ICC වසරේ එක්දින සහ විස්සයි විස්ස කාන්තා කණ්ඩායම් එළිදකී

114

පසුගිය 2018 වසරේ කාන්තා ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එම වර්ෂය සඳහා වන වසරේ කාන්තා එක්දින කණ්ඩායම සහ විස්සයි විස්ස කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ.

රෝහිත් ශර්මාට නව වසරේ පළමු ටෙස්ට් තරගය අහිමි වේ

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව,,,,,

අත්දැකීම් බහුල නවසීලන්ත නායිකා සුසී බේට්ස් හට එක්දින කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යය හිමි වී ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය පැවරී ඇත්තේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ නයිකාව වන හර්මන්ප්රිට් කෞර් හටය.

පසුගිය වසර පුරාවට සිය කණ්ඩායම ඉතා දක්ෂ අයුරින් හසුරුවමින් පමණක් නොව ක්‍රීඩිකාවක් වශයෙන් පෞද්ගලිකව තම උපරිම දායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් නවසීලන්ත නායිකා සුසී බේට්ස් දැනට ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාවන් අතරින් කැපී පෙනෙන චරිතයක් බව අප සැවොම දන්නා කාරණයකි.

නවසීලන්ත කාන්තා පිල මෙහෙයවීමේ සියලු බර සිය කර මතට ගනිමින් ඇය ගෙවුණු 2018 වර්ෂයේ දී ICC කාන්තා ශූරතාවලියේ ප්‍රථම වට තුන අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා ඉහළට රැගෙන ඒමට ඉටු කළ කාර්යභාරය අගය කිරීම පිණිස මෙසේ ලෝක එක්දින කණ්ඩායමේ නායකත්වය ඇය වෙත ලබා දීමට ජූරිය විසින් තීරණය කරන ලදි. ICC කාන්තා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී 7 වැනි ස්ථානයේ පසුවන බේට්ස් පසුගිය වසරේ සහභාගී වූ තරග 7 තුල දී ශතක දෙකක් සහ එක් අර්ධ ශතයක් ද සමඟින් ලකුණු 438ක් වාර්තා කිරීමට සමත් විය.

සුසී බේට්ස්

මෙම පුවත සැලවීමත් සමඟ අමන්දානන්දයට පත් සුසී බේට්ස් සිය සතුට මෙසේ වදන් වලට පෙරලීය.

“වසරේ හොඳම එක්දින කණ්ඩායම තෝරාපත් කරගැනීම සඳහා මනාප ප්‍රකාශ කළ සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නට මම කැමති. ලෝකයේ දැනට සිටින අතිදක්ෂ ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකු මෙහෙයවීමට සුදුස්සා ලෙස තේරී පත් වීම ඉතාමත් සුවිශේෂී කාරණයක්. මම හිතනවා යම් දවසක මේ නම් කළ කණ්ඩායමට එකම තැනකට එකතු වෙලා එක කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබේවි කියලා. එය හීනයක් හැබෑවීමක්. නැවත වතාවක් සියල්ලන්ටම ස්තුතියි මෙම ගෞරව නාමය මට ලබා දීම පිළිබඳව.”

නොවැම්බර් මාසයේ නිමාව දුටු විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය තෙක් තම කණ්ඩායමට මැනවින් නායකත්වය ලබා දෙමින් පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළ ඉන්දීය නායිකා හර්මන්ප්රිට් කෞර් නිමා වූ 2018 වර්ෂයේ දී තරග 25ක් අවසානයේ දී ලකුණු 663ක් වාර්තා කිරීමට සමත් වූ අතර නවතම කාන්තා පිතිකරුවන් වර්ගීකරණ නාමාවලියේ තෙවැනි ස්ථානය ද තම නම ඉදිරියේ සටහන් කරගැනීමට ඇය සමත් වී තිබේ.

හර්මන්ප්‍රිට් කෞර්

“ඇත්තම කිව්වොත් මට නම් තවමත් අදහා ගන්න බෑ. මම පුදුම වුනා මුලින් මට මේ පණිවිඩය අහන්න ලැබුණු වෙලාවේ. ලෝක කුසලානයට කලින් අපිට ගොඩක් විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන්න ඉඩ ප්‍රස්තාවක් නොලැබීම නිසා මට  කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩනැගීම එතරම් පහසු වුනේ නෑ. මේ ගමන මට තනියම එන්න පුළුවන් ගමනක් නෙමේ. මෙහි සම්පූර්ණ ගෞරවය මගේ සහෝදර ක්‍රීඩිකාවන් සියලුම දෙනාට හිමි විය යුතුයි. ඔවුන්ගේ උත්සාහය සහ කැප වීමේ ප්‍රතිඵලයක් තමයි මම මේ අත්විඳින්නේ. ඉදිරියටත් කණ්ඩායම සමඟ දිගු ගමනක් යාමට ලොකු බලාපොරොත්තු රැසක් තියෙනවා.”

වසරේ කාන්තා එක්දින කණ්ඩායම

  1. ස්ම්රිටි මන්ධානා (ඉන්දියාව)
  2. ටැමී බියුමොන්ට් (එංගලන්තය)
  3. සුසී බේට්ස් (නවසීලන්තය) (නායිකා)
  4. ඩේන් වැන් නීකර්ක් (දකුණු අප්‍රිකාව)
  5. සොෆී විවයින් (නවසීලන්තය)
  6. ඇලයිසා හීලි (ඕස්ට්‍රේලියාව) (කඩුලු රකින්නිය)
  7. යේන්දා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව්)
  8. මැරිසේන් කැප් (දකුණු අප්‍රිකාව)
  9. සානා මීර් (පාකිස්තානය)
  10. සොෆී එක්ලෙස්ටෝන් (එංගලන්තය)
  11. පූනම් යාදව් (ඉන්දියාව)

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණය යළිත් වෙනස් වේ

පසුගිය 30 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ….

වසරේ විස්සයි විස්ස කණ්ඩායම

  1. ස්මිරිටි මන්ධානා (ඉන්දියාව)
  2. ඇලයිසා හීලි (ඕස්ට්‍රේලියාව) (කඩුලු රකින්නිය)
  3. සුසී බේට්ස් (නවසීලන්තය)
  4. හර්මන්ප්රිට් කෞර් (ඉන්දියාව)(නායිකා)
  5. නැටලි ස්කීවර් (එංගලන්තය)
  6. එලීසා පෙරී (ඕස්ට්‍රේලියාව)
  7. ඇෂ්ලෙහ් ගාඩ්නර් (ඕස්ට්‍රේලියාව)
  8. ලෙහ් කැස්පරෙක් (නවසීලන්තය)
  9. මේගන් ෂුට් (එංගලන්තය)
  10. රුමානා අහමඩ් (බංග්ලාදේශය)
  11. පූනම් යාදව් (ඉන්දියාව)

ඉන්දියාව වෙනුවෙන් ස්මිරිටි මන්ධානා සහ පූනම් යාදෙව් මෙන්ම නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිළිවෙළින් සුසී බේට්ස් සහ ඇලයිසා හීලී ලෝක එක්දින සහ විස්සයි විස්ස කාන්තා කණ්ඩායම් දෙකම නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබීම වඩාත් කැපී පෙනේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<