මෙවර ලෝක කුසලානයේ නායකයෝ

586

2019 ICC ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ අටියෙන් කණ්ඩායම් 10 ක් තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලාන තරග විනිශ්චයට වැඩිම සහභාගිත්වය ශ්‍රී ලංකාවෙන්

ලබන මැයි මස අවසානයේ සිට එංගලන්තය සහ වේල්ස් හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්..

සිය රටේ වගකීම දරන නායකයින් ගැන විස්තර සැකෙවින් ඔබ වෙත ගෙන එන්නට ThePapare.com අප සිතුවා. මේ ලෝක කුසලානයේ නායකයින්ගේ වතගොතයි.

මෙවර කණ්ඩායම් නායකයින් අතරින් නායකයින් තිදෙනෙක් වන ඔයින් මෝර්ගන්, මශ්‍රෆී මොර්ටාසා සහ ජේසන් හෝල්ඩර් මීට පෙර ද ලෝක කුසලනයන් හිදී කණ්ඩායම් මෙහෙයවා ඇති අතර අනෙක් නායකයින් හත් දෙනාගේ මංගල ලෝක කුසලාන නායකත්ව අත්දැකීම මෙය වනු ඇත.

  • ඇෆ්ගනිස්තානය – ගුල්බදින් නයිබ්

ගුල්බදින් නයිබ් නායකයෙකු ලෙස සිය මංගල ජාත්‍යන්තර තරගය මෙහෙයවන්නේ එළඹෙන ලෝක කුසලානයේදී වීම විශේෂත්වයක්. ලෝක කුසලාන සංචිතය නම් කිරීමට දින කිහිපයකට පෙර නායකයා ලෙස ගුල්බදින් නයිබ් ව නම් කළේ ඇෆ්ගනිස්තාන නායකත්වයෙන් අස්ගාර්ව ඉවත් කරමින්. නයිබ් මේ වනවිට එක්දින තරග 52ක් ක්‍රීඩාකර ඇති අතර ඔහු එහිදී ලකුණු 807ක් රැස් කරගෙන සිටින්නේ කඩුලු 40ක් ද තමන්ගේ නමට ලියා ගනිමින්.

නායකයෙකු ලෙස අත්දැකීම් නොමැති නයිබ්ට එළඹෙන ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සාර්ථකව මෙහෙයවන්නට හැකි වෙයිද?

  • ඕස්ට්‍රේලියාව – ඒරන් ෆින්ච්

2018 වසරේ ඔක්තෝබර් මස ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියාවේ එක්දින නායකයා ලෙස නම් කළ අතර එතැන් පටන් ඔහු මෙහෙයවූ තරග 18න් තරග 10ක් ම ජය ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්. ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය 56% ක් වන අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ එක් ජයක් හැරුණු කොට අනෙක් සියලු ජයග්‍රහණ මේ වසරේදී වාර්තා වීම ද විශේෂත්වයක්. ෆින්ච් මෙම වසර මුලදී එතරම් පිත්තෙන් දස්කම් දැක්වීමට අසමත් වුණත් නිමාවූ පාකිස්තාන සංචාරයේදී ඔහු ශතක දෙකක් සමඟින් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.

  • බංගලාදේශය – මශ්‍රාෆී මොර්ටාසා

2015 වසරේදී මශ්‍රාෆි මොර්ටාසා ගේ නායකත්වය යටතේ බංගලාදේශය පළමු වතාවට ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වුණා.

කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් වන මොර්ටාසා ලෝක කුසලනයකදී බංගලාදේශය මෙහෙයවන්නේ දෙවන වරටයි. 2015 වසරේදී ඔවුන් සිය කාණ්ඩයේ සිව්වන ස්ථානය දිනාගත්තේ එංගලන්තයට, ඇෆ්ගනිස්ථානයට සහ ස්කොට්ලන්තයට ඉහළින් රැඳෙමින්. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණා. ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසුණේ ප්‍රබල එංගලන්තය ලකුණු 15කින් පරාජය කරමින්. මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් ඉතා සාර්ථක නායකයෙක් වන අතර ඔහු තමා මෙහෙයවූ තරග 73න් තරග 40ක් ජය ගන්නට සමත්වී තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් සංචිතය හදිසියේ වෙනස් වෙයි

කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ සෑම් බිල්න්ග්ස් වෙනුවට..

  • එංගලන්තය – ඔයින් මෝර්ගන්

2015 වසරේ සිට ඔයින් මෝර්ගන් තරග 76 කදී එංගලන්තය මෙහෙයවා ඇති අතර ඔවුන් ඉන් 50 ක් ජය ගැනීම විශේෂත්වයක්.

මෝර්ගන් ප්‍රබල එංගලන්ත එක්දින කණ්ඩායමේ ප්‍රධානතම පුරුකක් වන අතර 2015 වසරේදී ඔවුන් ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමෙන් පසුව ඔවුන් කෙමෙන් කෙමෙන් ක්‍රිකට් පිටියේ ප්‍රබල බලවේගයක් බවට පත්වුණා. එංගලන්තය මේ වනවිට ලොව එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ සිටින කණ්ඩායමයි. ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානය ජයගත හැකිම කණ්ඩායමක් ලෙස නම් දරාගෙනයි. ඔවුන් තවමත් ලෝක එක්දින ක්‍රිකට් කිරුළක් දිනාගෙන නොමැති අතර මෙවර ලෝක කුසලානය ඔවුන්ගේ රටේදීම පැවැත්වීම ඔවුන්ට ප්‍රබල වාසියක් වනු නොඅනුමානයි.

  • ඉන්දියාව – විරාට් කෝලි

ලෝක කුසලානය දිනා ගැනීමේ අරමුණින් ඉන්දියාව, එංගලන්තය කරා පිටව යන්නේ විරාට් කෝලි ගේ නායකත්වයෙන්. තරග ජය ගැනීමේ ප්‍රතිශතය 73.88%ක් ලෙස පවත්වා ගනිමින් ඉන්දියාව මෙවර ලෝක කුසලානයට පිවිසෙන්නේ කෝලි යටතේ ක්‍රීඩාකළ තරග 68න් තරග 49ක් ජය ගනිමින්. විරාට් කෝලි යටතේ ඔවුන් 2017 වසරේ ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයටද පැමිණීමට සමත් වූ අතර අවසන් තරගයේදී ඔවුන් පාකිස්තානය හමුවේ පරාජය වුණා. විරාට් කෝලි පළමු වතාවට ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක දී මෙහෙයවන්නේ කුසලානය අපේක්ෂාවෙනුයි.

  • නවසීලන්තය – කේන් විලියම්සන්

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහා තරගයට පිවිසීමට සමත්වූ නවසීලන්ත කණ්ඩායමේ වගකීම භාරව කටයුතු කරන්නේ කේන් විලියම්සන්. බ්‍රෙන්ඩන් මැකලම්ට පසුව නායකයා බවට පත් වූ ඔහු ක්‍රිකට් පිටියේ ඉතා සන්සුන් චරිතයක් බවට ප්‍රසිද්ධයි .කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා ද වන ඔහු යට‍තේ නවසීලන්ත ජයග්‍රහණ ප්‍රතිශතය 53.96%කි.

  • පාකිස්තානය – සෆ්රාස් අහමඩ්

සෆ්රාස් අහමඩ් යටතේ පාකිස්තානය 2017 වසරේ ICC ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර මෙවරත් අනෙක් කණ්ඩායම් මවිත කරන්නට ඔවුන් සූදානමින් සිටියි. ඔහු යටතේ පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය 61.76%ක් වන්නේ ඔහු මෙහෙයවූ තරග 35න් තරග 21ක් ජයගනිමින්. සෆ්රාස් ප්‍රබල මැදපෙළ පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙක් ලෙස කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරකයෙක් ලෙස ක්‍රීඩා කරයි.

  • දකුණු අප්‍රිකාව – ෆෆ් ඩු ප්ලේසිස්

නායකයින් ලැයිස්තුවේ සාර්ථකම නායකයා වන්නේ දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලේසිස්. ඔහු නායකයා ලෙස කටයුතු කළ තරග 30න් දකුණු අප්‍රිකාව පරාජය වී ඇත්තේ තරග 5ක් පමණක් වීම විශේෂත්වයක්. ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 83.33%ක් ලෙසයි. 2018 වසර ආරම්භයේ සිට දකුණු අප්‍රිකාව පරාජය වී ඇත්තේ එක් එක්දින ක්‍රිකට් තරගාවලියක් පමණයි. ඔවුන් තරගාවලි පහක් තමන්ගේ නමට ලියා ගන්නට ද සමත් වුණා. ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.54ක් ලෙස පවත්වා ගනිමින් ෆෆ් කණ්ඩායමට එක්වන්නේ ප්‍රබල මැදපෙළ පිතිකරුවෙක් ලෙසයි.

  • ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න

තරගාවලියේ අත්දැකීම් අඩුම නායකයා වන දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2015 වසරේ ලෝක කුසලානයේදී වීම විශේෂත්වයක්. නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග සහ අකිල ධනංජය වැනි ප්‍රබල, අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත්ව ඇති නිසා කණ්ඩායමේ වැඩි බරක් ඔහු මත පැවරෙනු ඇත. මෙම වසර මුලදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ වාර්තාගත තරගාවලියක් නිමා කරමින්. ඔහු මේ වනවිට තරග 17 කදී ලකුණු 190ක් පමණක් රැස් කරගෙන ඇතත් ඉතා හොඳ ටෙස්ට් වාර්තාවකට හිමිකම් කියන ඔහු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වෙනවා.

  • බටහිර ඉන්දීය කොදෙව් – ජේසන් හෝල්ඩර්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ලෝක කුසලාන ද්විත්වය 1975 වසරේ සහ 1979 වසරේ දිනාගත් අතර එම ලෝක කුසලාන දෙකේදීම කණ්ඩායම මෙහෙයවූ ක්ලයිව් ලොයිඩ් ගේ අඩිපාරේ යන ජේසන් හෝල්ඩර්, මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වනු ඇත. 27 හැවරිදි හෝල්ඩර් මෙවර තරගාවලියට එක්වන ලාබාලතම නායකයායි. ඔවුන් 2014 වසරේ සිට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට අසමත්ව තිබුණද අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟින් මෙවර ලෝක කුසලානයට එන කොදෙව්වන්, ප්‍රබල කණ්ඩායම් සියල්ලට අභියෝගයක් වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<