නවකයෙකුගේ වේගය ඉන්දියාවට ජය ගෙනදෙයි

13473

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයින්ට සජීවී තරග අත්දැකීමක් ගෙන දෙමින් ඉන්දියා – කොදෙව් පළමු විස්සයි විස්ස තරගය අද (03) ක්‍රියාත්මක වූයේ ෆ්ලොරිඩා හිදීයි. 

එහි  දී මුල් වරට ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්දීය දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක නව්දීප් සයිනි විශිෂ්ට දස්කම් දක්වමින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යාමට වැඩි දායකත්වයක් දැක්වීය.

රෝහිත් – කෝලි ගැටුම ගැන කෝලි කට අරී

ඉන්දීය නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා අතර….

මෙම තරගය සඳහා ෆ්ලොරිඩා හිදී සැකසී තිබුණේ පිතිකරුවන් කැමති ආකාරයේ තණතිල්ලක් නොවූ බැවින් කාසියේ වාසිය දිනා ගත් විරාත් කෝලි මුලින් පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ කොදෙව් පිළ අඩු ලකුණකට සීමා කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. කෝලිගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කළ ඉන්දියානු පන්දු යවන්නන් තරගය ආරම්භ කළේ කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජෝන් කැම්බෙල් සහ එවින් ලෙවිස් ලකුණු ලබා ගැනීමටත් ප්‍රථමයෙන් ක්‍රීඩාගාරයට හරවා යවමිනි.

ඉන් අනතුරුව නිකලස් පූරන් සහ කිරන් පොලාර්ඩ් අතරේ ලකුණු 20ක කෙටි සබඳතාවයක් ගොඩ නැගුණු අතර අද ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්දියාව සතු වේගවත්ම පන්දු යවන්නෙකු වන නව්දීප් සයිනි එම සබඳතාවයට තිත තැබීය. එතැන් පටන් ඉන්දියාව නැවතත් කඩුලු එකින් එක බිඳ දමමින් තරගයට අවතීර්ණ වූ අතර කවදත් ප්‍රහාරයට යොමු වීම මිස ඉනිමක් පිළිසකර කිරීමට කොදෙව්වන් දක්වන මැලිකම ඔවුන්ව තවදුරටත් තරගය තුල අසරණ කර දැමීමට හේතුවිය.

කොදෙව් පිළේ අනාගතය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් ලෙස විචාරකයන් සැලකූ ශිම්රන් හෙට්මයර් මේ වන විට ක්‍රමයෙන් අසාර්ථක ක්‍රීඩකයින් ගොන්න අතරට ඇතුළත් වෙමින් සිටින අතර ඔහු අදත් ප්‍රථම පන්දුවේ දීම දැවී ගියේය. ඒ සයිනි කඩුල්ල කෙළින් යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් හඳුනා ගත නොහැකි වීමෙනි. රෝමන් පවෙල් කඩුල්ලට ඈතින් ඇදී ගිය පන්දුවකට පිත්ත යොමු කරමින් දැවී ගියේ ස්ලිප් කලාපයට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී තරමක හෝ සටන්කාමීත්වක් ප්‍රකට කළ කිරන් පොලාර්ඩ් අද පන්දු 49කින් ලකුණු 49ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 4ක් සමඟිනි. ඔහු සහ නිකලස් පූරන් (20) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකු ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් හෝ රැස් කිරීමට අසමත් වීම නිසා කොදෙව් ඉනිම නිමා වූයේ ලකුණු 95කටයි. මංගල තරගයේ දීම සුපිරි පන්දු යැවීමක යෙදුණු නව්දීප් සයිනි අද නිකලස් පූරන්, කිරන් පොලාර්ඩ් සහ ශිම්රන් හෙට්මයර් දවා ගනිමින් අති සාර්ථක විය.

ඉන්දියාව ශාස්ත්‍රිව කණ්ඩායෙමන් අයින් කරයි ද?

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය….

මෙම කුඩා ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසියේ ලොව සාර්ථකම ආරම්භක පිතිකරණ යුගලයක් වන රෝහිත් ශර්මා සහ ශිකර් ධවානුයි. නමුත් අද දිනය ඔවුන් දෙදෙනාට එතරම් වාසනාවන්ත වූයේ නැත. එක්දින ලෝක කුසලානය අතරතුරේ ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ ශිකර් ධවාන් අද ඉන් සුවය ලබා කණ්ඩායමට පැමිණිය ද ඔහු එක් ලකුණකට දැවී ගියේ ශෙල්ඩන් කෝට්‍රල්ගේ සුපුරුදු ආචාර කිරීම මැදයි. ලකුණු 24ක හොඳ ආරම්භයක් ලබා ගත්ත ද රෝහිත් ශර්මා අනවශ්‍ය කලබලය නිසා කිරන් පොලාර්ඩ් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ඉන් අනතුරුවයි.

වයසට වඩා වැඩි දස්කම් දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන රිශාබ් පන්ට් අද දැවී ගියේ තමන්ට ලැබුණු මුල්ම පන්දුවේ දී ම විශාල පහරක් කරා උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් ඉන්දියානුවන්ට සුළු ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ වාසිය තිබුණු නිසා ඔවුන්ව වැළැක්වීම කොදෙව්වන්ට හැකි වූයේ නැත. මැදපෙළ පිතිකරුවෙකු ලෙස පන්දු 14කින් ලකුණු 19ක් ලබාගත් මනිශ් පාන්ඩේ අද දැවී ගියේ කීමෝ පෝල් එවූ පන්දුවකින් පිට ඉන්න ගුවනේ පියඹා ගිය නිසාවෙනි. නායක කෝලි අද පරීක්ෂාකාරී වෙමින් පන්දු 29කින් ලකුණු 19ක් ලබා ගත්තේය.

ක්‍රිකට්වලින් සමුගෙන කෝලී පාපන්දුවට?

දැනට ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? මේ ප්‍රශ්නයට පිළිතුරු….

ඒ අනුව ඉන්දියාව පළමු T20 තරගයේ ජය තහවුරු කර ගත්තේ තවත් පන්දුවාර 3යි පන්දු 4ක් ඉතිරිව තිබිය දීයි. කෙසේ වෙතත් කොදෙව්වන් මෙම සුළු ලකුණු පුවරුව ආරක්ෂා කර ගැනීමට දුන් සටන අගය කළ යුතු අතර එහි දී ඔවුන් ප්‍රතිවාදී කඩුලු 6ක් බිඳ දැමීමට සමත් විය. පන්දු යැවීමේ දී ශෙල්ඩන් කෝට්‍රල්, සුනිල් නරෙයින් සහ කීමෝ පෝල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. 

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය හෙට (04) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට සැලසුම් කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 9ක් දැවී ලකුණු 95 (පන්දුවාර 20): කිරන් පොලාර්ඩ් 49, නිකලස් පූරන් 20, කාලෝස් බ්‍රත්වයිට් 9, නව්දීප් සයිනි 3/17, බුවනේශ්වර් කුමාර් 2/19, කලීල් අහමඩ් 1/8.

ඉන්දියාව – කඩුලු 6ක් දැවී ලකුණු 98 (පන්දුවාර 17.2): රෝහිත් ශර්මා 24, මනිශ් පාන්ඩේ 19, විරාත් කෝලි 19, කෘනාල් පාණ්ඩ්‍යා 12, රවීන්ද්‍ර ජඩේජා 10, සුනිල් නරෙයින් 2/14, ශෙල්ඩන් කෝට්‍රල් 2/20.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<