යාදෙව්ගේ ඉනිම මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට ගෙන එයි

153
(Photo by Sajjad HUSSAIN / AFP)

28 හැවිරිදි දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව්ගේ නොනැවතුන ඉනිම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම දක්වා ගෙන රැගෙන ඒමට ඊයේ (7) සමත් විය.

ගේල් භීතිකාව ආයෙත්

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ………..

මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර චෙන්නායි පිටියේ දී පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙම අවස්ථාව දිනා ගත්හ.  

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා නියෝජනය කරන්නේ 5 වැනි වතාවට ය. මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරන අතර ලසිත් මාලිංග ද එම කණ්ඩායම නියෝජනය කරයි. මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මේ වන විට 2013, 2015 සහ 2017 වසරවල ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ඇත.

තීරණාත්මක මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 132ක් ලබා ගත්හ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී විය. ඔවුන්ගේ පළමු කඩුලු 3 අහිමි වන විට ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 32ක් ලෙසිනි. නමුත් මුරලි විජේ සහ අම්බති රයිදු එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 33ක් ලබා ගනිමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කිරීමට මුල පිරූහ. මුරලි විජේ පන්දු 26ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

1999 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම

1983 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ……….

අනතුරුව අම්බති රයිදු සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එක්ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 66ක සබඳතාවක් එක් කරමින් චෙන්නායි ඉනිමට ගෞරවනීය තත්ත්වයක් ගෙන දුන්හ. ඉනිම අවසන් වන විට අම්බති රයිදු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියේ ය. දෝනි නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37කි. ඔහුගේ ඉනිම පන්දු 29කින් සමන්විත වූ අතර ඊට හයේ පහර 3ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී රාහුල් චාහර් ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තේ පන්දුවාර 4ක් යමිනි. මෙම තරගයේ දී ලසිත් මාලිංග කඩුලු ලබා ගැනීමට සමත් නොවූව ද පන්දුවාර 3ක් ලකුණු 26කට යැවීමට සමත් විය. කඩුලු ලබා ගැනීමේ දී කෘaනාල් පාන්ඩ්‍යා සහ ජයන්ට් යාදෙව් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 21ක්ව තිබිය දී දවා ගැනීමට දීපක් චාහර් සහ හර්බජාන් සිං සමත් වූහ. නායක රෝහිත් ෂර්මා (4) සහ කුයින්ටන් ඩි කොක් (8) මෙසේ අඩු ලකුණුවලට සීමා වෙද්දී චෙන්නායි පන්දු යවන්නෝ තව තවත් තමන්ගේ පන්දු යැවීම ශක්තිමත් කළහ.

එහෙත් තෙවැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කරමින් චෙන්නායි පන්දු යවන්නන් දුර්වල කිරීමට සූර්යකුමාර් යාදෙව් සහ ඉෂාන් කිශාන් සමත් ව‍ූහ. දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේ ය. එය ඔහු මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වන අතර වැඩිම ලකුණු ප්‍රමාණය ද වේ. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

ඉන්දියාව මෙල්ල කරන ශ්‍රී ලංකා A සංචිතය එළියට

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා ………

ඉෂාන් කිශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28කි. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් බැගින් තම ඉනිමට එක් කර ගත්තේ ය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණයෙන් තරගය අවසන් කරන විට හර්ඩික් පාන්ඩ්‍යා පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේ ය. සූර්යකුමාර් යාදෙව් සහ හර්ඩික් පාන්ඩ්‍යා එක්ව 5 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සබඳතාව 31කි.

පන්දු යැවීමේ දී ඉම්රාන් තාහිර් ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර දීපාක් චාහර් සහ හර්බජාන් සිං කඩුල්ල බැගින් දවා ගත්හ.

නිමා වූ තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් වූවද ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් උදා වෙන්නේ ය. ඒ ඔවුන් මේ වන විට ද අවසන් මහා සුදුසුකම් ලබා ගැනීමේ 2 වැනි තරගයට සුදුසුකම් ලබා සිටිම හේතුවෙනි. ඔවුන් 8 වැනිදා විශාඛාපට්නම් හිදී පැවැත්වෙන දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ මේ මස 10 වැනිදා පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වන්නේ නම් ය.

චෙන්නායි සුපර් කිංග්ස්; කඩුලු 4ක් දැවී 131 (20) මුරලි විජේ 26, අම්බති රයිදු නොදැවී 42, මහෙන්ද්‍ර සිං දෝනි නොදැවී 37, රාහුල් චාහර් 2/14

මුම්බායි ඉන්දියන්ස්; කඩුලු 4ක් දැවී 132 (18.3): සූර්යකුමාර් යාදෙව් නොදැවී 71, ඉෂාන් කිශාන් 28, ඉම්රාන් තාහිර් 2/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<