“ඉන්දියාවට සත්කාරකත්වය තහනම්” – අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව

1192

ඉන්දියාව විසින් ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීම සඳහා යොමු කෙරෙන සියලු අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කොට ඇත. දිල්ලියේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියකට සහභාගී වීමට සිටි පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකුට වීසා ලබා නොදීම ඊට හේතුවයි.

වෙඩි තැබීමේ ලෝක ශූරතා තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතව තිබිණි. ඊට සහභාගී වීමට වීසා අයැදුම් කරන ලද පාකිස්තාන වෙඩි තබන්නන් දෙදෙනෙකුට වීසා ලබා නොදීමට ඉන්දියානු බලධාරීන් විසින් තීරණය කෙරෙන ලද්දේ පසුගිය දා කාශ්මීරයේ දී සිදු වූ අන්තවාදී වෙඩි තැබීමකින් ඉන්දියානු හමුදා සෙබළුන් 40 දෙනෙකු පමණ මියයාමෙන් පසුවයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නීති රීති වලට අනුව දේශපාලනය හා සම්බන්ධ කරුණු හේතුවෙන් ක්‍රීඩකයෙකුට වීසා පහසුකම් නොසැපයීම සිදු කළ නොහැක්කකි. එය ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරුද්ධ බවයි ඔවුන් පවසන්නේ.

අප විසින් මේ සිද්ධිය දැනගෙන, ඒ පිළිබඳව ඉන්දියානු බලධාරීන් සමඟ තදින් සාකච්ඡා කිරීමෙන් පසුවත් පාකිස්තානු ක්‍රීඩකයන්ට ඉන්දියාවට ඇතුල් වීමට අවශ්‍ය විසඳුමක් ලබා දී නැහැ” ඔලිම්පික් කමිටුව එසේ නිවේදනයක් නිකුත් කොට තිබේ.

එහි ප්‍රතිඵලයක් හැටියට, ඉදිරියේ දී ඉන්දියානු ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ අනාගත තරගාවලි වල සත්කාරකත්වය ලබාගැනීම සඳහා කෙරෙන සියලු සාකච්ඡා අවලංගු කොට තිබෙනවා.” එහි තවදුරටත් සඳහන් විය.

ඉන්දියානු ඔලිම්පික් කමිටුවේ සැලසුම් වලට අනුව 2026 යොවුන් ඔලිම්පික් උළෙලත්, 2030 ආසියානු ක්‍රීඩා උළෙලත්, 2032 ඔලිම්පික් උළෙලත් ඉන්දියාවට ලබාගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටියි.

අපි ගොඩක් උත්සාහ කළත් අවසානයේ දී ඒක (වීසා සැපයීම) අයිති රජයටයි. මේක රටේ ක්‍රීඩා අනාගතයට අනතුරුදායක තත්වයක්.” ඉන්දියානු ඔලිම්පික් සංගමයේ ලේකම් රජීව් මෙහ්තා විසින් Press Trust India වෙත පවසා තිබිණි.

ඉන්දියාවේ තරගාවලි පැවැත්වීමට පමණක් නොවෙයි, අපේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරගාවලි වලට යැවීමටත් මෙය ගැටලුවක් විය හැකියි. එය ඔලිම්පික් ප්‍රඥප්තියට අනුව දුෂණයක් සහ රටේම ප්‍රතිරූපයට කැළලක්.” ඔහු තවදුරටත් පවසා තිබිණි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<