ශ්‍රී ලංකා යෞවනයන්ගේ අර්ධ අවසන් පූර්ව සිහිනය බිඳ වැටෙයි

890

මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම ඉටු කරන්නට යළිත් අසමත් වීමත් සමඟ ලෝක කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ගමන අවසන් කරන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද සිදු විය. ඒ නවසීලන්තයේ වැන්ගරී හී පකිස්ථානය සමඟ පැවති පළමු වටයේ තරගය කඩුලු 3කින් පරාජය වීමත් සමඟයි.

යොවුන් ක්‍රීඩකයෙකු නැවතත් දිවයිනට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්තය බලා පිටත් ගිය..

තරගයේ කාසියේ වාසිය දින ගත් පාකිස්තානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තොර ගත්තේ තණතිල්ලේ පන්දු යවන්නන් හට ඇති සහය උපරිමයෙන් භාවිත කිරීමේ අරමුණ ඇතිවයි. ඔහුගේ අරමුණට අතිශය සාධාරණයක් ඉටු කළ ආරම්භක පන්දු යවන්නන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට රිසි සේ ලකුණු රස කිරීමට ඉඩ ලබා දුන්නේ නැත. පන්දු 11කට මුහුණ දී ඉන් පන්දු 10ක්ම නිලකුණු පන්දු බවට පත් කර ගත් නිපුන් ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්වී තිබුණේ ලකුණු 6ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් අවසන් වන විට මුල් පෙළ පිතිකරුවන්ගෙන් හරි අඩක් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට පකිස්තානු යෞවනයන් සමත් වී තිබූ අතර ඔවුන් ලබා දී තිබුණේ ලකුණු 80ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබූ අගාධයෙන් ගොඩ ගත්තේ අශේන් බණ්ඩාර සමඟින් එක් වූ ජෙහාන් ඩැනියල් විසිනුයි. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල සඳහා ලකුණු 76ක සබඳතාවක් ගොඩ නගන්නට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ එකම අර්ධ ශතකය වාර්තා කළ ජෙහාන් ලකුණු 53ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟිනුයි. අශේන් ලකුණු 37ක් ලබා ගන්නා ලදි.

කෙසේ වෙතත් මෙම සබඳතාව බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම යළිත් ගොඩ නගන්නට කිසිවෙකු සමත් වූයේ නැත. පසුපෙළ පිතිකරුවන් තිදෙනා ලකුණු 20ක් තුල දැවී ගිය පසු ශ්‍රී ලංකා ඉනිම සටහන් වුනේ පන්දුවාර 48යි පන්දු 2ක දී සියල්ලන් දැවී ලකුණු 188ක් ලෙසින්.

එතරම් තර්ජනාත්මක නොවූ ඉලක්කයක් ප්‍රතිවාදීන් හට ලබා දී තිබුණ ද, සටනකින් තොරව තරගය අත් හැර දැමීමට අකමැති වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම්තාක් දුරකට පකිස්තානු පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත් විය. ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ තිසරු රශ්මික ආක්‍රමණශීලීව ද, නිපුන් මාලිංග මනා පාලනයකින් යුතුව ද පන්දු යැවූ අතර මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 57ක් වෙද්දී බිඳ වැටී තිබුණි.

අලී සර්යබ් අසිෆ් සහ මොහොමඩ් ටහා එක්ව අර්ධ ශතක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ස්ථාවර කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ද වරින් වර දවා ගත් කඩුලු හේතුවෙන් තරගයේ රැඳී සිටින්නට සමත් විය. කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන්ගෙන් ලද අනගි දායකත්වය හේතුවෙන් ජයග්‍රාහී ඉලක්කය වෙත සුරැකිව ගමන් කරන්නට පකිස්තානු යෞවනයන් සමත් වුනේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් ද වෙන් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම – පන්දුවාර 48.2ක දී සියල්ලන් දැවී ලකුණු 188 : ජෙහාන් ඩැනියල් 53, අශේන් බණ්ඩාර 37, සුලෙයිමන් ශාෆ්කට් 3/29, ශහීන් ශා අෆ්රිඩි 2/41

පාකිස්තාන 19න් පහළ කණ්ඩායම – පන්දුවාර 43යි පන්දු 3ක දී – 190/7 ‍: අලී සර්යබ් අසිෆ් 59, මුහම්මද් සයීඩ් අලාම් 28, හසන් ඛාන් 24*, මොහොමඩ් ටහා 24, තිසරු රශ්මික 3/47

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<