විජේ ශංකර් ඕස්ට්‍රේලියා ජය කණපිට පෙරළයි

182

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය උද්වේගකර තරගයකින් අනතුරුව විජේ ශංකර්ගේ දක්ෂ අවසන් පන්දුවාරය හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට……

දෙරට අතර ඊයේ (05) දිවා/ රාත්‍රි තරගයක් ලෙස නාග්පූර් හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මුලින්ම පන්දු රැකීම තෝරාගත්තේය.

ඒ අනුව පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් දැක්වූ නාග්පූර් තණ තීරුවේ ඉන්දීය ඉනිම පන්දුවාර 48යි පන්දු දෙකක් තුල ලකුණු 250කට සීමා විය. ඉන්දීය ඉනිමේ ආරම්භය අසාර්ථක කරමින් පළමු පන්දුවාරය අවසන් වන විට එක් ලකුණක් හෝ ලබාගත නොහැකිව රෝහිත් ෂර්මා දැවී ගියේය.

අනතුරුව ලකුණු 75ක් තුල කඩුලු 3ක් දැවී ගොස් ඇති විට පිටියට පිවිසි විජේ ශංකර් නායක විරාත් කෝලි සමඟ එක්ව හතර වැනි කඩුල්ලට ලකුණු 81ක් එක් කළහ. විජේ ශංකර් පන්දු 41කින් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 46ක් රැස්කර සිටිය දී දක්ෂ ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ඇඩම් සැම්පා සමත් විය.

අනතුරුව පසුගිය තරගයේ දක්ෂතා අතරට පැමිණි කේඩර් ජාදේව් සහ මහේන්ද්‍ර සිං දෝණි පිළිවෙළින් පස්වැනි සහ හයවැනි කඩුලු වෙනුවෙන් පිටියට පිවිසුණ ද ඔවුන්ට සාර්ථක වීමට ඇඩම් සැම්පා ඉඩ නොතැබීය. ඒ අනුව ජාදේව් ලකුණු 11කට සහ දෝණි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියහ.

ඉන්දීය ඉනිමේ සැලකිය යුතු දෙවන සබඳතාවය හත්වැනි කඩුල්ලට ලකුණු 67ක්, විරාත් කෝලි සහ රවින්ද්‍ර ජඩේජා අතර ගොඩනැගුණි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නැවත වරක් ක්‍රිකට් ඇතුළත් කරයි

එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යලිත් ක්‍රිකට් ක්‍රීඩාව …

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි පීඩනයකට නතුකර තිබූ ඉන්දීය ඉනිමේ 48 වන පන්දු වාරය තෙක් පිටියේ රැඳෙමින් තණ තීරුවේ වාසිය යන සාධකය බොරුවක් බවට පත්කළ නායක විරාත් කෝලි සිය 40 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබා ගැනීම මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ කෝලි පන්දු 120කින් ලකුණු 116ක් රැස්කළ අතර ඊට හතරේ පහර 10ක් අන්තර්ගත විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් පැට් කමින්ස් ලකුණු 29කට කඩුලු 4ක් සහ ඇඩම් සැම්පා ලකුණු 62කට කඩුලු දෙකක් ද දවා ගත්හ.

ඒ අනුව ලකුණු 251ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් තුල සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 242ක් පමණි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භය සාර්ථක කරමින් කවාජා සහ ෆින්ච් ලකුණු 83ක් එක්කළ ද මැදපෙළ පිතිකරුවන් රැසකට දිගු ඉනිම් වෙත යෑමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ සැලසුවේ නැත.

එහෙත් පීටර් හෑන්ඩ්ස්කොම්බ් දෙවන කඩුල්ලට සහ මාර්කස් ස්ටොයිනස් සිව්වැනි කඩුල්ලට පිටියට එක්වී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර කිරීමට දැඩි උත්සහයක නිරත විය.

හෑන්ඩ්ස්කොම්බ් 37 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී රවින්ද්‍ර ජඩේජා විසින් දක්ෂ දුවද්දී දවා ගැනීමකට හසුකරගත් අතර ඒ හේතුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට තිබූ බලාපොරොත්තු යම් පසුබෑමකට ලක්විය. හෑන්ඩ්ස්කොම්බ් දැවී යන විට පන්දු 59කින් ලකුණු 48ක් රැස්කරගෙන සිටියේය.

කෙසේ වෙතත් තරගය අත්නොහැරි ස්ටොයිනස්, ඇලෙක්ස් කෙරී සමඟ එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 47ක් එක්කරමින් යළි ඕස්ට්‍රේලියාව වෙත තරගය නතුකර ගැනීමට සමත් විය. එහෙත් ඒ වන විට ලකුණු 22ක් ලබා සිටි කෙරී ආපසු ක්‍රීඩාගාරය වෙත යැවීමට 44 වැනි පන්දුවාරයේ පන්දුව අතට ගත් කුල්දිප් යාදේව් සමත් විය.

අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවකාශ සැලසුවේ නැති නමුත් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ස්ටොයිනස් අවසාන පන්දුවාරයට ලකුණු 11ක් ලබාගත යුතු තැන දක්වා තරගය රැගෙන ඒමට ප්‍රමුඛ කාර්යය භාරයක් ඉෂ්ට කළේය.

ආබාධයක් නිසා ඩි විලියර්ස්ට PSL මඟ හැරේ

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩි විලියර්ස්ට මෙවර …..

ඒ අනුව තරගයේ තීරණාත්මක මොහොතේ ඉන්දීය නායකයා, 9 වැනි පන්දුවාරය යොමුකර ලකුණු 13ක් ලබා දී තිබූ විජේ ශංකර් විශ්වාස කරමින් ඔහුට පන්දුව ලබා දුන් අතර ඒ වන විටත් ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් අතැතිව පන්දු 6කින් ලකුණු 11ක් ලබාගත යුතුව තිබුණි.

එහි දී නායකයා ලබා දුන් අභියෝගය අකුරටම ඉෂ්ට කරමින් ශංකර් යැවූ පළමු පන්දුවෙන්ම පන්දු 65කට මුහුණ දී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 52ක සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිටි ස්ටොයිනස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය.

එ් අනුව තරගයේ ජයග්‍රහණය යළිත් වරක් ඉන්දියාවට විවෘත කර දුන් ශංකර් දෙවන පන්දුවෙන් ඇඩම් සැම්පාට ලකුණු දෙකක් ලබා දී තෙවැනි පන්දුව කෙළින්ම ඔහුගේ කඩුල්ලට යොමුකරමින් ඉන්දියාවට ලකුණු 8ක තියුණු ජයක් අත්කර දුන්නේය.

මෙම තරග ජයත් සමඟින් ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග 500ක් ජය ගත් දෙවන රට ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි. මෙම වාර්තා සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ මේ වන විට තරග 558ක් ජයගෙන සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කුල්දීප් යාදේව් ලකුණු 54කට කඩුලු 3ක් සහ විජේ ශංකර්, ජස්ප්‍රිත් භුම්රා පිළිවෙළින් ලකුණු 15කට සහ ලකුණු 29කට කඩුලු දෙක බැගින් දවා ගත්හ. විශිෂ්ට ශතකයක් රැස්කළ විරාත් කෝලි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2- 0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර මීළඟ තරගය ලබන මාර්තු 08 වැනිදා ‘රන්චි’ හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායම: සියල්ලන් දැවී 250 (48.2): විරාත් කෝලි 116, විජේ ශංකර් 46, පැට් කමින්ස් 4/29, ඇඩම් සැම්පා 2/62

ඕස්ට්‍රේලියා කණ්ඩායම: සියල්ලන් දැවී 242 (49.3) මාර්කස් ස්ටොයිනස් 52, පීටර් හෑන්ඩ්ස්කොම්බ් 48, උස්මාන් කවාජා 38, ඒරන් ෆින්ච් 37, කුල්දීප් යාදේව් 3/54, විජේ ශංකර් 2/15, ජස්ප්‍රිත් භුම්රා 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<