ඉන්දියාව ගෙදර යැව්ව නවසීලන්ත මෙහෙයුම

235

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (10) නවසිලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර් එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයින් දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙන් තරගය ලකුණු 18කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට …..

ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතු කාරණාවක් වූයේ නවසීලන්ත කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම වන අතර මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුල්ල වෙත කෙළින්ම එල්ල කරමින් මහේන්ද්‍ර සිං දෝනිව දවා ගැනීම හා දිනේෂ් කාර්තික්ව දවා ගැනීම වෙනුවෙන් ජිමී නීෂම් රැක ගත් අගනා උඩපන්දුව ද විශේෂ වේ.   

එම කරුණුවලට අමතරව පහත සඳහන් කරුණු ද නවසීලන්ත ජයග්‍රහණයේ ප්‍රබල සාධක බවට පත්විය. 

මැට් හෙන්රිගේ විජයග්‍රාහී පන්දු යැවීම 

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 239ට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 221ක් පමණි.

ලකුණු 240ක් හඹා යන ඉන්දීය ඉනිම ආරම්භ කළේ ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා ය. මේ ශතකලාභී ක්‍රීඩකයන් දෙදෙනාම මෙම තරගයේ දී අසාර්ථක වීම නවසීලන්තයට වඩාත් වාසි සහගත විය. එපමණකින් නොව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම එක් ලකුණකට දැවී ගිය පළමු අවස්ථාව මෙය බවට පත්වූයේ නායක කෝලි දැවී යාමත් සමඟයි. 

විශේෂයෙන් රෝහිත් ශර්මා යනු මෙවර තරගාවලිය පුරාවට ශතක පහක් ලබාගෙන ඉතාමත් හොඳ දස්කම් අතර සිටි පිතිකරුවෙකු වූ අතර ඔහුගේ කඩුල්ල අහිමි වීම ඉන්දියාවට දැඩි පහරක් විය.

නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නෝ වූ මැට් හෙන්රි සහ ට්‍රෙන්ට් බෝල්ට් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් වෙත නම්මා ගත් නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් වූයේ මැට් හෙන්රි විසින් දියත් කළ දක්ෂ පන්දුවාර කිහිපයයි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

රිෂාබ් පන්ට් සහ දිනේෂ් කාර්තික් එක්ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 19ක් එක් කරද්දී නැවත ක්‍රියාත්මක වූ හෙන්රි විසින් කාර්තික්ව ලකුණු 6කට දවා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ඉනිම පන්දුවාර 10ක් අවසානයේ ලකුණු 24කට කඩුලු 4ක් ලෙස දිස්විය.  

හෙන්රිට අමතරව මිචෙල් සැන්ටර්නර් ක්‍රියාත්මක කළ මැද පන්දුවාර කිහිපය හා බෝල්ට් ක්‍රියාත්මක කළ පන්දුවාර ප්‍රමාණය තුල ඉන්දීය පිතිකරුවන්ව පාලනය කරගැනීමට හැකි වීම ද නවසීලන්තය ලබා ගත් මේ ජයග්‍රහණයට තරමක හෝ හේතු සාධක විය.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ සිය පන්දුවාර 10 තුල ලකුණු 37ක් ලබා දෙමින් (එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟ) කඩුලු 3ක් දවා ගත් මැට් හෙන්රිය.

ඉන්දීය ක්‍රිකට් රසිකයින් ඩෙඟා නටයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) …….

බලාපොරොත්තු ගෙනා ජඩේජාගේ පිතිකරණය

හර්දික් පාන්ඩ්‍යා පන්දු 62කට හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය. පාන්ඩ්‍යා ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 92ක් ලෙස සටහන් වී තිබුණි. 

එතැන් සිට නවසීලන්ත පන්දු යවන්නන්ගේ අභියෝග අභියෝගයට ලක් කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවින්ද්‍ර ජඩේජා සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් එක් කළේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවත එක් කරමිනි.  

එහි දී වමතින් පිතිකරණයේ නිරත වූ රවින්ද්‍ර ජඩේජා පන්දු 59ක් තුල වේගවත් ලකුණු 77ක් වාර්තා කර ගනිමින් ඉන්දීය ඉනිමේ ජීවය වර්ධනය කළ අතර ජඩේජා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාවට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති මූලික වටයේ තරගය හා මේ අවසන් පූර්ව තරගය පමණි. අවසානයේ ඔහු තරගයේ උණුසුම් බව තවදුරටත් වැඩි කරමින් ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු මේ සබඳතාවය සඳහා ජඩේජා එක් පසෙකින් සවියක් වන විට අනෙක් අන්තයෙන් සවියක් වූයේ අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයෙක් වන මහේන්ද්‍ර සිං දෝනියි. ඔහු පන්දු 72ක් තුල ලකුණු 50ක් වාර්තා කරගන්නා ලදි. 

තරග දිනවන ශතකයක් සමඟින් පැතුම් නිශ්ශංක වැඩ අල්ලයි

යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක වාර්තා කළ අති විශිෂ්ට ……..

විලියම්සන් – ටේලර් පිතිකරණ සබඳතාවය 

ඉන්දීය ආරම්භක පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා හා බුවනේශ්වර් කුමාර් නවසීලන්තයට එල්ල කළ පීඩනය නිසා පළමු පන්දු 21ක තුල එක් කඩුල්ලක් ද දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. 

ඉන්පසුව පිටියට පැමිණි නවසීලන්ත නායක කේන් විලියම්සන් හෙන්රි නිකලස් සමඟ එක්ව නවසීලන්ත ලකුණු පුවරුව සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළ අතර ලකුණු 28ක් ලබා සිටි නිකලස්ගේ දැවී යාමට පසුව පිටියට පැමිණියේ රොස් ටේලර්ය. අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව විලියම්සන් – නිකලස් යන දෙදෙනා දැමූ අඩිතාලම තවදුරටත් සවිබලගන්වමින් තෙවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

එහි දී නායක විලියම්සන් ඉන්දීය වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වන අභියෝග මැද පන්දු 95ක දී ලකුණු 67ක් වාර්තා කරගන්නා ලදි. විලියම්සන්ගේ දැවී යාමට පසුව අනෙක් අන්තයේ සිටි ටේලර් පසුපෙළ පිතිකරුවන්ගේ ද සහාය ඇතිව 4 ප‍හර 3ක් හා එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 90ක දී ලකුණු 74ක් වාර්තා කරගත්තේය. 

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 239ක් වාර්තා කරගැනීමට නවසීලන්තයට හැකි විය. අවසානයේ පිතිකරුවන් ඉතාමත් අපහසුවෙන් ලබා ගත් ලකුණු ප්‍රමාණය රැකගනිමින් නවසීලන්ත පන්දු යවන්නන් ද දැක්වූ දස්කම් නිසා නොකඩවා දෙවන වතාවටත්  අවසන් මහා තරගයේ සිය අසුන වෙන් කරගැනීමට නවසීලන්තයට අවස්ථාව උදාවිය 

තරගාවලියේ දෙවන තීරණාත්මක අවසන් පූර්ව ක්‍රිකට් තරගය සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද (11) බර්මින්හැම් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<