මම පිළිගන්නවා එතන යම් වැරැද්දක් වුනා කියලා – කුමාර් ධර්මසේන

1092
ICC praised

පසුගිය ජූලි 7 වැනිදා නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තවමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක්ව ඇත. ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන මතක කීපයක්ම එක් කළ මෙම තරගාවලිය නිමා වූයේ වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම තරග අවසානය සනිටුහන් කරමිනි. 

එංගලන්තය තම පළමු ලෝක කුසලානයේ පහස විඳ ගත් අතර යම් මතභේදාත්මක විනිසුරු තීරණ කීපයක් ගැන වඩාත් අවධානය යොමුව ඇත. ඉන් එක් තීරණයක් ලෝක කුසලානයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් කල බව බොහෝ දෙනාගේ මතයයි. 

කෙසේ වෙතත් එංගලන්තයට වාසිදායක වූ මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන තම හඬ අවදි කර තිබුණේ Sunday Times පුවත්පත සමඟිනි. 

දුෂ්ටයා වීරයා වෙයි!

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දහස් ගණනක් නවසීලන්ත හදවත් බිඳිමින්…

“ඕන කෙනෙක්ට TV එකෙන් බලලා මේ තීරණය ගැන කියන්න ලේසියි. මම නැවත විකාශයන් බලද්දී එකඟ වෙනවා එතන යම් වැරැද්දක් වුනා කියලා. ඒත් අපිට ඒ වෙලාවේ නැවත විකාශනයක් බලන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ. මම කවදාවත් ඒ තීරණය පිළිබඳව පසුතැවිලි වෙන්නේ නෑ. ඒ වෙලාවේ මම ගත්ත තීරණයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රශංසා කළා.” 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කුමාර් ධර්මසේන පවසා සිටියා. 

අවසන් තරගයේ එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ දී එංගලන්තයට ජයග්‍රහණය සඳහා පන්දු තුනක දී ලකුණු 9ක් අවශ්‍යව තිබූ අතට බෙන් ස්ටෝක්ස් එල්ල කළ පහර හතරේ සීමාව ආසන්නයේ දී රැක ගත් මාටින් ගප්ටිල් නැවත පන්දුව එල්ල කිරීමේ දී එය බෙන් ස්ටෝක්ස්ගේ පිත්තෙහි වැදී හතරේ සීමාව වෙත යාම නිසා එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළේය. (overthrow හතරේ පහර හා පිතිකරුවන් විසින් ලබා ගත් ලකුණු 2) එම තීරණය එංගලන්තයට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට විශාල දායකත්වයක් සැපයීය. 

“මට නීතිමය අවසරයක් නෑ එම අවස්ථාවේ දී තුන්වැනි විනිසුරුවන්ගේ සහය ලබා ගැනීමට එහි දී දැවී යාමක් සිදු නොවුනු නිසා. ඒක නිසා මම අනෙක් විනිසුරු මරාස් ඉරාස්මස්ට කතා කරා. ඒ සන්නිවේදන උපකරණයෙන්. ඒක අනෙක් විනිසුරුවන්ට වගේම තරග තීරකටත් ඇහුණා. ඒ වෙලාවේ නැවත බැලීමක් කළ නොහැකි නිසා ඔවුන් සියලු දෙනාම පැවසුවා පිතිකරුවන් ඒ වන විට ලකුණු දෙකක් සම්පූර්ණ කළා කියලා. ඒ වෙලාවේ තමයි මම තීරණය ගත්තේ. ” 

ස්ටොක්ස්ට මහ රැජිනගෙන් ගෞරව නාමයක්

එංගලන්තයේ ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් ඔවුන්ට පළමු වතාවට ලෝක කුසලාන..

මෙසේ overthrow වන අවස්ථාවන් පිළිබඳව නීති අංක 19.8 යටතේ සඳහන් කර ඇති අතර එහි දක්වා ඇත්තේ “පන්දු ‍රකින්නන්ගේ යම් අතපසුවීමක් නිසාවෙන් පන්දුව හතරේ සීමාවට ගියහොත් ලබාගන්නා ලකුණු දඬුවම් ලකුණු ලෙස එකතු වන අතර එහි දී හතරේ සීමාව පසුකර ගිය පන්දුවට අදාළ ලකුණු හා පිතිකරුවන් විසින් ඒ වන විට සම්පූර්ණ කර තිබූ ලකුණු (අදාල අත්වැරදීම සිදුවන විට ඔවුන් සම්පූර්ණ කර තිබූ ලකුණු) ඔවුන්ට හිමි විය යුතුය.” ලෙසයි. 

එම සිදුවීමට අදාළ රූපවාහිනී දර්ශන නැරඹීමේ දී පන්දුව නැවත එල්ල කරන අවස්ථාවේ දී බෙන් ස්ටෝක්ස් හා අදිල් රශීඩ් එකිනෙකා පසුකර නොතිබූ බව පෙනේ. එම නිසා එම අවස්ථාවේ දී නීතියට අනුව ලබා දිය යුතුව තිබුනේ ලකුණු 6ක් නොව ලකුණු 5ක් වේ. 

“මේ වගේ දේවල් ක්‍රීඩාවේ දී සිදු වෙනවා. සමහර වෙලාවට විනිසුරුවන් වයිඩ් පන්දුවක් හෝ නිපන්දුවන් දෙන එකක් රූපවාහිනී දර්ශන බැලුවම එහෙම නෑ වෙන්න පුළුවන්. නමුත් අපිට ආපස්සට ගිහින් තරගය වෙනස් කරන්න බෑ. මේකත් ඒ වගේ සිදුවීමක්.” 

කුමාර් ධර්මසේන පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙකේ දී ම අවසන් තරගය සඳහා විනිසුරුවෙකු ලෙස එක්ව ඇති අතර ඔහු 2018 වසරේ ‘වසරේ විනිසුරුවරයා’ ලෙස ද සම්මානයට පාත්‍රවිය. 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<