අමිලගෙන් රිදී පදක්කමක්; ඉඳුනිල්ගෙන් රන් බලාපොරොත්තුවක්

409

6 වන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ (AIMAG) අද (19) පැවැත්වූ තරගවලට විදූශා ලක්ෂානි, හිමාශ ඒශාන්, ඉඳුනිල් හේරත් සහ අමිල ජයසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, දිනය අවසානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම පදක්කම දිනා ගන්නට අමිල ජයසිරි සමත් විය.

තවද දිනය නිමා වන විට ඉඳුනිල් ද වැඩි දස්කම් අතරට පැමිණියේ, නැවත වරක් නව ජාතික වාර්තාවක් පිහිටුවමිනි.

තරගාවලියේ මලල ක්‍රීඩාවලට සම්බන්ධ තරග පැවතියේ, තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී ය.

පසුගිය ලිපි: ඉඳුනිල් හේරත් වාර්තා පොත් අතරට

අමිල ජයසිරිට රිදී පදක්කමක්

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු පදක්කමට හිමිකම් කියන්නට පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කළ අමිල ජයසිරි සමත් විය.

පිරිමි දුර පැනීමේ අවසන් තරගයේ දෙවන උත්සාහයේ දී මීටර 7.45ක දුරක් තරණය කළ අමිල, එහි රිදී පදක්කම ජයග්‍රහණය කරන ලදි.

එහි රන් පදක්කම මීටර 7.48ක දක්ෂතාවක් දැක්වූ වියට්නාම් ජාතික ට්යෙන්ග් ට්‍රෝන්ග් හට හිමි විය. ඔහු එම දස්කම දැක්වූයේ ඔහුගේ තෙවන උත්සාහයේ දී ය. මෙහි තෙවන ස්ථානය ජයග්‍රහණය කළ හොංකොං ක්‍රීඩක මින් තායි මීටර 7.44ක දක්ෂතාවක් දක්වන ලදි.


ඉඳුනිල් තවත් කඩඉමක් තරණය කරයි

මිනිත්තු 1:53.79ක කාලයක් තුළ පිරිමි මීටර 800 ඉසව්ව අවසන් කළ ඉඳුනිල් හේරත්, ඊයේ (18) දිනයේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එම ඉසව්වේ අද (19) පැවති අවසන් පූර්ව වටය සඳහා ඉඳුනිල් තරග වැදුණු අතර, එහි දී ඉඳුනිල් විසින් මිනිත්තු 1:50.91ක දක්ෂතාවයක් දක්වමින් ඔහුගේම ජාතික වාර්තාව නැවතත් අලුත් කරන ලදි.

එම දස්කමත් සමඟින් ඉඳුනිල් එම ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ කාල ගණනයට අනුව පළමු ස්ථානය හිමි කර ගනිමිනි. ඒ නිසා මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමේ අවස්ථාව බොහෝ දුරට ඉඳුනිල්ට හිමි වනු ඇත. ඔහු සහභාගි වන අවසන් මහා තරගය හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.40ට පැවැත්වේ.


විදූශාට තුන් පිම්මෙන් 7 වැනි තැන

ශ්‍රී ලංකා ජාතික තුන් පිම්ම (ගෘහස්ථ) වාර්තාවට හිමිකම් කියන විදූශා ලක්ෂානි, කාන්තා තුන් පිම්ම (ගෘහස්ථ) අවසන් ඉසව්වේ දී 7වන ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් විය. විදූශාගේ සිව්වන උත්සාහයේ දී මීටර් 12.51 දක්ෂතාවයක් දක්වන ලදි.

ඔල්ගා රයිපකෝවා මීටර් 14.32 දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළාය. ඇය කසකස්තාන ක්‍රීඩිකාවකි. මාරියා විචිනිකෝවා එහි දෙවන ස්ථානය ජයග්‍රහණය කළාය. මීටර් 13.10ක දුරක් තරණය කළ චීන ජාතික ක්විජියෝ ටෑන් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.


හිමාශට සිව්වන තැන

හිමාශ ඒශාන් පිරිමි මීටර 60 ඉසව්වේ තෙවන අවසන් පූර්ව තරගය සඳහා පෙනී සිටි අතර, එහි දී ඔහුට හිමි වූයේ සිව්වන ස්ථානයයි. ඒ සඳහා ඔහු ගත කළ කාලය තත්පර 6.89කි. අවසන් කාල ගණනය අනුව ඔහුට හිමි වූයේ 13වන ස්ථානයයි. ඒත් සමඟින් හිමාශට අවසන් මහා තරගයට යාමේ අවස්ථාව මඟ හැරිනි.

මීට අමතරව මෙම තරගාවලියේ තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු වන, ගයන්තිකා අබේරත්න (මීටර 800), මංජුල කුමාර (උස පැනීම) හා ඉඳුනිල් හේරත් (මීටර 800) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙට (20) දිනයේ දී ඒ ඒ ඉසව්වන් සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

ඔබ සිතන අන්දමට මීළඟ පදක්කම කාගෙන් ද? රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<