පන්දු යවන්නෝ “ෆේල්” නම් පුහුණුකරුවෝ “පාස්‌ද”?

600
Angelo Mathews

“කණා මුට්‌ටි” ගසන්නට පොල්ල අතට ගන්නාක්‌ මෙන්ම පන්දුව අතට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිව ගොස්‌ කඩුල්ලට පන්දුව එල්ල කරයි. ඒ පන්දුවේ දෝලනය හෝ ඉලක්‌කය අයාලේ යන බව දැනගත් ප්‍රතිවාදී පිතිකරුවෝ ඔවුන්ට අවශ්‍ය ඉලක්‌කය පහසුවෙන්ම ඒ පන්දු ඉදිරියේ ළඟා කර ගනියි. අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා පිතිකරුවෝ සම්මාන ලබමින් සමත් වෙද්දී පන්දු යෑවීමේ විෂය “ෆේල්” වීමෙන් විභාගයම අසමත්වීමය. වසර පහකට පසුව එංගලන්තය හමුවේ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්‌ පරාජය වීමට ශ්‍රී ලංකාවට බලපෑවේද පන්දු යෑවීමේ දුර්වලතාවයයි.

පිතිකරුවෝ “ෆේල්” වන විට පන්දු යවන්නන්ට බේරීමට කිසිදු මගක්‌ නැත. එහෙත් පිතිකරුවෝ සාර්ථක වී ලකුණු ඇති තරම් උපයා තිබියදී පන්දු යවන්නෝ තමාගේ වැඩේ අනුන් ලවා කර ගන්නට උත්සහ කරන්නාක්‌ මෙන් දැක්‌වූ නීරස ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකාවේ පරාජයට පාර කැපීය.

පසුගිය ලිපි: හඹා යාමේ අසාර්ථකත්වය

එංගලන්තය සමග පැවැති පළමු එක්‌දින තරගයේ ජයග්‍රහණයේ අඩක්‌ම ශ්‍රී ලංකාවේ “පොකැට්‌ටුවට” වැටී තිබියදී අවසන් පන්දු දෙකට අවශ්‍ය ලකුණු 10 න් නවයක්‌ම ලබාගත් එංගලන්ත පිතිකරුවෝ තරගය සම කළහ. එහි පස්‌වැනි පන්දුවට එංගලන්ත පිතිකරුවන්ට තිබූ ලකුණු දෙක තුන කිරීමට තරම් ශ්‍රී ලංකා පන්දු රකින්නෝ නීරස ක්‍රීඩා විලාශයක්‌ දැක්‌වූහ. එම තරගය පුරාම පන්දු රැකීම නීරස වෙද්දී පන්දු යවන්නෝ පළමු පන්දුවාර විස්‌ස කදිමට පාලනය කරමින් එංගලන්තයේ කඩුලු හයක්‌ම ඉවත් කර දැමූහ. එහෙත් ඒ ලැබූ සාමාර්ථය අවසන් පන්දුවාර තිහේදී රැක ගැනීමට නොහැකි වීමෙන් අතේ තිබූ ජය සමසේ බෙදා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

දෙවැනි එක්‌දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 249 ක ඉලක්‌කයක්‌ එංගලන්තයට ලබාදුන්නේය. නමුත් එම ඉලක්‌කය එංගලන්තය කිසිවකු නොදැවී ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තර්ජනය ගැන සැමටම වැටහීමක්‌ ලබා දෙමිනි. එහෙත් ඒ වැටහීම ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවන් තෝරන “චොයිස්‌” න්‍යායට නොවැටහීම ක්‍රිකට්‌වල කරුමයක්‌ ලෙස අපි හඳුන්වමු. සිව්වැනි එක්‌දින තරගයේදී පන්දු 252 කදී එංගලන්තයට හිමිවූ ලකුණු 306 ක ඉලක්‌කය තවත් පන්දු 11 ක්‌ සහ කඩුලු හයක්‌ ඉතිරිව තිබියදී ලබා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. දැන් ඉතින් පන්දු යවන්නෝ “ෆේල්” නිසා තරගාවලිය පරාජය වුවා යෑයි කියන්නට වේග පන්දු පුහුණුකරු හෝ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවන් ඉදිරිපත් වේවිද?

පසුගිය ලිපි: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ උපක්‍රමශීලිත්වයද මෙම තරගාවලියේදී කදිමට පිළබිඹු වූවාදැයි සැක සහිතය. ඔහු සටන්කාමී චරිතයකි. නමුත් නායකයකු යනු ඊටත් එහා ගිය “උප්පරවැට්‌ටිකාරයකු” විය යුතුය. “මගෙන් කණ්‌ඩායමට මෙලෝ දෙයක්‌ වෙන්නෙ නැහැ කියල හැමෝම කියනවා. නමුත් මම කරන දේ හැමෝටම කරන්න බැහැ. ඒකයි මම කණ්‌ඩායමේ නායකයා වෙලා මේ අනිත් කට්‌ටියව හසුරුවන්නෙ. නැත්තම් කොහොමද අපි ලෝක කුසලාන දිනන්නේ.” යනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සමී විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව පවසා සිටියේය. ඔහු පන්දුවෙනුත් පිත්තෙනුත් අසාර්ථකය. නමුත් නායකයකු ලෙස සමත්ය. නමුත් මැතිව්ස්‌ පන්දුවත් පිත්තත් එක ලෙස සමබරව ඔසවා තබා ගැනීමට රුසියෙකි. නමුත් නායකයකු ලෙස ඔහු තවත් දියුණු විය යුතු යෑයි මෙම තරගාවලියෙන් පසක්‌ විය.

නායකයකු යනු ප්‍රතිවාදී පිතිකරුවා ගහන පහර සහ ඔහුගේ දුර්වලතාව පිළිබඳව මනා වැටහීමක්‌ ඇති අයකු විය යුතුය. ප්‍රතිවාදීන්ව මෙල්ල කළ හැකි තුරුම්පු මොනවාද කියා කල් ඇතිව ලක ලැහැස්‌ති වී සටනට පිවිසීම නායකයාගේ කර මත පැටවී ඇති වගකීමයි. ටෙස්‌ට්‌ තරගවලට උචිත ඇතැම් වේග පන්දු යවන්නෝ එක්‌දින තරගවලට ක්‍රීඩා කරති. එක්‌දින තරගවලට සුදුසු පන්දු යවන්නෝ බංකුවෙනුත් හැලෙති. මේ න්‍යාය ක්‍රියාත්මක වීම අවසානයේදී පරාජයට අතවැනීමකි.

පසුගිය ලිපි: දුර්වල පන්දු රෝයි රෑට් හට ජය මඟ පාදයි

වේග පන්දු යවන්නන්ට උචිත එංගලන්ත තණතීරුවල ආරක්‌ෂා කර ගැනීමට හැකි ලකුණු සංඛ්‍යාවක්‌ තිබියදීත් පන්දු යවන්නෝ මොටවීනම් එයට හේතුව පරාජයෙන් පසුව විමර්ශනය කරන්නේද යන්න අපි නොදනිමු.

තවත් මාස දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට දඟ පන්දු යවන්නන්ට උචිත ශ්‍රී ලංකා තණතීරුවලදී පදම්වීමට දැන්ම වැඩ අරඹා තිබේ. ඔවුන්ගේ පිතිකරණ උපදේශකයා ලෙස ශ්‍රී ලංකා තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් තිලාන් සමරවීර තෝරාගෙන තිබේ. සමරවීර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ නවකයන්ට දග පන්දු යවන්නන්ටම විශේෂිත වූ ස්‌ථානයක පන්දු යවමින් රැකියාවේ නියෑලෙති. සමරවීර ඒ කටයුත්තට අදක්‌ෂ නම් ඔහුව ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ නැත. ඒ අනූව සුදුස්‌සා තෝරා ගැනීමේ ක්‍රමවේදයද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් ගිලිහී ගොස්‌ ඇති බවක්‌ දිස්‌වේ.

ඕනෑම තරගාවලියකදී අසාර්ථක ක්‍රීඩකයා එළියේ තැබීම සාමාන්‍ය දෙයකි. නමුත් අසාර්ථක පුහුණුකරුවා එළියෙ තබන්නේ කලාතුරකිනි. එම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ටද ස්‌ථිර රැකියාවක්‌ හිමිව තිබේ. නමුත් එය ජයග්‍රහණයට කොතරම් වලංගු යන්න සොයා බැලිය යුතුය. දැන් බෝලස්‌ලා ෆේල් නම් පුහුණූකරුවෝ පාස්‌ද යන පැනය මතුව තිබේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න