අපි දෙන්නා ගැන බොරු ප්‍රචාර ලොකු පීඩනයක් – විරාත් කෝලි

50779

ඉන්දීය නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා අතර යම් මතභේදාත්මක තත්වයක් පවතින බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හා වෙනත් මාධ්‍ය ඔස්සේ පැතිර ගියා. 

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි පසුගිය සඳුදා (29) පවසා සිටියේ එම චෝදනා සියල්ල “විහිළු සහගත” චෝදනා බවත්, තමන් හා තම කණ්ඩායම කොදෙව් තරගාවලියට හොඳ මානසික සූදානමකින් පසුවන බවත්‍ ය. 

ඉන්දීය කණ්ඩායම තුල පවතින මෙම අර්බුදය සම්බන්ධයෙන් එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමෙන් පසුව ය. රෝහිත් ශර්මා ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම්වල උපනායකයා වන අතර ඔහු Instagram සමාජ මාධ්‍යයේ විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ වන අනුශ්කා ශර්මා unfollow කර තිබීම මෙම පුවතට වඩාත් ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා. 

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා …………

කෙසේ වෙතත් එක්දින තරග තුනක්, ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත කොදෙව් තරග සංචාරයට එක්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝලි එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාව හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

“මගේ මතයට අනුව ඒක කණ්ඩායම අවුල් කරන්න ගත් උත්සාහයක්. ඇත්තෙන්ම විහිළු සහගතයි ඒ වගේ දේවල් අහන්න ලැබුණ එක.” 

“අපි මේ බොරු දේවල් ගැන හිතමින් අපි තරගාවලිය තුල කරපු හොඳ දේවල් අමතක කරමින් ඉන්නවා. ඒකට අපි මනඃකල්පිත ගොඩගනමින් ඉන්නවා. අපි සත්‍යය පිළිගත යුතුයි.”

“මම මේ සිදුවීම දැන් ගොඩක් කල් ඉදන් දකිනවා. අපේ පෞද්ගලික ජීවිතයත් මේකට සම්බන්ධ කරගන්නවා. ඒක අගෞරවයක්.” 

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය ගමන්මග තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට රෝහිත් ශර්මා සමත් වූ අතර ඔහු තරගාවලිය තුල වාර්තා කළ ලකුණු 648 ඉන්දියාව අවසන් පූර්ව තරගය දක්වා රැගෙන යාමට සමත් විය. ඔහුගේ ලකුණු සංඛ්‍යාවට ශතක 5ක් ඇතුලත්ව ඇත. 

විරාත් කෝලි එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවන අතර ඔහු ලෝක කුසලානය තුල තරග 9ක දී අර්ධ ශතක 5ක් වාර්තා කිරීමට සමත් විය. 

ඉන්දියාවේ මීළඟ පුහුණුකරු මහේල?

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව ………

ලෝක කුසලාන තරගාවලිය තුල විරාත් කෝලි හා රෝහිත් ශර්මා කණ්ඩායම භේද කර ඇතැයි මාධ්‍ය කීපයක් වාර්තා කර තිබූ අතර නායකත්වය ඔවුන් දෙදෙනා අතර බෙදී යා යුතු බවට ද යම් යම් මත පලවී තිබුණි. 

“මම වසර 11ක් ක්‍රීඩා කරලා තියනවා. රෝහිත් වසර 10ක් ක්‍රීඩා කරනවා. මේ ප්‍රචාර විකාරයක්. අපි කණ්ඩායමක් විදිහට එකමුතුව ඉන්නවා. “

“කරුණාකරලා ඇවිත් බලන්න. නවක ක්‍රීඩක කුල්දීප් යාදව් වගේ කෙනෙක්ට කතා කරන ආකාරයයි ජ්‍යේෂ්ඨ දෝනි වගේ ක්‍රීඩකයෙක්ට කතා කරන ආකාරයයි. නායකයෙක් විදිහට මටත්, පුහුණුකරුවන්ටත්, කණ්ඩායමටත් ලොකු පීඩනයක් එනවා මේ වගේ බොරු ප්‍රචාරය වෙද්දී. ගොඩක් අය ඒවා විශ්වාස කරනවා. අපි අතර  කිසිම ප්‍රශ්නයක් නෑ.”

මේ අතර ඉන්දීය ක්‍රිකට් ආයතනය (Board of Control for Cricket in India – BCCI) විසින් ප්‍රධාන පුහුණුකරු හා තවත් තනතුරු කීපයක් සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමට අයදුම්පත් කැඳවා ඇත. 

වර්තමාන පුහුණුකරු වන රවි ශ්‍රාස්තිගේ එකඟතා කාලය ලෝක කුසලානයෙන් පසුව අවසන් වූ අතර එය කොදෙව් තරග සංචාරය සඳහා ද දීර්ඝ කර ඇත. 

“රවී සමඟ අපි ගොඩක් සුහදත්වයෙන් කටයුතු කළා. කණ්ඩායමේ හැම කෙනාම එකිනෙකාට ගෞරව කරමින් කටයුතු කළා. අපි කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළා.” 

“අපි ගොඩක් සතුටු වෙනවා ඔහුට දිගටම අපේ පුහුණුකරු ලෙස කටයුතු කරන්න පුළුවන් නම්.” 

ලෝක ටෙස්ට් ශූරතාවයේ ඔබ දැනගත යුතු සියලු දේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29) ලෝක ටෙස්ට් ශූරතාව ……..

කොදෙව් තරග සංචාරය පිළිබඳව තම කණ්ඩායම බලාපොරොත්තු සහිතව සිටින බව කෝලි පවසා සිටියා. අගෝස්තු මස පළමුවැනිදා සිට පැවැත්වෙන සියලු ටෙස්ට් තරග ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා එක් කර තිබීම නිසා ටෙස්ට් තරගාවලිය වෙත තමන් වැඩි අවධානයක් යොමු කර ඇති බවත් කෝලි පවසා සිටියා. 

ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රධානම අරමුණ වන්නේ සෑම ටෙස්ට් තරගයකටම තරගකාරී ස්වාභාවයක් එක් කිරීම හා ටෙස්ට් තරග වෙත ලෝක ප්‍රේක්ෂක අවධානය යලි යොමුකර ගැනීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<