චමරි – ශෂිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

87

ළඟ ළඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන නව බලාපොරොත්තුවක් ඇති කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (18) ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. ඒ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී පැවති ලෝක කුසලාන පෙර පුහුණු තරගයක් අතරතුරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නගා සිටුවීම සඳහා අපරිමිත මෙහෙයක් ඉටු කරමින් සිටින චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන යන සුපිරි ක්‍රීඩිකාවන් දෙදෙනා අද ජයග්‍රහණය පසුපස සිටි මහ පොදු සාධක බවට පත්විය.

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු ………..

එංගලන්ත කණ්ඩායම කාසියේ වාසිය ජය ගැනීමත් සමඟ අද තරගය ආරම්භ වූ අතර මුලින් පිතිකරණය තෝරා ගනිමින් ඔවුන් උත්සාහ කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අත දිගහැර පහර දීමටයි.

ගෙවුණු මෑත අතීතය සැලකිල්ලට ගැනීමේ දී දෙරට අතර නිමා වූ තරගවල ප්‍රතිඵල දෙස බැලීමේ දී ඔවුන් ඒ ආකාරයෙන් සිතා සිටීම ද අරුමයක් ලෙස සිතිය නොහැක. නමුත් අද එංගලන්ත පිතිකරණ බල ඇණියට “මරු පහරක්” එල්ල කළ ශෂිකලා සිරිවර්ධන තම දකුණත් පිට දඟපන්දුවෙන් සුදු පිතිකාරිණියන් අන්දමන්ද කළේ එංගලන්තයට එරෙහි පළමු වෙඩි මුරය නිකුත් කරමිනි.

ඉන්පසු කණ්ඩායමේ සිටින අනෙක් පරිණත ක්‍රීඩිකාව වන චමරි අතපත්තු ද මෙම සාදය වර්ණවත් කිරීම සඳහා එක්වුනේ ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලමිනි. එංගලන්ත පිළේ නැංගුරම බඳුවූ, අත්දැකීම් සහිත ක්‍රීඩිකා ටැමී බියුමොන්ට් ද චමරිගේ දකුණත් මද වේගපන්දුව හමුවේ කඩුල්ල බිඳ ගත්තාය. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම නම කියවෙන කණ්ඩායමකට එරෙහිව වචනයේ පරිසමාප්ත අරුතින්ම “විශිෂ්ට පන්දු යැවීමක” යෙදුණු ශෂිකලා සිරිවර්ධන අද ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තාය.

දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින ……

මීට අමතරව අමා කාන්චනා සහ කවීෂා දිල්හාරි “දුවද්දී දැවී යාම් දෙකක්” ලබා ගැනීමට හවුල් වූ අතර කඩුලු 9ක් දැවී ගිය එංගලන්තයට අවසානයේ සිදු වූයේ අත දිගහැර පහර දීමට නොව යන්තම් ලකුණු 122ක් ලබා ගැනීමටයි. 

එහි දී කිසිදු පිතිකාරිණියක් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා නොකළ අතර ඇමී ජෝන්ස් සහ ටැමී බියුමොන්ට් ලකුණු 23 බැගින් වාර්තා කර ගත්හ.

සාමාන්‍යයෙන් විස්සයි විස්ස තරගයක ලකුණු 123ක් යනු තරගයක් දිය හැකි ලකුණක් වුවද අද “ධනාත්මක චින්තනයෙන්” ඔද වැඩුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම අභියෝගය තඹයකට මායිම් ක‍ළේ නැත. ඒ තම කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ලබා නොදෙමින් පන්දුවාර 12.3ක් තුලදී මෙම ලකුණු සංඛ්‍යාව හඹා යමිනි. තම ක්‍රීඩා දිවියේ මෙවන් අවාසිදායක අවස්ථා ගණනාවකට මුහුණ දී ඇති එංගලන්ත පිළ ද මෙම අසාමාන්‍ය ප්‍රහාරය හමුවේ සම්පූර්ණයෙන්ම නිරුත්තර වූ බව පැහැදිලි විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට තිලිණ වූ අග්‍රගණ්‍ය සම්පතක් ලෙස සැලකිය හැකි චමරි අතපත්තු අද මෙම හඹා යාමේ වීරවරිය ලෙසින් පන්දු 50ක දී නොදැවී ලකුණු 78ක් ලබා ගත්තාය. 

දුටුවන් ඇස් පිනවන මෙම “දරුණු ප්‍රහාරයට” අලංකාර හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. ඇයට අනගි සහයක් ලබා දුන් හසිනි පෙරේරා අනෙක් අන්තයේ නොදැවී සිටිමින් පන්දු 25ක දී ලකුණු 29ක් ලබා ගත්තාය. ඒ හතරේ පහර 4ක් එල්ල කරමිනි.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්!

නුදුරේදීම ඇරඹෙන උණුසුම් තරගාවලියක් ගැන ඉඟි පළ කරමින් සංචාරක ……….

මේ අනුව පුහුණු තරග අතරතුර නවසීලන්ත කාන්තා කණ්ඩායම ද පරාජය කර සිටි එංගලන්තයට අද ශ්‍රී ලංකාව ඉදිරියේ කඩුලු 10ක අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු විය. ඒ වෙනුවෙන් වසර ගණනක, අවස්ථාවන් ගණනාවක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලොව ඉහළ තැනකට ඔසවා තබන්නට තම ශ්‍රමය වැය කළ චමරි අතපත්තු – ශෂිකලා සිරිවර්ධන යන සුපිරි ක්‍රීඩිකාවන් ද්විත්වයට අප “තවත් එක් වතාවක්” ස්තූතිවන්ත විය යුතුය.

එංගලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 122 (පන්දුවාර 20): ඇමී ජෝන්ස් 23, ටැමී බියුමොන්ට් 23, හීතර් නයිට් 19, ෆ්‍රෑන් විල්සන් 18, සොෆී එක්ලෙස්ටන් 16, ශශිකලා සිරිවර්ධන 4/22, චමරි අතපත්තු 3/21.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 123 (පන්දුවාර 12.3): චමරි අතපත්තු 78*, හසිනි පෙරේරා 29*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<