එක්දින ක්‍රිකට් ලෝක කුසලාන පුරාණය-1

564
කවරයේ ඡායාරූපය-ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් (The guardian)

ක්‍රිකට් තරග නරඹන ඕනෑම ක්‍රිකට්ලෝලියෙකු, ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් නරඹන ක්‍රිකට් තරගාවලි අතරින් “එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට” ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.

1971 වසරේ මුල්ම එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වීමෙන් වසර 4කට පසුව එනම් 1975 වසරේ දී පළමු එක්දින ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී පැවැත්විය. Prudential නම් සමාගම මුල්ම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා අනුග්‍රහය ලබා දීම හේතුවෙන් එම තරගාවලිය Prudential ලෝක කුසලාන තරගාවලිය ලෙස නම් කරන ලදි.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව හා පකිස්තානය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටවල් ලෙස තරගාවලියට එක්වූ අතර ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාව ආරාධිත රටවල් ලෙස තරගාවලිය සඳහා එක්විය. මෙලෙස තරගාවලිය සඳහා එක්වූ රටවල් 8 කාණ්ඩ දෙකක් යටතේ වෙන්කර තිබූ අතර එහි දී A කාණ්ඩය යටතේ එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව හා නැගෙනහිර අප්‍රිකාව ද, B කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා පකිස්තානය තරග වැදුණේය.

තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටිමින් (gettyimages)

පළමු දිනයේ පැවති  තරගවල තොරතුරු

1975 වසරේ ජුනි 7 වන දින තරගාවලිය ආරම්භ වූ අතර එහි දී පළමු දිනයේ තරග 4ක් පැවැත්විය. ඒ අනුව A කාණ්ඩය යටතේ එංගලන්තය හා ඉන්දියාව ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ තරග වදින විට නවසීලන්තය හා නැගෙනහිර අප්‍රිකාව බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී තරග වැදුණි. A කාණ්ඩයට වඩා තරමක් තරගකාරී කාණ්ඩයක් වූ B කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව හා පකිස්තානය හෙඩිංග්ලිහිදී තරග වැදුණු අතර ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් මැංචෙස්ටර් නුවර ඕල්ට්‍රැෆර්ඩ් පිටියේ දී තරග වැදුණි.

එංගලන්තයට ලකුණු 202ක ජයක්

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තරගයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින්ම  පන්දුවට පහර දුන් අතර එහි දී ඔවුන් ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවකින් තොරව පන්දුවට පහර එල්ල කළ අතර නියමිත පන්දුවාර 60 තුල ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තේය.

එංගලන්ත ඉනිම ශක්තිමත් කළ ඩෙනිස් ඒම්ස් පන්දු 147කින් ලකුණු 137ක්, කීත් ෆ්ලෙචර් පන්දු 107කින් ලකුණු 68ක් හා ක්‍රිස් ඕල්ඩ් පන්දු 30කින් වේගවත් ලකුණු 51ක් ලබා ගත්තේය.

මෙහි දී දරුණු ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය වමත් මද වේගපන්දු යවන්නෙකු වූ කිර්සාන් ගෞරිගේ පන්දුවාර 11 තුල ලකුණු 83ක් උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් විය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 60ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ගුන්දප්පා විශ්වනාත් පන්දු 59කින් ලකුණු 37ක් ලබා ගත් අතර සුනිල් ගවස්කාර් පන්දු 174කින් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් විය. අවසානයේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 202කින් ජයග්‍රහණය කළ මෙම තරගයේ වීරයා ලෙස ඩෙනිස් ඒම්ස් සම්මාන ලැබීය.

නවසීලන්තයට ලකුණු 181ක ජයක්

නවසීලන්තය හා නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායම් අතර පැවති තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ග්ලේන් ටර්නර් පන්දු 201කින් නොදැවී ලබා ගත් ලකුණු 171ත්, ජෝන් පාකර් පන්දු 68කින් ලබා ගත් වේගවත් ලකුණු 66ත් නිසා නියමිත පන්දුවාර 60 තුල කඩුලු 5ක් දැවී ලකුණු 309ක් ලබා ගත්තේය.

අනතුරුව ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැගෙනහිර අප්‍රිකානු පිලට ඩේල් හැඩ්ලි 21/3ක් හා හැඩ්ලි හොවාර්ත් 29/3ක් ලෙස පන්දුවෙන් දස්කම් දැක්වීම නිසා නියමිත පන්දුවාර 60 තුල ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 128ක් පමණි. ඒ අනුව මෙම තරගය ලකුණු 181කින් නවසීලන්තය ජයග්‍රහණය කළ අතර තරගයේ වීරයා ලෙස ග්ලේන් ටර්නර් සම්මාන ලැබීය.

ඕස්ට්‍රේලියාවට ලකුණු 73ක ජයක්

පළමු දිනයේ පැවති තියුණුම තරගය වූ ඕස්ට්‍රේලියා-පකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහාර දුන් අතර එහි දී රොස් එඩ්වඩ්ස් පන්දු 94කින් ලබාගත් ලකුණු 80 නිසා නියමිත පන්දුවාර 60 තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබාගත් අතර පකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නසීර් මලික් ලකුණු 37කට කඩුලු 2ක් හා ඉම්රාන් ඛාන් ලකුණු 44කට කඩුලු 2ක් ලබා ගත්තේය.

අනතුරුව ලකුණු 279ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තානු කණ්ඩායම එනුවෙන් මජිඩ් ඛාන් පන්දු 76කින් ලකුණු 65ක් හා නායක අසීෆ් ඉක්බාල් පන්දු 95කින් ලකුණු 53ක් ලබා ගත්ත ද එය පකිස්තානු පිල ජයග්‍රහණය කරා ගෙන යාමට ප්‍රමාණවත් නොවූ අතර ඕස්ට්‍රේලියානු පිලේ ඩෙනිස් ලිලී ලකුණු 34කට ලබා ගත් කඩුලු 5 නිසා අසරණ වූ පකිස්තානු කණ්ඩායම අවසානයේ දී පන්දුවාර 53ක් තුල ලකුණු 205කට සීමා වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 73ක ජයක් උරුමකර දෙමිනි. ඉතාම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත් ඩෙනිස් ලිලී මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ඩි රොබට්ස්, බර්නාඩ් ජූලියන් හා කීත් බොයිස් යන කොදෙව් වේගපන්දු යවන්නන් තිදෙනා ඉදිරියේ අන්ත අසරණ වූ අතර ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 8ම ලකුණු 48ක් තුල දැවී ගියේය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිලේ ගෞරවය යම් තරමකට හෝ ආරක්ෂා කරමින් අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි සෝමචන්ද්‍ර ද සිල්වා පන්දු 54කින් ලබා ගත් ලකුණු 21 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37.2ක දී සියලුම පිතිකරුවන් දැවී යන විට ලකුණු 86ක් ලබා ගැනීමට හැකි විය.

ශ්‍රීලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ බර්නාඩ් ජූලියන් 20/4ක්, කීත් බොයිස් 22/3 හා ඇන්ඩි රොබට්ස් 16/2ක් ලෙසින් කඩුලු ලබා ගත්හ. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 20.4ක් තුල කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 87ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර බර්නාඩ් ජූලියන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

මෙම තරගවල සිදු වූ විශේෂ සිදුවීම්

ඉහත සඳහන් කළ තරගවල දී සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හා එම සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මුල්ම ලෝක කුසලාන ශතක ලාභියා ඩෙනිස් ඒම්ස්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම ශතක ලාභියා වීමේ වාසනාව උදාකරගත් ක්‍රීඩකයා ලෙස ඩෙනිස් ඒම්ස් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවට පහර දෙමින් එංගලන්තයේ ඩෙනිස් ඒම්ස් ඉතිහාසගත විය.

ලෝක කුසලාන තරගාවලියේ පළමු දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු 147කින් හතරේ පහර 18ක් සමඟ ලකුණු 137ක් ලබා ගැනීමට ඒම්ස් සමත් විය. ඒම්ස්ගේ ලකුණු 137 නිසා නියමිත පන්දුවාර 60 තුළ 334/4ක් ලෙස ලකුණු ලැබූ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ පමණක් නොව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී ද ලකුණු 300 ඉක්මවූ මුල්ම කණ්ඩායම ඔව්න් බවට පත්විය

ඩෙනිස් ඒම්ස් ඉන්දීය පිලට එරෙහිව පන්දුවට පහරදෙමින් (getty images)

ඩෙනිස් ඒම්ස් සතු තවත් සුවිශේෂී වාර්තා 3ක් පවතී. එනම් එක්දින ශතකයක් ලැබූ මුල්ම පිතිකරුවා වීම, මංගල එක්දින තරගයේ ශතකයක් ලැබූ මුල්ම පිතිකරුවා වීම. ඔහු 1972 වසරේ ඕල්ට්‍රැෆඩ් පිටියේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව මෙම වාර්තා දෙක පිහිටු වීය.

මීට අමතරව ඔහු 1977 වසරේ ඕවල් පිටියේ දී කැංගරුවන්ට එරෙහිව ඔහුගේ එක්දින දිවියේ අවසන් තරගයේ දී ලබා ගත් ශතකයත් සමඟ මුල්ම හා අවසන් එක්දින තරගවල ශතක ලැබූ මුල්ම පිතිකරු බවට ඒම්ස් පත්විය. ඒම්ස්ට අමතරව පසුව එම දස්කම් දැක්වූ එකම ක්‍රීඩකයා වූයේ කොදෙව් ක්‍රීඩක ඩෙස්මන්ඩ් හේන්ස්‍ ය.

ප.ලි- මීට අමතරව ක්‍රිකට් හිස් ආවරණය ක්‍රිකට් පිටියට මුල්මවරට හදුන්වා දීමේ ගෞරවය මොහුට හිමි වේ. මොහු එකල බයිසිකල් හෙල්මටයක් මගින් සැකසූ හිස් ආවරණයක් භාවිතා කළ බව කියවේ.

ඩෙනිස් ඒම්ස් ලකුණු 137කට මදන් ලාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අවස්ථාව (gettyimages)

දීර්ඝතම ලෝක කුසලාන ඉනිම

1975 ලෝක කුසලාන තරගාවලියේ මුල්ම දිනයේ දක්නට ලැබුණු අනිත් සුවිශේෂී ඉනිම වූයේ නවසීලන්ත නායක ග්ලේන් ටර්නර් නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දු 201කින් නොදැවී ලබා ගත් ලකුණු 171යි. මෙය 1983 ලෝක කුසලාන තරගාවලියේ කපිල් දේව් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක් ලබාගන්නා තුරුම ලෝක කුසලාන තරගවල හා එක්දින තරගවල හොඳම ඉනිම ලෙස වාර්තා අතරට එක්ව තිබුණි. මීට අමතරව මෙම ඉනිම සතු සුවිශේෂීම වාර්තාව වන්නේ යම් පිතිකරුවෙකු එක්දින ඉනිමක පන්දු 200කට වඩා පන්දුවට පහර දුන් එකම අවස්ථාව මෙයයි.

ග්ලේන් ටර්නර් (gettyimages)

ඕල්ඩ්ගේ වේගවත් ඉනිම

ඉන්දීය පිලට එරෙහිව පන්දු 30කින් අර්ධ ශතකයක් වාර්තා කල එංගලන්ත පිතිකරු ක්‍රිස් ඕල්ඩ් ලෝක කුසලාන තරගවල මෙන්ම එක්දින තරගවල ද වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේය.

ඔහුට පෙර වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබුණේ නවසීලන්ත කඩුලු රකින්නෙකු වූ කෙන් වැඩ්ස්වර්ත්‍ය. ඕල්ඩ් ලෝක කුසලාන තරගවල වේගවත්ම අර්ධ ශතකය ලබා ගනිමින් එදා පිහිට වූ වාර්තාව 1983 ලෝක කුසලාන තරගාවලියේ දී ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට එරෙහිවත් 1992 ලෝක කුසලාන තරගාවලියේ මාටින් ක්‍රෝ සිම්බාබ්වේට එරෙහිවත් සම කළේය. නමුත් මෙම වාර්තාව බිඳ හෙලීමේ ගෞරවය හිමි කර ගත් අර්ජුණ 1996 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාවට එරෙහිව පන්දු 29කින් අර්ධ ශතකයක් ලබා ගත්තේය. මෙම වාර්තාවේ වර්තමාන හිමිකරු වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 18කින් අර්ධ ශතකයක් ලබාගත් බ්‍රෙන්ඩන් මැකලම්‍ ය.

ඩෙනිස්  ලිලීගේ කඩුලු 5

ලෝක කුසලාන එක්දින තරගයක කඩුලු 5ක් දවා ගත් මුල්ම පන්දු යවන්නා බවට පත්වූයේ ඩෙනිස් ලිලීය. ඔහු ආරම්භක දිනයේ පකිස්තානයට එරෙහිව 34/5ක් ලෙසින් කඩුලු ලබා ගනිමින් මෙම දස්කම් දැක්වූ අතර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද පන්දු යවන්නෙකු කඩුලු 5ක් වාර්තා කළ මුල්ම අවස්ථාව මෙය විය.

ඩෙනිස් ලිලී පකිස්තානු නායක අසීෆ් ඉක්බාල්ව ලකුණු 53කට දවාගත් අවස්ථාව (gettyimages)

ගවස්කාර්ගේ ගොළුබෙලි ඉනිම

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 335ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් පන්දු 174කින් එක් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් ලෝක කුසලාන ඉතිහාසයේ පමණක් නොව සමස්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේම පිතිකරුවෙකු ක්‍රීඩා කළ මන්දගාමීම ඉනිම ක්‍රීඩා කළේය.

ගවස්කාර්ගේ මන්දගාමී ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකාවට එක්දින වරම්

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඕල්ඩ්ට්‍රැෆර්ඩ් පිටියේ දී සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ ද බර්නාඩ් ජූලියන් 20/4ක් හා කීත් බොයිස් 22/3ක් ලෙසින් සිදු කළ දක්ෂ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා පිලේ සියලුම පිතිකරුවන් ලකුණු 86කට දැවී ගියේය. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් මුල්මවරට ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය අවස්ථාව මෙය විය.

කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් හා ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් කාසියේ වාසිය උරගා බලන අවස්ථාව (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<