බව. ඒ නිසා අපි මදුශාන් ද සිල්වා සහ සජිත් කුමාර සංචිතයට කැඳවුවා.” යැයි ප්‍රධාන පුහුණුකරු ඩඩ්ලි ස්ටෙන්වෝල් ThePapare.com සමඟ කළ කතාබහේදී ප්‍රකාශ කලේය.

සජිත් කුමාර මේ වසරේ යුධ හමුදා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එෆ්. ඒ. කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඔහු විසින් ගෝල රැස් කිරීමද, පිටියේ පන්දු සකස් කිරීමද මනා ලෙස සිදු කරනු ලැබීය. වමත් පෙදෙසේ ආරක්ෂක ක්‍රීඩකයෙකුව සිට ඉදිරිපෙල දක්වා විකාශනය වු ඔහුගේ පාපන්දු දිවිය ක්‍රීඩා පිටියේ විවිධ ස්ථානයන් හිදී ශ්‍රී ලංකාවට වාසි ගෙන එන ආ බව පෙනෙන්නට තිබේ.

ඔහු මෙන්ම කොළඹ කණ්ඩායමේ ආරක්ෂක පෙලේ ක්‍රීඩා කරන අෆීල් මොහොමඩ් මැදපෙල ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇති සුදුසුම ආදේශකයක් වේ. සුමිත් වල්පොල විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය සරසන ක්‍රීඩකයෙකු ලෙස සොයා ගත් අෆීල්, වර්තමාන ලංකාවේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් තිදෙනා අතර දැවැන්ත නාමයකි. අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන සර්වාන් ජොහාර් සහ මොහොමඩ් රිෆ්නාස් ද සංචිතයට ඇතුලත් වේ.

පෙර වසරේ 19න් පහල කණ්ඩායමේ සිටි සුන්තරරාජ් නිරේෂ් මැදපෙල සිට කණ්ඩායමට නිර්මාණාත්මක පන්දු යොමු කිරීම් එක් කරන අතර රොෂාන් අප්පුහාමි විසින් පසුපස වම් කෙලවරේ ක්‍රීඩා කරන සුභාෂ් මදුශාන්ට සහය සපයන්නේය.

නොවැම්බර් 3 වන දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට, ‘බී’ කාණ්ඩය යටතේ ලාඕසයට එරෙහිව සරවක් ජනපද ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තම ප්‍රථම තරඟය  සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 31 වනදා මැලේසියාව බලා පිටත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා සංචිතය.

සුජාන් පෙරේරා (නායක), නිපුන බණ්ඩාර (ප්‍රධාන උප නායක), මොහොමඩ් රිෆ්නාස් (උප නායක), මදුශාන් ද සිල්වා, කවිඳු ඉශාන්, දුමින්ද හෙට්ටිආරච්චි, අෆීල් මොහොමඩ්, චතුරංග සංජීව, අසිකුර් රහුමාන්, සුන්තරරාජ් නිරේෂ්, සජිත් කුමාර, චලන චමීර, ධනුෂ්ක මදුශංක, මොහොමඩ් උස්මාන්, සර්වාන් ජොහාර්, සංඛ විජේසිරි, අනුරුද්ධ වරකාගොඩ, සුභාෂ් මදුශාන්, ප්‍රභාත් අනුරසිරි, අමිත් කුමාර, එඩිසන් ෆිගුරාඩෝ, රොෂාන් අප්පුහාමි, ලක්ෂිත ජයතුංග, සුපුන් කවීෂ් ප්‍රනාන්දු.

  • ඩඩ්ලි ස්ටෙන්වෝල් (ප්‍රධාන පුහුණුකරු)
  • දේවසාගයම් රාජමනි (සහය පුහුණුකරු)
  • මහින්ද ගලගෙදර(ගෝල රකින්නාගේ පුහුණුකරු)
  • එම්. රමීස් (කළමනාකරු)
  • එස්. එන්. පී. කේ. සිල්වා (භෞතචිකිත්සක)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට