’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

2114

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව කන තබාගෙන, එසේත් නැත්නම් රූපවාහිනී වෙළඳසැල් අසල නැවතී එකිනෙකාගේ කරවල් උඩින් ක්‍රිකට් බැලූ, ක්‍රිකට් ආඝ්‍රාණය කළ, ක්‍රිකට් වැළඳ ගෙන සිටි, 90 දශකයේ පැරණි ක්‍රිකට් රසිකයන්ට ය.

ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 70ක් ගතවන කල දී ශ්‍රී ලංකා සමාජය ලද පැහැදිලි ප්‍රගතියක් නොමැති වුවද, පරාජයේ අමිහිරි මතකයන් පසෙකලා ශ්‍රී ලංකා ක්‍රිකට් මරණයෙන් නැගිටීමෙන් පසු ඔවුන් සහභාගී වන පළමු 20-20 ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයකි. එයද “නිදහස් කුසලානය” නම් වීම සිතට සතුටක් ගෙන එන්නේ මන්දැයි කිවහැකිය.

1997 නිදහස් කුසලානය නමින් පළමුව එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයයි. ඒ 50 වැනි ඉන්දියානු නිදහස් දින උළෙල සනිටුහන් කරමිනි. 1998 වසරේ දී ශ්‍රී ලංකාව ද තම 50 වැනි නිදහස් දිනය සමරනු ලැබීය. එබැවින් “නිදහස් කුසලානය” විශේෂ තරගාවලියකි.

තරගාවලිය පැවැත්වුණේ සිව්කොන් තරගාවලියක් ලෙසයි. ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ නවසීලන්තය යන කණ්ඩායම් සහභාගී විය. බංගලාදේශය නැත්තේ ඇයි දැයි 90 දශකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නම් විමසන්නේ නැත. මන්ද යත්, එකල බංගලාදේශය දෙවන පෙළින් නැගී එන කණ්ඩායමක් වූ බැවිනි.

ඉන්දියානු කණ්ඩායමේ නායකයා 24 හැවිරිදි සචින් ටෙන්ඩුල්කාර් ය. ශ්‍රී ලංකා නායකත්වය එවක ලෝක ශූර නායක, 33 හැවිරිදි අර්ජුන රණතුංගටත්, පාකිස්තානු නායකත්වය රමීස් රාජා හටත්, ස්ටීවන් ෆ්ලෙමින්ග් හට නවසීලන්ත නායකත්වයත් හිමිව තිබුණි. ශ්‍රී ලංකාව එවකට එක්දින පිටියේ සිටි සටන්කාමීම ක්‍රිකට් කණ්ඩායමයි. එපමණක් නොව ඔවුන් ලෝක ශූරයන්.

සියලු කණ්ඩායම්වල නිල ඇඳුම් විශේෂ මෝස්තරයකට නිර්මාණය කොට තිබිණි. එය එකල වෙනස් මෝස්තරයක් විය. නිල ඇඳුම්වලින් වර්ණවත් වූ තරගාවලිය, ක්‍රීඩා දස්කම් අතින් ද අතිශය වර්ණවත් එකක් විය. එවකට ලෝක ශූර ශ්‍රී ලංකාවට තරගාවලිය කෙසේ වී ද?

@mugup.info – සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් නිදහස් කුසලානයේදී
@ytimg.com – සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු නිදහස් කුසලානයේදී

පළමු තරගය පැවැත්වුණේ චන්දිගාර් හිදීයි. දඟපන්දු හමුවේ දුර්වලතාවයක් දක්වන කණ්ඩායමක් වශයෙන් ප්‍රකට නවසීලන්ත කණ්ඩායම මෙහි දී පාකිස්තානයට එරෙහිව ලකුණු 285ක් රැස්කළේ කඩුලු 7ක් පමණක් දැවෙමින්. එහි දී නේදන් ඇස්ටල් ලකුණු 117ක් වාර්තා කළේ පන්දු 132කදී යි. නවසීලන්ත ප්‍රහාරයෙන් පුදුමයට පත්වූ පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 263ක් ලබා ගන්නා විට ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසන්ව තිබිණි.

@ytimg.com – නවසීලන්තයේ ප්‍රබලයෙක්

තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාවේ පළමු තරගයයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පෙර තරගයේ දී පරාජිත පාකිස්තානු කණ්ඩායමයි. පාකිස්තානය වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරු ෂහීඩ් අෆ්රිඩි පන්දු 29ක දී ලකුණු 52ක් රැස්කළ අතර සෑම පාකිස්තානු පිතිකරුවෙකුම පාහේ පාකිස්තානු ඉනිමට දායකත්වය සැපයීය. ඔවුන්ගේ ඉනිම අවසන් වුනේ කඩුලු 6කට ලකුණු 289ක් වශයෙනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සජීව ද සිල්වා කඩුලු 3ක් දවා ගත්තේය.

@ytimg.com – ඒ ප්‍රවේගකාරී අෆ්රිඩි නැගී ආ යුගයයි

ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 3ම ලකුණු 25ක් තුළ දැවිණි. පසුව අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග එක්විය. වේගවත් ලකුණු 33ක් රැස්කොට අරවින්ද දැවී ගිය අතර ලකුණු 58ක් ලබාගත් අර්ජුන ද දැවී යද්දී ශ්‍රී ලංකාවේ අවස්ථාවන් සීමා සහිත විය. රොෂාන් මහානාම ලකුණු 54ක් ලබා ගනිමින් පසුපෙළ සිට උත්සාහයක් දැරුව ද ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩකයන් ලකුණු 259ක් තුළ දැවී ගියේය.

සජීව, අද බැංකු නිලධාරියෙකි

තෙවැනි තරගයේ දී නවසීලන්තය පරදවා ඉන්දියානුවන් පහසු ජයක් ලැබීය. සිව්වැනි තරගයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැටුණේය. සව්රව් ගංගුලි, සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ද්‍රාවිඩ්, විනෝද් කම්බ්ලි ආදී ඉන්දියානු පිතිකරුවන් නිසි පරිදි දමනය කර ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ව ලකුණු 225/7කට සීමා කළේය. සජීව ද සිල්වා යළිත් කඩුලු 3ක් දවා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 226ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන් ලකුණු හරි අඩකටත් වඩා වාර්තා කරන්නට සනත් ජයසූරිය සමත් වූයේ ඉන්දියානු පන්දු යවන්නන් දුහුවිල්ලකට මායිම් නොකරමිනි.

ජයසූරියගේ තනි සංදර්ශනය

සනත් පන්දු 120ක් තුළ ලකුණු 151ක් නොදැවී රැස්කළේය. වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් කිසිවක් අවශ්‍ය නොවිණි. පන්දු ඕවර 40ක් තුළ නියමිත ඉලක්කය පසුකර යන්නට ශ්‍රී ලංකාව සමත් විය. එහි දී සනත් විසින් පසුකර යනු ලැබුවේ අරවින්ද ද සිල්වා විසින් වාර්තා කොට තිබූ, ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඉනිමක දී වාර්තා කළ වැඩිම එක්දින ලකුණු (145) ප්‍රමාණයයි.  

මීළඟ තරගය ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ තරගයකි. නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු එහි දී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 214ක් රැස්කළේය. එහි දී සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු (41) ආරම්භක පිතිකරුවන් වූයේ රොමේෂ් කළුවිතාරණගේ අසාර්ථකත්වය හේතුවෙනි. එහෙත් “කලූ” 7 වැනි පිතිකරු වශයෙන් පැමිණ පන්දු 36ක් තුළ දී ලකුණු 44ක් රැස්කළේය. රොෂාන් මහානාම ද ලකුණු 41ක් රැස්කළේය.

@thuppahi.files.wordpress.com – “කලූ” කොතැන හිටියත් උද්‍යෝගිමත් ය

සුළු ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා දඟපන්දු බල ඇණිය හමුවේ අසරණ විය. මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය යන සිව්දෙනාම කඩුලු 2 බැගින් දවා ගත්තේය. චමින්ද වාස් සහ සජීව ද සිල්වා ද කඩුල්ල බැගින් දවා ගත්තේය. ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. ඒත් සමඟින් අවසන් මහා තරගයේ අසුන් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මීළඟ තරගය ඉන්දියානු පාකිස්තානු තරගයකි. එහි උද්‍යෝගය ඔබට අලුත් නැතැයි සිතමි. පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 327ක් රැස්කරන්නට පාකිස්තානුවන් සමත් විය. සයිඩ් අන්වර් විසින් එවකට එක්දින ඉනිමක දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු වාර්තා කරන්නට එහි දී සමත් විය. පන්දු 146ක් තුළ දී ඔහු විසින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 194කි.

im.rediff.com – සයීඩ් අන්වර් වර්තමානයෙන් අමතකව ගිය පිතිකරුවෙක් ද?

පිළිතුරු ඉනිමේ දී ඉන්දියානුවන් හොඳ උත්සාහයක නිරත විය. රාහුල් ද්‍රාවිඩ් ශතකයක් ද වාර්තා කළේය. එහෙත් ලකුණු 292කට සියලු ඉන්දියානු පිතිකරුවන් දැවී යාම හේතුවෙන් පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරග දෙකකින් (Best of 2) තරගාවලියේ ශූරයන් තීරණය විය. පළමු අවසන් මහා තරගයේ දී මුලින්ම පිතිකරණයේ යෙදුණු ශ්‍රී ලංකා පිතිකරුවන් පාකිස්තානයේ බලාපොරොත්තු සුන් කළේය. සනත් නැවතත් පන්දු 67ක් තුළ ලකුණු 96ක් රැස්කළ අතර මාවන් විසින් 53ක්ද, අරවින්ද සහ අර්ජුන අතින් පිළිවෙළින් ලකුණු 90 සහ 80 බැගින් ද වාර්තා විය.

සනත්ට ශතකය අහිමි වූයේ ලකුණු 4කිනි

පාකිස්තානු ඉනිම සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ලකුණු 224ක් තුළ ඔවුන් සියලු දෙනාම දැවී ගියේ සජීව ද සිල්වා නැවතත් කඩුලු 3ක් වාර්තා කරද්දීයි. ඒ අනුව අවසන් මහා තරග ද්විත්වයෙන් පළමුවැන්න ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දෙවැනි අවසන් මහා තරගයේ දී ද ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකාවයි. තරගයේ මුල දී ම පාකිස්තානුවන් අසරණ කළ සනත් විසින් අර්ධ ශතකයකුත්, අරවින්ද සහ අර්ජුන විසින් අර්ධ ශතක දෙකකුත් වාර්තා විය. ශ්‍රී ලංකාව වාර්තා කළ මුළු ලකුණු සංඛ්‍යාව 309කි. පළමු අවසන් මහා තරගයේ දී මෙන්ම පාකිස්තානුවන් ලකුණු 224කට දැවුණි. මෙහි දී කඩුලු 3ක් වාර්තා කළේ මුත්තයියා මුරලිදරන් ය.

ඉන්දියානුවන් නිදහස සැමරීම වෙනුවෙන් පැවති තරගාවලිය අවසානයේ “ශූරතා සැමරීම” ශ්‍රී ලාංකිකයන් සතුවිය. සනත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

@m.rediff.com – ජයග්‍රාහී 1997 ශ්‍රී ලංකා කණ්ඩායම

මෙවර “නිදහස් කුසලාන” තරගාවලිය පවත්වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ මෙරට 70 වැනි නිදහස් සැමරුම හේතුකොට ගෙන ය. එහෙත් තරගාවලිය පැවැත්වෙන්නේ 20-20 තරගාවලියක් වශයෙනි. සෑම කණ්ඩායමක්ම, සෑම කණ්ඩායමක් සමඟම දෙවරක් තරග වදිනු ඇත. ඉන් වැඩිම ජයග්‍රහණ ලබන්නන් අවසන් මහා තරගයට එක්වේ. අවාසනාවන්ත පරිදි පාකිස්තානය මෙවර තරගාවලියට නැත. ඒ ඉන්දියානුවන්ගේ පෙරැත්තය නිසා දැයි සැකයක් ඇතත් ඒ ගැන කනගාටු වනවාට වඩා නැවත නැගිටිමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු නැරඹීම සතුටුදායක ය.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ක්‍රීඩා නොකරන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 විශේෂඥ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයි. මෙවර පාකිස්තානයේ හිඩැස පුරවනු ලබන්නේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම විසිනි. මේ වන විට ඔවුන් දුර්වල කණ්ඩායමක් නොවේ.

තරගාවලිය එළඹෙන 06 වැනිදා ඇරඹෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයෙනි. ශ්‍රී ලංකාවට නැවතත් තම සටහන තැබිය හැකි ද? සියලු පුවත් ThePapare.com ඔස්සේ.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<