කිසිවකුගේ වැඩි අවධානයකින් තොරව ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටිමින් එංගලන්තය බලා පියාසර කරන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම, මෙවර ශූරයින්ගේ කුසලානය ජය ගනු තබා අවසන් පූර්ව වටයට හෝ පිවිසේවි යැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැත.

කුසලානයේ අවසන් නවාතැන ඉන්දියාව ද? පාකිස්තානය ද?

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට ද නැතිනම් පකිස්තානයට ද යන්න තීරණය කරනු ලබන තීරණාත්මක අවසන් මහා තරගය..

කෙසේ වෙතත් ඉතිහාසගත වාර්තාවලට වඩා වැදගත් වන්නේ එම මොහොතේ එකම කණ්ඩායමක් ලෙසින් පිටියට ගොස් තරග වැදීම බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ පාකිස්තානය අද (18) ප්‍රබල ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින් 2017 ශූරයින්ගේ කුසලානයේ සාඩම්බර හිමිකරුවන් බවට පත්විය.

කාසියේ වාසිය දිනා ගන්නට තරම් වාසනාවන්ත වූ ඉන්දියානු නායක විරාත් කෝලි දෙවරක් නොසිතාම පන්දු යැවීම තෝරා ගත්තේ තම කණ්ඩායම කවදත් ලකුණු හඹා යෑමේ දී දක්වා ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. ඒ හැරුණු විට පසුගිය තරග කිහිපයේ දී ම පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගැනීම ද කෝලිගේ මෙම තීරණයට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් අද ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් පිටියේ සැකසී තිබුණේ පිතිකරුවන්ටම සුවිශේෂී වූ තණතීරුවක් බව විචාරක මතය බවට පත්විය.

ඉන් උපරිම වාසි සලසා ගත් පාකිස්තානුවන්, පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් බිහි කළේ ඉන්දියානුවන්ට නැවත නැවතත් සිතා බැලීමට බොහෝ කරුණු කාරණා ඉතිරි කරමිනි. අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය මට්ටු කිරීමට ද පිත්තෙන් මනා සහයෝගයක් ලබා දුන් අසාර් අලි, අදත් අර්ධ ශතකයක් රැස් කරමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය. පන්දු 71ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 59ට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

නවක ක්‍රීඩකයෙකු වශයෙන් මෙවර ශූරයින්ගේ කුසලානයේ දී තම එක්දින වරම් දිනා ගන්නා ෆකාර් සමාන්, අද ලකුණු 3ක් ලබා සිටිය දී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමින් ක්‍රීඩාගාරය දෙසට පිය නැගූවද, දෛවය මෙම තරුණ පිතිකරුවාට තවත් එක් අවස්ථාවක් ලබා දීමට තීරණය කොට තිබුණි. ඒ ජස්ප්‍රිට් බුම්රාහ් යැවූ පන්දුව සීමා ඉර ඉක්මවා ගොස් තිබූ බව විනිසුරුවරුන් සටහන් කිරීමත් සමඟයි. කිසිවෙකුත් නොසිතූ පරිදි තම හිස මත කඩා වැටුණු වාසියෙන් උපරිම ඵල නෙලා ගත් ෆකාර් සමාන් විශිෂ්ට ශතකයක් වාර්තා කර ගනිමින් සම්පූර්ණ තරගයම කණපිට හැරවූ ක්‍රීඩකයා බවට පත්විය.

එක්දින දිවියේ තම මංගල ශතකය ලෙසින් ෆකාර් සමාන් අද පන්දු 106කින් ලකුණු 114ක් රැස් කිරීමට සමත් වූයේ ඉන්දියානු පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර එල්ල කරමිනි. ඔහුගේ ඉනිම දර්ශනීය හතරේ පහර 12කින් සහ දැවැන්ත හයේ පහර 3කින් වර්ණවත් විය. මේ වන විට 27 වැනි වියේ පසු වන මෙම නවක වමත් පිතිකරුවා පාකිස්තානුවන්ට මෙවර ශූරයින්ගේ කුසලානය දිනා දී ම සඳහාම කණ්ඩායමට එක්වුණු වෙස්වලාගත් සුරදූතයෙකු ලෙසින් සැලකීම වරදක් නොවනු ඇත. මීට පෙරද තරගාවලියේ තීරණාත්මක අවස්ථාවන් දෙකක දී ඔහු අර්ධ ශතක දෙකක් රැස්කර ගැනීමට සමත් විය.

අද අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි බාබර් අසාම් ද කණ්ඩායමේ තම වගකීම මැනවින් වටහා ගනිමින් ලකුණු 46ක් රැස් කර ගත්තේය. සම්පූර්ණ පාකිස්තානු පිතිපෙළම ලකුණු අතරට පිවිසි අද දිනයේ තරමක් දුරට හෝ අසාර්ථක වූයේ අත්දැකීම් සහිත ක්‍රීඩක ශොයිබ් මලික් පමණි. ඔහු අද ලකුණු 12කට දැවී ගියේය. ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු වේගය ඉහළ දමා දුන් මොහොමඩ් හෆීස් පන්දු 37කින් නොදැවී ලකුණු 57ක් රැස් කරද්දී අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කිහිපය තරමක පාලනයකින් යුතුව ක්‍රියාත්මක කළ ඉන්දියානුවන් පාකිස්තානු කණ්ඩායම ලකුණු 350 සීමාවට මෙපිටින් නතර කර ගැනීමට සමත්කම් දැක්වූහ. කෙසේ වෙතත් පිතිකරුවන් තම කාර්‍යභාරය නිසි ලෙස ඉටු කිරීම නිසා පාකිස්තානයට කඩුලු 4ක් දැවී ලකුණු 338ක වාර්තාගත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවස්ථාව උදා විය. පන්දු යැවීමේ දී කෙඩාර් ජාදෙව්, බුවනේශ්වර් කුමාර් සහ හාර්දික් පාණ්ඩ්‍යා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ඒ අනුව ශූරයින්ගේ කුසලානයේ පහස විඳ ගැනීමට නම් ලකුණු 339ක ඉලක්කයක් හිමිවුණු ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු ආරම්භක පන්දු වාරයේ දී ම බිඳ දැමීමට මොහොමඩ් ආමීර් සමත් විය. ඒ රෝහිත් ශර්මාව ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එතකින් නොනැවතුනු ඔහු තෙවැනි පන්දුවාරයේ දී සුපිරි හඹා යන්නෙකු වශයෙන් නම් දරා සිටින විරාත් කෝලිව ද ලකුණු 5කට දවා ගත්තේය. විරාත් දැවී යාමට පෙර පන්දුවේ දී ස්ලිප් කලාපයට ලබා දුන් උඩපන්දුව පාකිස්තානුවන් බිම දැමූව ද ඉන් ප්‍රයෝජන ගැනීමට ඔහු අසමත් වීම සමස්ත ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේම දැඩි සංවේගයට හේතු විය.

ගියවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ වීරයා බවට පත්වූ ශිකර් ධවාන් සහ යුවරාජ් සිං පිළිවෙළින් ලකුණු 21ක් සහ 22ක් බැගින් ලබා ගනිමින් ඉන්දියාව වැටුණු වලෙන් ගොඩ ගැනීමට උත්සාහ දැරූව ද, එය සාර්ථක නොවීය. විශේෂයෙන්ම යුවරාජ්ගේ කඩුල්ල මුවා කිරීම විනිසුරුවරයා නිශ්ප්‍රභ කළ ද, තවමත් වයස අවුරුදු 18 පසු වන ශදාබ් කාන් තම නායකයාගෙන් දැඩිව ඉල්ලා සිටියේ එම තීරණය අභියෝගයට ලක් කරන ලෙසයි. අවසානයේ මෙම නව යොවුන් ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය නිසා පාකිස්තානුවන්ට තවත් වටිනා කඩුල්ලක් හිමි විය.

පාකිස්තානයෙන් එල්ල වන දරා ගත නොහැකි දැඩි පීඩනය හමුවේ ප්‍රති ප්‍රහාරයක් (Counter-attack) එල්ල කරමින් නැවතත් තරගයට පිවිසීමට උත්සාහ දැරූ එම්. එස්. දෝනිට සහ කෙඩාර් ජාදෙව්ට ද අවසානයේ සිදු වූයේ නැවතත් ක්‍රීඩාගාරයටම හැරී යන්නටයි. මේ වන විට දණ්ඩෙන් පහර කෑ නාගයෙකු ලෙසින් පිටියේ රැඳී සිටි හාර්දික් පාණ්ඩ්‍යා ස්ලොග්-ස්වීප් පහර කිහිපයක්ම ප්‍රේක්ෂකයින් අතරට එල්ල කරමින් වේගවත් පිතිකරණයට මුළ පිරූවද රවින්ද්‍ර ජඩේජාගේ නොසැලකිල්ල හේතුවෙන් ඔහුට දුවද්දී දැවී යාමට සිදු විය.

ඒ වන විට ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් පන්දු 43ක් තුල දී ප්‍රවේගකාරී ලකුණු 76ක් රැස්කර තිබුණි. ඉන්දියානුවන්ගේ අවසන් බලාපොරොත්තුව ද බොඳ කරමින් ඔහු ක්‍රීඩාගාරයට හැරී යාමත් සමඟ පාකිස්තානු ජයග්‍රහණය ස්ථිර විය. ඒ අනුව ප්‍රබල ඉන්දියානු පිතිකරණ බල ඇණිය පාසල් කණ්ඩායමකටත් වඩා පහළ තත්ත්වයකට ඇද දැමූ පාකිස්තානුවන් අද ඔවුන්ව ලකුණු 158කට දවා ගත්හ. පන්දු යැවීමේ දී මොහොමඩ් ආමීර් සහ හසන් අලි කඩුලු 3 බැගින් දවා ගත් අතර නව යොවුන් පා දඟ පන්දු යවන ක්‍රීඩක ශදාබ් කාන් කඩුලු 2ක් බිඳ හෙලීය.

විශේෂයෙන්ම වසර ගණනාවක සිට තම මව්බිමේ ක්‍රිකට් අහිමිව සිටින, ලොව දුර්වලම ආර්ථිකයක් හිමි ක්‍රිකට් පරිපාලනයක් සහිත පාකිස්තානුවන් සමස්ත ලෝකයටම අභියෝගයක් එල්ල කරමින් ශූරයින්ගේ කුසලානය දිනා ගැනීම පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ නව පුනරුදයක් ඇති කිරීමට හේතු වනු ඇත. අවසානයේ විදෙස් රටවල් වලින් එල්ල වුනු සියලු නින්දා අපහාස දරා ගනිමින් තම මව්බිම ශූරතාවය දිනා ගන්නා තුරුම පාකිස්තානය වෙනුවෙන් අදහස් දැක්වූ ජාත්‍යන්තර විස්තර විචාරක රමීස් රාජාගේ අනාවැකි සැබෑ කරමින් පාකිස්තානු කණ්ඩායම 2017 වර්ෂයේ ශූරයින්ගේ කුසලානයේ සැබෑ හිමිකරුවන් බවට පත්විය.

පාකිස්තානය – කඩුලු 4ක් දැවී ලකුණු 338 (පන්දුවාර 50): ෆකාර් සමන් 114, අසාර් අලි 59, මොහොමඩ් හෆීස් 57*, බාබර් අසාම් 46, ඉමාඩ් වසීම් 25*, කෙඩාර් ජාදෙව් 1/27, බුවනේශ්වර් කුමාර් 1/44.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 30.3): හාර්දික් පාණ්ඩ්‍යා 76, යුවරාජ් සිං 22, ශිකර් ධවාන් 21, රවින්ද්‍ර ජඩේජා 15, මොහොමඩ් ආමීර් 3/16, හසන් අලි 3/19, ශදාබ් කාන් 2/60.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සම්මාන ලාභීන්

  • අවසන් තරගයේ වීරයා – ෆකාර් සමාන්
  • ස්වර්ණමය පිත්ත –  ශිකර් ධවාන්
  • ස්වර්ණමය පන්දුව – හසන් අලි
  • තරගාවලියේ වීරයා – හසන් අලි

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට