චහාර්ගේ ඉන්ද්‍රජාල පන්දු මැද ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්!

376

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන්ට ලැබුණු පළමු අභියෝගය ඉතාමත් සාර්ථක ලෙස ජය ගන්නට ඊයේ (06) ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදා විය. ඒ එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය පාදක කොට ගනිමින් ක්‍රියාත්මක වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගනිමිනි. ඊයේ ගයානා හිදී ක්‍රියාත්මක වූ අවසන් T20 තරගය ඔවුන් ජය ගත්තේ කඩුලු 7කිනි.

ක්‍රිස් ගේල් පසුකර යමින් රෝහිත් ශර්මාගෙන් තවත් ලෝක වාර්තාවක්!

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ….

මෙම තරගාවලියේ මුල් තරග දෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවති අතර ඒ දෙකෙන්ම පහසු ජයග්‍රහණ හිමි කර ගත් ඉන්දියාව ඊයේ දිනය වන විටත් තරගාවලි ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියහ. එබැවින් ඔවුන් කණ්ඩායමේ අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීමට ද ඊයේ තරගය යොදා ගනු දැකගන්නට ලැබුණි. ඒ අනුව කවදත් ලකුණු අතර සිටින සුපිරි පිතිකරු රෝහිත් ශර්මාට යම් විවේකයක් ලබා දී තිබුණේ ලෝකේෂ් රාහුල් ඉනිම ඇරඹීම සඳහා භාවිතා කරමිනි.

මීට අමතරව දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක රාහුල් චහාර්ට ජාත්‍යන්තර වරම් හිමිකර දීමට ද ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඊයේ පියවර ගෙන තිබුණි. යන්තම් වයස 20ක් වන ඔහු ඉතිහාසයට එක්වූයේ ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලැබූ සිව්වැනි ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි. ක්‍රිකට් පිටියෙන් එපිට සැබෑ ජීවිතයේ දීත් නෑදෑයින් වන රාහුල් චහාර් සහ දීපක් චහාර් යන දෙදෙනාම එකම ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද එය විය. ඒ කලින් තරගයට ක්‍රීඩා කළ රවින්ද්‍ර ජඩේජා සහ වොෂින්ටන් සුන්දර් වෙනුවටයි.

ඊයේ දිනයේ ගයානා හිදී තරගය වෙනුවෙන් සකසා තිබූ තණතිල්ල බැලූ බැල්මටම හොඳ තත්වයේ ඇති බව පෙනුණ ද කාසියේ වාසිය දිනා ගත් විරාත් කෝලි තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. ඔහු ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේ තරගයට පෙර තණතිල්ල පැය කිහිපයක්ම ආවරණය කර තිබූ බැවින් මුල් අවස්ථාවේ දී එය පන්දු යවන්නන්ට සහය දක්වනු ඇති බවයි. සැබැවින්ම පිටියේ පැවති තෙතබරිත ස්වභාවය නිසා ඊයේ තරගය ආරම්භ කිරීමට පැය එකහමාරක පමණ ප්‍රමාදයක් සිදු වූ නමුත් පන්දුවාර සංඛ්‍යාව කප්පාදු කිරීමට සිදු වූයේ නැත.

ඒ අනුව ඉනිම ඇරඹූ කොදෙව්වන්ට ඊයේත් තම ආරම්භය සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර ඉනිමේ මුල් කඩුලු 3ම බිඳ හෙලන්නට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් සමත් විය. ඒ එවින් ලෙවිස්, සුනිල් නරෙයින් සහ ශිම්රන් හෙට්මයර් මෙම තරගාවලිය පුරාවටම අසාර්ථක පිතිකරුවන් බවට පත් කරමිනි. මුල් තරග දෙකේ දී එකදු ලකුණක් හෝ රැස් නොකළ ලෙවිස් ඊයේ ලකුණු 10ක් ලබා ගත්තේය. කොදෙව් පිළ වෙනුවෙන් ඉනිම ඇරඹීම දෙවැනි වරටත් අසාර්ථක කරගත් නරෙයින් ඊයේ දැවී ගියේ ලකුණු 2කටයි.

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය …..

ඒ අනුව ලකුණු පුවරුව 14ක් වෙද්දී කඩුලු 3ක් බිඳ වැටුණු අතර නැවතත් කණ්ඩායමට යම් හෝ බලාපොරොත්තු ගෙන ආවේ පන්දු 45කින් ලකුණු 58ක් රැස්කළ කිරන් පොලාර්ඩ් විසිනි. ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. නැවතත් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් ලකුණු 17ක් ලබා ගැනීමට පන්දු 23ක් වැය කළේය. මේ වන විට කොදෙව් පිළට එක්කර සිටින නවකයින් බොහෝ දෙනා අසාර්ථක වන්නට පටන් ගෙන තිබීම ඔවුන්ගේ කණ්ඩායම් කළමනාකාරීත්වයට දැඩි හිසරදයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවෙකු ලෙස රෝමන් පවෙල් පන්දු 20කින් නොදැවී ලබා ගත් ලකුණු 32 හේතුවෙන් කඩුලු 6කට ලකුණු 146ක් රැස් කිරීමට කොදෙව්වන්ට අවස්ථාව උදා විය. එහි දී ඉන්ද්‍රජාල පන්දු යැවීමක යෙදුණු දීපක් චහාර් පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 4කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව මෙම තරගාවලිය අතරේ දී ම ජාත්‍යන්තර වරම් ලද නව්දීප් සයිනි කඩුලු 2ක් ද, මංගල තරගයට ක්‍රීඩා කරන රාහුල් චහාර් එක් කඩුල්ලක් ද බිඳ හෙලීමට සමත් විය.

මෙම ඉලක්කය සැලසුම් සහගත ලෙස හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගයේ ජය වාර්තා කරන විට ඉනිමේ තවත් පන්දු 5ක් ඉතිරිව පැවතුණි. එහි දී ශිකර් ධවාන් පමණක් අසාර්ථක වුවද අනෙක් පිතිකරුවන් ලකුණු අතරට පිවිසි නිසා ඔවුන්ට පීඩනයක් එල්ල නොවීය. ඉන්දියාව සතු දක්ෂතාවලින් පරිපූර්ණ නවකයෙකු ලෙස සැලකුණ ද, මුල් තරග දෙකේ දී ම අසාර්ථක වී එරට ක්‍රීඩාලෝලීන් අතර තරමක් අප්‍රසාදයට ලක්ව සිටි රිශාබ් පන්ට් ඊයේ නැවතත් තමන්ට හිමි ගෞරවය දිනා ගත්තේය. ඒ හතරේ පහර සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් පන්දු 42කින් නොදැවී ලබා ගත් ලකුණු 65ත් සමඟයි.

මීට අමතරව නායක කෝලි කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 45කින් ලකුණු 59ක් ලබා ගත්තේය. ඒ අලංකාර හතරේ පහර 6ක් තම ඉනිමට එකතු කර ගනිමිනි. මොවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ලකුණු 106ක දැවැන්ත සබඳතාවය බිඳ වැටුණේ තරගය අවසන් වීමට මොහොතකට පෙරයි. ඒ අනුව කඩුලු 7ක පහසු ජයක් සහ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ඉන්දීය කණ්ඩායම සතුවිය. තරගයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු බර අවි ප්‍රහාරය එල්ල කළ දීපක් චහාර් දිනා ගත්තේය.

පොලාඩ්ගේ දඩබ්බර තීරණයට ICCයෙන් දඬුවම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව……..

තරගාවලියේ වීරයා බවට පත්වූයේ මුල් තරග දෙකේ දී පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් දැක්වූ කෘනාල් පාණ්ඩ්‍යාටයි. ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය නිමාවට පත්වූ අතර මීළඟට ආරම්භ වන්නේ දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියයි. එහි පළමු තරගය හෙට (08) ගයානා හිදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් පසුව ඉන්දීය පිළේ කොදෙව් සංචාරය අවසන් වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 20): කිරන් පොලාර්ඩ් 58, රෝමන් පවෙල් 32*, නිකලස් පූරන් 17, කාලෝස් බ්‍රත්වයිට් 10, එවින් ලෙවිස් 10, දීපක් චහාර් 3 /4, නව්දීප් සයිනි 2/34, රාහුල් චහාර් 1/27.

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 150 (පන්දුවාර 19.1): රිශාබ් පන්ට් 65*, විරාත් කෝලි 59, ලෝකේෂ් රාහුල් 20, ඔශේන් තෝමස් 2/29, ෆැබියන් ඇලන් 1/18.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<