ඉන්දු – ශ්‍රී ලංකා තවත් ක්‍රිකට් තරගාවලියක් හෙට ඇරඹේ

215

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ…

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (16) කොළඹ දී පැවති අතර එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබී ඇති නිපුන් ධනංජයටයි.

“අපේ කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක් නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මධුශ්ක වගේ ක්‍රීඩකයින් පිතිකරුවන් ලෙස අපේ කණ්ඩායමට ඉතාමත් වැදගත් වේවි. ඒ වගේම කලණ පෙරේරා, නිපුන් මාලිංග හා කල්හාර සේනාරත්න යන ක්‍රීඩකයින් පන්දු යවන අංශයෙන් යම් වැඩි දෙයක් කරයි කියලා මම හිතනවා.” යැයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වන නිපුන් දනංජය පැවසීය.

ධනංජයට අමතරව කඩුලු රකින පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක ද මේ සංචිතයට ඇතුලත් කර ඇති අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා ද මේ සංචිතයට අන්තර්ගතව සිටී. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

“හැම පළාතම නියෝජනය වෙන්න මේ කණ්ඩායම තෝරලා තියෙනවා. මේ අතර අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ඉන්න පුළුවන්. පහුගිය දවස වල අපේ කණ්ඩායම් හොඳට පුහුණුවීම් කළා. මීළඟට තියෙන ලෝක කුසලානය හා ආසියානු කුසලානය අපිට තියෙන ප්‍රධාන ක්‍රිකට් තරගාවලි. “ යැයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන හේමන්ත දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය විසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ තරගාවලිය සඳහා පුහුණුකර ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී නවසීලන්තයේ පැවති ලෝක කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ අනුජ් රාවට් විසිනි. ඔහු ඉන්දියාවේ පැවැත්වෙන දේශීය මට්ටමේ ක්‍රිකට් තරගාවලි වන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි ඉහළ මට්ටමේ දේශීය ක්‍රිකට් තරගාවලි නියෝජන කළ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු තරගාවලිය පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය.

“අපිට හොඳ ක්‍රිකට් තරගයක් දීලා මේ තරගාවලිය හොඳින් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද අපට ඉතාමත් හොඳ අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉන්නවා. පෙරේදා NCC පිටියේ තිබ්බ පුහුණු තරගයේ දී අපේ කණ්ඩායම හොඳ පුහුණුවක් ලබාගත්තා.”

එසේම මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය යොවුන් සංචිතය හිටපු ඉන්දීය ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර් ද ඇතුළත්ව සිටීම සුවිශේෂී වේ.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගය පසුගිය 13 හා 14 යන දෙදින පුරාවට කොළඹ NCC පිටියේ පැවැත්වුණු අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සංචිත

ශ්‍රී ලංකාව – නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නිශාන් මධුෂ්ක (මොරටු මහා විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කලණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (රාජකීය විද්‍යාලය කොළඹ), කමිල් මිශාර (රාජකීය විද්‍යාලය කොළඹ), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යලය), දුනිත් වෙල්ලාලගේ  (කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය), පුබුදු බණ්ඩාර (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), නවෝද්‍ය විජේකුමාර (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), කල්හාර සේනාරත්න (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), ශසික දුල්ෂාන් (මාතර සාන්ත සර්වේසස විද්‍යාලය), නවීන් නිර්මාල් ප්‍රනාන්දු (මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්: චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), විජයකාන්ත් වීශ්වකාන්ති (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), සොනාල් දිනූශ (මහානාම විද්‍යාලය), ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය)

 

ඉන්දියාව – අනුජ් රාවට් (නායක), ආර්යන් ජුවාල් (උප නායක), හර්ෂ් ත්‍යාගි, සිද්දාර්ත් දේසායි, මොහිට් ජන්ග්‍රා, අයුෂ් බදෝනි, අර්ජුන් ටෙන්ඩුල්කාර්, පවන් ශා, සමීර් චවුද්රි, නීල් වේඩර්,  යටින් මාන්ග්වානි, අත්‍රව් ටයිඩ්, ආකාශ් පාණ්ඩ්‍යා, දෙව්දුත් පඩික්කල්, යශ් රතෝඩ්, ඩබ්. වී. රාමන් (පුහුණුකරු)

තරග කාලසටහන
  • පළමු ටෙස්ට් තරගය – ජූලි 17/18/19/20 – NCC ක්‍රීඩා පිටිය
  • දෙවන ටෙස්ට් තරගය  – ජූලි 24/25/26/27 – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
  • පළමු එක්දින තරගය – ජූලි 30  – කොළඹ පී. සරා ඕවල්
  • දෙවන එක්දින තරගය – අගෝස්තු 2  – SSC ක්‍රීඩාංගණය
  • තෙවන එක්දින තරගය – අගෝස්තු 5 – SSC  ක්‍රීඩාංගණය
  • සිව්වන තරගය – අගෝස්තු 7 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය
  • පස්වන එක්දින තරගය – අගෝස්තු 10 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<