ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි

1325

වාර්තා කිහිපයක් අලුත් කරමින් පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වූ නමුත් දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 34කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (12) සමත් විය.

එම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූයේ ඉන්දීය කණ්ඩායමට පැහැදිලි පීඩනයක් හා අභියෝගයක් එල්ල කරමිනි.

>>වසර 33කට පසු ශ්‍රී ලංකා යෞවනයෝ ඉතිහාසය අලුත් කරයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එ්රන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගත් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

එ්රන් ෆින්ච් හා ඇලෙක්ස් කෙරී යන දෙදෙනාම ඕස්ට්‍රේලියානු ලකුණු සටහන ලකුණු 41ක් ලෙස දැක්වෙද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. එවැනි අසීරු තත්වයක තිබුණු ඕස්ට්‍රේලියානු ඉනිම ඔසවා තැබූ පීටර් හෑන්ඩ්ස්කොම්බ් (ලකුණු 73), උස්මාන් කවාජා (ලකුණු 59) සහ ෂෝන් මාෂ් (ලකුණු 54) තිදෙනා අර්ධ ශතක ඉනිම් රැස් කිරීමට සමත් විය.

ඔවුන් තිදෙනා අතරින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  හෑන්ඩ්ස්කොම්බ් 4 පහර 6ක් හා 6 පහර දෙකක් සමඟ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. අවසන් පන්දුවාර කිහිපය තුල මාක්ස් ස්ටෝනිස් නොදැවී ලකුණු 47*ක් රැස්කර ගත්තේ පන්දු 43ක් තුලයි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක කුලදීප් යාදෙව් හා මද වේගපන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වූහ.

ලකුණු 289ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ මුල්පෙළ ක්‍රීඩකයින් වන ශිකර් ධවාන් (0), අම්බති රයිදු (0) හා විරාත් කෝලී (3) කඩුලු ලකුණු 4ක් තුළ දී දැවී ගියේය.  

අනතුරුව නැවතත් ඉන්දීය එක්දින කණ්ඩායම හා එකතු වූ දකුණතින් පිතිකරණයේ නිරත වන මහේන්ද්‍ර සිං දෝනි (51) සමඟ එක්වූ රෝහිත් ශර්මා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ශතක සම්බන්ධතාව ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු තරමක් අභියෝගයට ලක්කරන්නට සමත් විය.

>>කමිල් මිෂාරගෙන් අගනා ශතකයක්

ඉන්දීය ඉනිමේ ආරම්භයේ සිටම සුපිරි පිතිකරණයක නිරත වූ දකුණතින් පිතිකරණයේ නිරත වන රෝහිත් ශර්මා පන්දු 129කට මුහුණ දෙමින් ලකුණු 133ක් ලබා ගත් අතර ඔහුට ආරම්භයේ දී අනෙක් අන්තයෙන් නිසි සහායක් ලැබුණා නම් තරගයේ අවසන් ප්‍රතිඵලය  මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. කෙසේ නමුත් අවසානයේ ඒ සඳහා තරමක් දුරකට හෝ සහාය වූයේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක දෝනි පමණි.

ඕස්ට්‍රේලියානු ලකුණු සටහන කඩුලු 3කට 141ක්ව තිබිය දී පළමු වතාවට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් ජේසන් බර්නොෆ්ගේ පන්දුවක් හමුවේ දෝනි කඩුල්ල මුවා කළේ යැයි විනිසුරුවරයා තීරණය කළේය. එය නැවත විමසීම සඳහා අවස්ථා ඉතිරිව නොතිබීම හේතුවෙන් දෝනි විනිසුරු තීරණයට හිස නමිමින් ආපසු ක්‍රීඩාගාරයට ගිය ද පසුව රූපවාහිනී පුනරූපන වලින් හෙළිවූයේ පන්දුව පා ඉන්නෙන් ඉවත පතිත වන බවයි. ක්‍රිකට් නීති පොතට අනුව එය දැවී යාමක් නොවේ.

>>තිසර විස්සයි විස්ස පළමු පහ ඇතුළට; මාලිංග හා රාජිතත් ඉදිරියට

ඊයේ දිනයේ දී සිය 333 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 10,000 සීමාව පසු කළ කඩුලු රකින පිතිකරුවෙක් වන මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 කඩඉම පසුකළ පස්වැනි පිතිකරුවා බවට පත්විය.

අවසානයේ ඉන්දීය පිතිකරුවන් හට නියමිත පන්දුවාර 50 නිමාවෙද්දී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචර්ඩ්සන්  ලකුණු 26කට ඉන්දීය ඉනිමේ ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

ඉතිහාසයේ පළමු වතාවට සිය මව්බිමේ දී ම ඉන්දියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියක පරාජයක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ මේ තරගය ජය ගැනීමට පෙර ක්‍රීඩා කළ අවසන් එක්දින ක්‍රිකට් තරග 24න් ජයග්‍රහණය කොට තිබුණේ තරග 3ක් පමණි.

ඕස්ට්‍රේලියාව – 288/5 (50): පීටර් හෑන්ඩ්ස්කොම්බ් 73, උස්මාන් කවාජා 59, ශෝන් මාෂ් 54, කුලදීප් යාදෙව් 2/54, බුවනේශ්වර් කුමාර් 2/66.

ඉන්දියාව – 254/9 (50): රෝහිත් ශර්මා 133, මහේන්ද්‍ර සිං දෝනි 51, ජේ රිචර්ඩ්සන් 4/26,  

තරගයේ වීරයා – ජේ රිචර්ඩ්සන් (ඕස්ට්‍රේලියාව)

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (15) ඇඩිලේඩි හිදී පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<