කෝලිට තවත් ශතකයක්; ඉන්දියාවට තරගාවලි ජයක්!

5739
kholi
©Associated Press

එකම තරගාවලියක දෙවැනි වරටත් ඉන්දීය නායක විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයර් දැක්වූ සුවිශේෂී පිතිකරණ දක්ෂතා නිසා කොදෙව් දූපත් හිදී පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාවට අද (15) අලුයම හැකි විය. ඒ තරග 2-0ක තරගාවලි ජයග්‍රහණයක් ද සමඟිනි. 

වර්ෂාවෙන් බාධා සිදු වූ නමුදු තරගකාරීත්වය අතින් කිසිදු අඩුවක් නොවුනු මෙම තරගයේ දී දෙපිළේම ක්‍රීඩකයින් වේගවත් පිතිකරණයක යෙදෙමින් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක් ලබා දෙනු දැකගන්නට ලැබුණි.

ඉන්දීය ශතක මැෂීම තවත් වාර්තාවක් සමඟින් කොදෙව් බලාපොරොත්තු සුන්කරයි

ඉන්දීය පිළේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ …….

දිවා තරගයක් ලෙස ඊයේ මෙම කණ්ඩායම් දෙක තෙවැනි සහ අවසන් එක්දින සටනට පිවිසියේ ට්‍රිනිඩැඩ් හි පෝර්ට් ඔෆ් ස්පේන් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ඉල්ලා සිටියේය. කොදෙව් ඉනිම අතරේ දෙවරක්ම වර්ෂාවෙන් බාධා වුවද ක්‍රිස් ගේල් සහ එවින් ලෙවිස් ඊයේ කොදෙව් ප්‍රේක්ෂකයින් පිනවීමට සමත් වූයේ පළමු පන්දුවාර 10 තුල දී ම ආරම්භක කඩුල්ල වෙනුවෙන් වේගවත් ශතක සබඳතාවයක් ගොඩ නගමිනි.

ට්‍රිනිඩැඩ් හරහා ඊයේ හඹා ගිය “ගේල් කුණාටුව” නිමාවට පත්වන විට ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් එල්ල කොට අවසන්ව තිබුණි. ඒ පන්දු 41ක දී ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ලකුණු 72ක් තම ගිණුමට බැර කර ගනිමිනි. ඔහුට අනගි සහයක් වූ එවින් ලෙවිස් පන්දු 29කින් ලකුණු 43ක් ලබා ගනිමින් කොදෙව් ආරම්භය වර්ණවත් කළේය. 

නමුත් අනෙකුත් පිතිකරුවන් එම අඩිපාරේ යන්නට අසමත් වූ නිසා විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට තිබූ අවස්ථාව කොදෙව්වන්ට අහිමි විය. ශායි හෝප් අවස්ථාවට අනුචිත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52ක දී ලකුණු 24ක් ලබා ගනිද්දී නිකලස් පූරන් ප්‍රවේගකාරී වෙමින් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත්තේය.

ඒ අනුව වර්ෂාවේ බාධා නිසා පන්දුවාර 35කට කප්පාදු වුනු ඉනිම අවසානයේ ඔවුන්ට ලකුණු 240ක් ලබා ගැනීමට හැකි විය. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන ක්‍රීඩක කලීල් අහමඩ් විසින් ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර් සහ බ්‍රත්වයිට් යන තීරණාත්මක කඩුලු 3 දවා ගනිමින් දස්කම් දැක්වීය. 

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් ගණනය කිරීම් අනුව ඉන්දියාවට පන්දුවාර 35ක් තුල දී හිමි වූ ඉලක්කය ලකුණු 255ක් විය. ඒ ඉනිම ආරම්භයේ සිටම පන්දුවාරයකට ලකුණු 7.3ක ඉහළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය ද සමගයි.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව …….

නමුත් ලකුණු හඹා යාමේ දී කවදත් සුපිරි දක්ෂතා දක්වන ඉන්දීය කණ්ඩායම මෙම අසීරු ඉලක්කය පන්දු 15ක් ඉතිරිව තිබිය දී ම හඹා යාමට සමත් වූහ. එහි දී සුපුරුදු පරිදි මූලිකත්වය ගනු ලැබුවේ අංක එකේ එක්දින පිතිකරු විරාත් කෝලියි. ඒ හතරේ පහර 14ක් සමඟින් පන්දු 99ක් තුල දී ලකුණු 114ක් රැස්කර ගනිමිනි. කෝලි කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී ද ශතකයක් සමඟින් ඉන්දියාවට ජය ලබා දුන්නේ කණ්ඩායමේ තරග දිනවන්නාගේ භූමිකාව අකුරටම නිරූපණය කරමිනි.

කෝලි සමඟින් සිව්වැනි කඩුල්ල සඳහා ශතක සබඳතාවයක් ගොඩ නැගූ නවක පිතිකරු ශ්‍රෙයාස් අයර් පන්දු 41ක දී ලකුණු 65ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් එල්ල කරමිනි. 

මුල්පෙළ පිතිකරුවන් ලෙස රෝහිත් ශර්මා දුවද්දී දැවී ගිය ද, රිශාබ් පන්ට් පළමු පන්දුවේ දී ම අසාර්ථක වුව ද කෝලි – ශ්‍රෙයාස් සබඳතාවය ඉන්දියාවට ජය තහවුරු කිරීමට ප්‍රමාණවත් විය. ශිකර් ධවාන් පන්දු 36කින් ලකුණු 36යි. තරගයේ අවසන් කොටසේ දී ශ්‍රෙයාස් අයර් වෙනුවට පිටියට පිවිසි රවීන්ද්‍ර ජඩේජා පන්දු 12කින් නොදැවී ලකුණු 19ක් රැස්කර ගත්තේය.

ආචර්ගේ බලය අළුබඳුනේ තීරණාත්මක සාධකයක්

ලෝක ශූර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එම ………

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පසුගිය වසර 13ක දීර්ඝ කාලයක් තිස්සේ කොදෙව්වන්ට එරෙහිව පැවති තරගාවලි 9කම ජයග්‍රහණය දිනා ගැනීමට සමත්කම් දක්වා තිබේ. තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මාන ද පිට පිටම ශතක දෙකක් රැස් කළ විරාත් කෝලිට හිමි විය. ඉන්දීය පිළේ කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 22 වැනිදා ඇන්ටිගුවා හිදී ඇරඹීමට නියමිතව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 7ක් දැවී ලකුණු 240 (පන්දුවාර 35): ක්‍රිස් ගේල් 72, එවින් ලෙවිස් 43, නිකලස් පූරන් 30, ශිම්රන් හෙට්මයර් 25, ශයි හෝප් 24, කාලෝස් බ්‍රත්වයිට් 16, කලීල් අහමඩ් 3/68, මොහොමඩ් ශමී 2/50, රවීන්ද්‍ර ජඩේජා 1/26.

ඉන්දියාව – කඩුලු 4ක් දැවී ලකුණු 254 (පන්දුවාර 32.3): විරාත් කෝලි 114*, ශ්‍රෙයාස් අයර් 65, ශිකර් ධවාන් 36, කෙඩාර් ජාදෙව් 19*, ෆැබියන් ඇලන් 2/40, කෙමාර් රෝච් 1/53.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<