දුනු විදින්නන් නිසා කැම්බල් පිටිය දින 3කට කාර්යබහුලයි

251

අභිනවයෙන් පැවැත්වෙන කොළඹ විවෘත දුනු විදීමේ තරගාවලිය අද (22) දින සිට 3ක් පුරාවට කැම්බල් පාක් හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහි දී ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ දුනු විදින්නන් තරගාවලියේ අභිනව ශූරයා සහ ශූරිය ලෙස කිරුළු පැළඳීමේ අරමුණින් තරග බිමට පිවිසෙනු ඇත.

Shuttle Time වැඩසටහනෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට තල්ලුවක්

මෙරට පළාත් බැඩ්මින්ටන් සම්මේලන වල සහාය ….

තුරඟ තරග දුනු විදීමේ සමාජය සහ ‘Sagittarians’ දුනු විදීමේ සමාජය එක්ව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා ‘WiaWis’, ‘Promate’ සහ ‘Hellibees’ සමාගම් ද අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා තරගකරුවන් සහ තරගකාරිනියන් 160කට අධික සංඛ්‍යාවක් කාන්තා සහ පිරිමි තරග අංශ යටතේ වයස අවුරුදු 10, 12, 14, 16 සහ 18න් පහළ තරග ඉසව් ඔස්සේ හා අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවෘත සහ වයස අවුරුදු 40ට අධික තරග ඉසව් ඔස්සේ තරග වදිනු ඇත. මෙහි වයස අවුරුදු 40ට අධික තරග ඉසව්ව පමණක් මිශ්‍ර තරග ඉසව්වක් ලෙස පැවැත්වෙන අතර අනෙකුත් සියලුම තරග ඉසව් සියල්ලම පැවැත්වෙන්නේ කාන්තා සහ පිරිමි තරග අංශ ද්විත්වය යටතේ ය.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් දිවයින පුරා දුනු විදීමේ ක්‍රීඩාව මේ වන විට ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන අතර විශේෂයෙන් මෙතෝදිස්ත විද්‍යාලය, සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, ආසියානු ජාත්‍යන්තර පාසැල, සාන්ත තෝමස් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය වැනි පාසල් මේ කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීමට ද යොමුව ඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සූදානම් මෙම තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.

මෙම අභිනව කොළඹ විවෘත දුනු විදීමේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් අඩවිය ThePapare.com සූදානමින්. තරගාවලියේ ඡායාරූප, ප්‍රතිඵල සහ තවත් විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<