යොවුන් ලෝක කුසලානයේ තරග කාල සටහන නිකුත් වෙයි

2023
ICC U19 Cricket World Cup 2018

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේදී නවසීලන්තය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා වන තරග කාල සටහන බ්‍රහස්පතින්දා (17) නිකුත් කරන ලදී.

තරගාවලියේ ආරම්භයම ඉතාමත් රසවත් කරමින් ගියවර ලෝක ශූරතාවය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ මෙවර සත්කාරකයින් වශයෙන් කටයුතු කරන නවසීලන්ත කණ්ඩායම පළමු තරගයේ දීම හමුවීමට නියමිතයි. ඒ ජනවාරි 13 වැනිදා ටෝරන්ගා හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන A කාණ්ඩයේ දිවා රාත්‍රී තරගයක් ලෙසයි. කණ්ඩායම් 16ක් සහභාගි වන මෙම දැවැන්ත තරගාවලිය පෙබරවාරි මස 3 වැනිදා දක්වා නගර 4ක ඇති ක්‍රීඩාංගණ 7කදී ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සැකසෙමින් පවතී. ක්‍රයිස්චර්ච්, ක්වීන්ස්ටවුන්, ටෝරන්ගා සහ වන්ගරෙයි එම නගර සතරයි.

ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය මෑතකදී ඇතුළත් කිරීමට පෙර සිටම තිබූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 10ට මෙවර තරගාවලියට නිතරගයෙන්ම සහභාගි වීමේ අවස්ථාව හිමිවන අතර, ගියවර තරගාවලියේ හොඳම හවුල්කාර කණ්ඩායම (Best Associate Team) බවට පත්වූ නැමීබියා කණ්ඩායමට ද මෙම වරප්‍රසාදය හිමිවේ. ඔවුන් සමඟින් තවත් කණ්ඩායම් 5ක් කලාපීය වශයෙන් වසර 2කට වරක් ද්වීපාර්ශවිකව පැවැත්වෙන තරගාවලියකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

A කාණ්ඩය යටතේ තරග වදින අනෙක් කණ්ඩායම් අතරට, 2012 වර්ෂයේ දී කුසලානය දිනාගත් දකුණු අප්‍රිකාව සහ අප්‍රිකානු කලාපයෙන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම වන කෙන්යාව එක්වෙයි. ඒ හැරුණුකොට B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට තෙවරක් ශූරතාවය දිනාගත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැගෙනහිර ආසියා පැසිෆික් රාජ්‍යයක් වන පැපුවා නිව් ගිනියා සැදී පැහැදී සිටියි.

බංගලාදේශය, කැනඩාව, එංගලන්තය සහ නැමීබියාව C කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන අතර, දෙවරක් යොවුන් ලෝක කුසලානයේ පහස විඳගත් පාකිස්තානය, ශ්‍රී ලංකාව, ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගත් ඇෆ්ගනිස්තානය සහ යුරෝපයෙන් සුදුසුකම් ලබාගත් අයර්ලන්තය මෙවර D කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතරට එක්වී ඇත. මෙවර ICC යොවුන් ලෝක කුසලානයක් පැවැත්වෙන 11 වැනි වතාව මෙන්ම නවසීලන්තය ඒ සඳහා සත්කාරකත්වය දරන තෙවැනි වතාව ලෙස ද ඉතිහාසයට එක්වේ.

සෑම කාණ්ඩයකම මුල් ස්ථාන ද්විත්වය හිමිකර ගන්නා කණ්ඩායම් 2 බැගින් සුපිරි ලීග් වටය සඳහා පිවිසෙන අතර ඉතිරි කණ්ඩායම් 8ට පළඟ ශූරතාවය සඳහා ක්‍රීඩා කිරීමට මෙවර අවකාශ හිමිවේ. අර්ධ අවසන් පූර්ව තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය ඇතුළු සුපිරි ලීග් වටයේ සමස්ථ තරග 20ක් මෙවර සජීවීව විකාශනය කිරීමට ද සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 3 වැනිදා ටෝරන්ගා හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අවසන් පූර්ව වටයේ තරග ක්‍රයිස්චර්ච් හි හයිලි ඕවල් ක්‍රීඩාංගණයේ දී ජනවාරි 29 සහ 30 යන දිනයන් දෙකේදී පැවැත්වෙනු ඇත.

පළඟ ශූරතාවයේ තරග ප්‍රධාන තරගාවලිය සමඟින්ම පැවැත්වීමට නියමිතව ඇති නමුත් එහි අවසන් මහා තරගය ද ජනවාරි 28 වැනිදා බර්ට් සට්ක්ලිෆ් හිදී පවත්වා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිළේ තරග කාල සටහන

ජනවාරි 14 – ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ අයර්ලන්ත 19න් පහළ කණ්ඩායම – වන්ගරෙයි ක්‍රීඩාංගණය

ජනවාරි 17 – ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායම – වන්ගරෙයි ක්‍රීඩාංගණය

ජනවාරි 19 – ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන 19න් පහළ කණ්ඩායම – වන්ගරෙයි ක්‍රීඩාංගණය

>> සම්පූර්ණ තරග කාල සටහන මෙතනින් නරඹන්න.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට