ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් මතක ඔස්සේ – විශිෂ්ට ටෙස්ට් සබඳතා

652
Incredible innings against India during test matches

එදා මෙදාතුර ක්‍රිකට් කරළියේ සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කළ රටවල් රැසක් හඳුනාගත හැකි වුවද ඒ අතුරින් ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් බිහි කිරීමේ සුවිශේෂී ගුණාංගය සතු වූයේ කණ්ඩායම් කිහිපයකට පමණි. ඒ අතුරින් ඉදිරියෙන්ම නම් සඳහන් වන කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ඊට පෙරාතුව දෙරට අතර පැවති ටෙස්ට් තරගවල දී කණ්ඩායම් දෙක දැක්වූ අතීත දක්ෂතාවන් පිළිබඳ තොරතුරු සොයා යන අප අවධානය යොමු කරන්නේ අසල්වැසි ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් ගොඩනගා තිබෙන සුපිරි ටෙස්ට් සබඳතාවයන් කිහිපයක් වෙතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් මතක මග ඔස්සේ – හොඳම පන්දු යැවීම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. අසල්වාසී ප්‍රතිවාදීන්ට එරෙහිව ටෙස්ට් තරග ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාවෙන්…

  1. සනත් ජයසූරිය – රොෂාන් මහානාම (ලකුණු 576)

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිළේ ඉහළම ටෙස්ට් සබඳතාවය වාර්තා වූ මෙම තරගය ආකාර කිහිපයකින්ම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් විය. අද වන විට ලොව ක්‍රිකට් පුරාවෘත්තයක් බවට පත්ව සිටින සුපිරි පිතිකරු මහේල ජයවර්ධනයන්ගේ ටෙස්ට් ආගමනය ද වාර්තා වූයේ මෙම තරගයත් සමඟිනි.

Sanath-Jayasuriya-Roshan-Mahanama-Partnership-Record-211009මීට හරියටම වසර 20කට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ අර්ජුන රණතුංගටයි. එවකට ලෝක ශූරයින් වශයෙන් වැජඹුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල සටනක් දීම සඳහා සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ද සැදී පැහැදී සිටියේය.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 537ක් ලබා සිටිය දී උජාරුවෙන් තම ඉනිම අත්හිට වූයේ ශ්‍රී ලංකාව අඩු ලකුණකට දවා ගනිමින් තරගය ජය ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම එක් කළ ලකුණු 576ත් සමඟින් ඉන්දියානුවන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු සියල්ලම බොඳවී ගියේය. ඉන්දියානු පමණක් නොව සමස්ත ලෝකවාසී ක්‍රිකට් ප්‍රේමීන් අමන්දානන්දයට පත්කළ මෙම සබඳතාවය එවකට ලොව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුණු දැවැන්තම සබඳතාවය බවට ද පත්විය. ඊට පෙර එම සබඳතාවයට උරුමකම් කියූවේ නවසීලන්ත ක්‍රීඩකයින් දෙපළක් වන මාර්ටින් ක්‍රෝ සහ ඇන්ඩෘ ජෝන්ස් විසිනි. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවම ලකුණු 467ක සබඳතාවයක් පිහිටුවමිනි.

එම වාර්තාව බිඳ දමමින් ක්‍රිකට් ලෝකයේ “සුණුවිසුණු කරන්නා” ලෙසින් විරුදාවලි ලබා සිටි සනත් ජයසූරිය තම විශිෂ්ට ඉනිම නිමා කළේ ලකුණු 340ක්ම තනිවම ලබා ගනිමින්ය. ඔහුගේ මෙම යෝධ ඉනිම හතරේ පහර 36කින් සහ හයේ පහර 2කින් බල ගැන්විණි. ඔහුගේ සහායකයා බවට පත්වූ රොෂාන් මහානාම අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිස ලකුණු 225ක් ලබා ගත්තේය. ඒ මනරම් හතරේ පහර 27ක් සමඟිනි. ඉන්දියානුවන්ට අතිශයින්ම වෙහෙසකර දින කිහිපයක්ම අවසානයේ මෙම සුපිරි සබඳතාවය බිඳ දැමීමට ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ සමත්කම් දැක්වීය.

කෙසේ වෙතත් ඒ වන විටත් ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් විසින් රැස්කළ දැවැන්තම ලකුණු සංඛ්‍යාව ද ශ්‍රී ලාංකිකයන්ට හිමි වීම සඳහා පදනම සැකසී තිබුණි. සුපිරි පිතිකරු අරවින්ද සිල්වාගේ ශතකයත්, අර්ජුන සහ මහේල ලබාගත් අර්ධ ශතක දෙකත් නිසා එම අභියෝගය ඉතාමත් පහසුවෙන් සැබෑවක් බවට පත්කර ගැනීමට ද මෙම තරගයේ දී ම අවස්ථාව උදා විය. ඒ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 952ක් රැස්කර ගනිමිනි. ශ්‍රී ලංකා පිළ මෙම තරගයේ දී තවත් ලකුණු 48ක් ලබා ගත්තා නම්, එම ලකුණු සංඛ්‍යාව සටහන් කිරීමට ලකුණු පුවරුවේ ඉඩකඩ මදිවීමට ද ඉඩ තිබුණි. ඒ ඩිජිටල් ලකුණු පුවරු නොතිබූ එකල ශ්‍රී ලංකාව සතුවූයේ කවුළු 3කින් පමණක් සමන්විත අතින් ක්‍රියා කරවන පැරණි ආකාරයේ ලකුණු පුවරු වන බැවිනි!

ඒ වන විට ක්‍රිකට් ලොව මහා බලවතා බවට පත්ව සිටි ඕස්ට්‍රේලියානුවන් දණ ගස්වා ලෝක ක්‍රිකට් කිරුළ හිස පළඳා ගෙන සිට ශ්‍රී ලංකා පිළේ මෙම සුපිරි දක්ෂතාවය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් ද පවසා සිටියේ ලෝක ශූරයින් සමඟ ක්‍රිකට් පිටියේ පොර ඇල්ලීම කිසිසේත්ම පහසු නොවන බවයි. කෙසේ වෙතත් එවකට ආශ්චර්යමත් සිදුවීමක් ලෙස සැලකුණු මෙම සුපිරි සබඳතාවය ඊට වසර 9කට පසුව 2006 වර්ෂයේ දී ම තවත් සාඩම්බර ශ්‍රී ලාංකික පුතණුවන් දෙදෙනෙකු අතින් බිඳ වැටුණි. ඒ මහේල ජයවර්ධන (374) සහ කුමාර් සංගක්කාර (287) දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලකුණු 624ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගීමත් සමඟයි.

  1. මහේල ජයවර්ධන – ප්‍රසන්න ජයවර්ධන (ලකුණු 351)

2009 වසරේ අග භාගයේ දී ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද් හිදී පැවති මෙම තරගය ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ තවමත් රැඳී ඇතුවාට සැකයක් නැත. ඒ ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමිය තුල දී ම විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ දී සමත් වූ බැවිනි.

ඉන්දීය කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් රැස් කර ගත් ලකුණු 426 නිසා දැඩි පීඩනයක් ශ්‍රී ලංකාව දෙසට එල්ල වූවත් එවකට ශ්‍රී ලංකා ටෙස්ට් මැදපෙළ හෙබවූ ජයවර්ධන යුගලය නිසා තරගය පූර්ණ ගෞරව සමඟින් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය.

Australia v Sri Lanka - Third Test: Day 3මෙම තරගයේ දී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් පවා ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වූ අතර එබැවින් ජයවර්ධන යුගලය පිටියේ එක්වන විටත් ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 375ක් ලබාගෙන ස්ථාවර මට්ටමක පසුවිය. ඉන්දියානුවන්ගේ නළලත රැළි ගැන්වෙන්නේ ඉන් අනතුරුව මහේල සහ ප්‍රසන්න අතරේ ගොඩ නැගෙන ලකුණු 351ක අති දැවැන්ත සබඳතාවයත් සමඟිනි. තම අනර්ඝ ටෙස්ට් ඉනිම් රාශිය අතරට තවත් එක් ද්විත්ව ශතකයක් එක්කළ මහේල ජයවර්ධන එදින ලබාගත් ලකුණු සංඛ්‍යාව 275කි. ඒ ඔහුටම අනන්‍ය වූ දැකුම්කළු හතරේ පහර 27ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

ඉන්දීය ප්‍රේක්ෂකයින් දස දහස් ගණනක් ඉදිරියේ විශාල පීඩනයක් මැද තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ප්‍රසන්න ජයවර්ධන ද නොදැවී ලකුණු 154ක් වාර්තා කිරීමට සමත් විය. ඒ හතරේ පහර 11ක් සමඟයි. මෙම සුපිරි සබඳතාවයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා පළමු ඉනිම අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 760ක් බවට පත්වෙද්දී තම ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායම නැවත වරක් පිතිකරණය සඳහා කැඳවීමට ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පියවර ගත්තේය. කෙසේ වෙතත් තම මව්බිමේ දී පරාජය භාර ගැනීමට දැඩි අකමැත්තක් දැක්වූ ඉන්දීය පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 412ක් රැස්කර ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් විය.

  1. අරවින්ද ද සිල්වා – සනත් ජයසූරිය (ලකුණු 218)

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි පිතිකරණ දක්ෂතා ප්‍රකට වූ 1997 වර්ෂයේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර දී මෙම ඓතිහාසික සබඳතාවය ද බිහි විය. එම තරගාවලියේම පළමු ටෙස්ට් තරගයේ දී රොෂාන් මහානාම හා එක්ව ලොවක් පුදුම කළ සනත් ජයසූරියගේ මෙවර පිතිකරණ සඟයා බවට පත්වූයේ දකුණත් පිතිකරු අරවින්ද ද සිල්වායි. විශේෂයෙන්ම පළමු තරගයේ දී ඇතිවූ අවමානය මකා ගනිමින් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අභිබවා ගොස් තිබිය දී මොවුන් දෙදෙනා අතරේ ගොඩ නැගුණු තීරණාත්මක ද්විත්ව ශතක සබඳතාවය නිසා තරගය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව උදා විය.

Aravindaපළමු ඉනිමේ ලකුණු 43ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අර්ධ ශතකයකින් හෝ සහයෝගයක් ලබා දීමට වෙනත් කිසිදු පිතිකරුවෙකුට අවස්ථාව උදා නොවීය. ජයසූරිය සහ අරවින්ද අතරේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක සබඳතාවයක් බිහිවන්නේ එවන් වටපිටාවක් තුලයි. එහි දී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 199ක් ලබාගත් අතර ප්‍රේක්ෂක ජය ඝෝෂා මධ්‍යයේ ද්විත්ව ශතකය වාර්තා කිරීමට උත්සාහ දැරූ ඔහුගේ කඩුල්ල අබේ කුරුවිල්ලාගේ වේගපන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස බිඳ වැටුණු අයුරු ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතී. ජයසූරියගේ සුපිරි ඉනිම කස පහර වැනි වේගවත් හතරේ පහර 21කින් සහ අති දැවැන්ත හයේ පහර 2කින් සමන්විත විය.

ජයසූරියට අනගි සහයක් ලබා දුන් අරවින්ද ද සිල්වා තම පිතිකරණ කෞෂල්‍යය මැනවින් විදහා දක්වමින් ලකුණු 120ක් රැස්කර ගත්තේය. ඒ අලංකාර හතරේ පහර 13ක් සමඟිනි. මෙම පිතිකරුවන් දෙදෙනාගේ තනි දක්ෂතාවය නිසාම කඩුලු 7ක් දැවී ලකුණු 415ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 281ක් රැස්කර ගැනීමත් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

  1. රෝයි ඩයස් – දුලිප් මෙන්ඩිස් (ලකුණු 216)

Roy Dias1985 තරම් ඈත අතීතයට ඇදී යන මෙම සබඳතාවය නිසා තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම තරග 1 – 0ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. කොළඹ දී පැවති ටෙස්ට් තරග දෙකෙන් එකක් ජය ගෙන අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා මහනුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට එහි දී ඉන්දියානු පන්දු යවන්නන් හමුවේ මුහුණ පෑමට සිදු වූයේ බලවත් අසීරුතාවකටයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 376ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළේ පළමු කඩුලු 3 ලකුණු 34ක් තුල බිඳ වැටුණු බැවිනි.

කෙසේ වෙතත් එවකට ශ්‍රී ලංකාව සතු වූ සුපිරිම ක්‍රිකට් තරු දෙකක් වන දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස්ගේ සටන්කාමී පිතිකරණය නිසා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු බොඳවී ගියේය. දකුණත් පිතිකරු දුලිප් මෙන්ඩිස් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් රැස් කළේය. එවකට සිටි ඉතාමත් අපූරු ක්‍රිකට් පහරවල් රැසක හිමිකරුවකු වූ රෝයි ඩයස් ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 106ක් වාර්තා කළේය. ඒ හතරේ පහර 17ක් සමඟිනි. මෙම විශිෂ්ට පිතිකරුවන් දෙදෙනාගේ ලකුණු 216ක සබඳතාවය නිසා කඩුලු 7කට ලකුණු 307ක් ලබා ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

  1. හෂාන් තිලකරත්න – තිලාන් සමරවීර (ලකුණු 194*)

2001 වසරේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යනු දෙරට අතර අතිශය උණුසුම් ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණු වර්ෂයකි. එහි දී පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවත් දෙවැනි තරගයේ දී කඩුලු 7ක ජයක් තහවුරු කර ගනිමින් ටෙස්ට් තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයට ගෙන එන්නට ඉන්දියානු කණ්ඩායම සමත් විය. එවන් වටපිටාවක් යටතේ තරගාවලි ජයග්‍රහණය ස්ථිර කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ජය ගත යුතුව තිබූ තෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා දුන්නේ හෂාන් සහ තිලාන් අතර ගොඩ නැගුණු මෙම ලකුණු 194ක නොබිඳුනු සබඳතාවයයි.

hashanමුල් ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම එහි දී ලකුණු 234කට දැවී ගිය අතර පිළිතුරු ඉනිමේ දී මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ශතක දෙකක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට සවිමත් අත්තිවාරමක් දමා දුන්හ. ඒ ඔස්සේ ශ්‍රී ලංකා පිළට තවදුරටත් ශක්තිය ආරෝපණය කළ හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර සත්වැනි කඩුල්ල වෙනුවෙන් මෙම අගනා සබඳතාවය ගොඩ නගන්නේ ඉන්දීය කණ්ඩායම තව තවත් අසරණ කරමිනි.

එහි දී හෂාන් තිලකරත්නගේ පිත්තෙන් ශ්‍රී ලංකා පිළට හතරේ පහර 16ක් සමඟින් ලකුණු 136ක් එක්වූ අතර එවකට නම් දැරූ ටෙස්ට් පිතිකරුවෙකු බවට පත්ව නොසිටි තිලාන් සමරවීර ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය. ඒ මනරම් හතරේ පහර 10ක් සමඟිනි. මෙම සුපිරි දක්ෂතා නිසා ශ්‍රී ලංකා පිළට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 610ක් රැස්කර ගැනීමේ අවස්ථාව ද උදා විය. ඒ අනුව ඉන්දීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 376ක් ඉදිරියෙන් සිටිමින් තම ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකාව ඉන්දීය පිතිකරුවන් ලකුණු 299කට සීමා කරමින් ඉනිමක සහ ලකුණු 77ක සුපිරි ජයක් අත්පත් කර ගත්හ.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<