ෆින්ලන්තයට ගිය පොඩ්ඩෝ දිවයිනට

321

ෆින්ලන්තයේ ටැම්පර් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට (IAAF- අවුරුදු 20න් පහළ) සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන (18) දිවයිනට පැමිණියේය.

තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විශාලතම සංචිතය ලෙස ද මෙම යොවුන් සංචිතය සැලකේ. තරගාවලිය අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට  කෙන්යාව සමත් වූ අතර ප්‍රබල ජැමෙයිකාව සහ ඇමෙරිකාව පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීම ද කැපී පෙනිණ. තරගාවලිය පුරාවට එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවද සමස්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වීම විශේෂත්වයකි.

ජූලි 10 සිට 15 දක්වා දින 6ක් මුළුල්ලේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී, සීත කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් අතර ඒ හේතුව නිසාම පදක්කම් බලාපොරොත්තු කිහිපයක්ම රටට අහිමි වී ගියේ කණගාටුදායක ලෙසිනි. ඒ අතරින් මීටර් 400 බාලක ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ අරුණ දර්ශනට අර්ධ අවසාන වටයෙන් නතර වන්නට සිදු වූ අතර තත්පර 46.75ක කාලයක් වාර්තා කළ අරුණට එහි දී හිමි වූයේ 5 වන ස්ථානයයි.

යොවුන් ආසියානු රන් පදක්කම්ලාභි පාරමී වසන්තිට ද තෝරා ගැනීමේ වටයේ දී ම නතර වන්නට සිදු විය. ඒ මිනිත්තු 10.20.12ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ 5 වන ස්ථානයෙහි රැඳෙමිනි. නමුත් ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී තම හොඳම කාලය සමඟින් ජාතික කනිෂ්ඨ වාර්තාව අලුත් කිරීමට සමත් විය.

මීටර් 800 බාලිකා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ දිලිෂි කුමාරසිංහට ඇතිවූ පාදයේ ආබාධය නිසාවෙන් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ අතර මීටර් 100 බාලිකා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ අමාෂා ද සිල්වා හට අවසන් පූර්ව වටයෙන් ඉවත් වන්නට සිදු විය. ඇය තෝරා ගැනීමේ වටයේ දී තත්පර 11.75ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට තේරී පත්වුන අතර අවසන් පූර්ව වටයේ දී තත්පර 11.86ක කාලයක් වාර්තා කළ ඇයට හිමි වූයේ 8 වන ස්ථානයයි.

වැඩි දෙනාගේ අවධානය දිනා ගත් මීටර් 400*4 බාලක සහ බාලිකා සහය දිවීමේ ඉසව් අතරින් බාලිකා සහය දිවීමේ කණ්ඩායම පළමු වටයේ දී මිනිත්තු 3.51.02ක කාලයක් වාර්තා කරමින් 6 වන ස්ථානය දිනා ගත්තේය. සචිනි දිව්‍යාංජලි හදිසියේ මතුවූ අසනීප තත්වයක් නිසා තරග ආරම්භය සඳුමිනි බණ්ඩාර ක්‍රීඩිකාවට පැවරීම ද විශේෂත්වයකි.

නමුත් ආසියානු යොවුන් ශූරයන් ලෙස තරග බිමට පිවිසි බාලක සහය දිවීමේ කණ්ඩායම පළමු වටයේ දී මිනිත්තු 3.08.88ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගත්තේය. ඒ අනුව ඔවුන් අවසන් මහා තරගයට තේරී පත්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ලෝක ශූරතා තරගාවලියක අවසන් මහා තරගයකට සහභාගී වූ පළමු සහය දිවීමේ කණ්ඩායම ලෙස වාර්තා පොත් අතරට එක් වෙමිනි. අවසන් තරගයේ දී මිනිත්තු 3.09.38කින් තරගය අවසන් කළ බාලක කණ්ඩායම ඉසව්වේ 8 වන ස්ථානය දිනා ගත්තේය.

නිමාවූ තරගාවලියේ ලද ජයග්‍රහණ සහ පරාජයන් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු අත්දැකීම් තුලින් මලල ක්‍රීඩාවේ අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි බව විචාරකයින්ගේ මතය වී තිබේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<