ජපන් වික්‍රමය සමාජ මාධ්‍ය ජාලා කලඹයි

85

රග්බි ලෝකයේ පතාක යෝධයෙකු දහස් සංඛ්‍යාත වූ තම ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ දණින් වැට්ටූ ජපන් කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ දිනයේ දී (28) වාර්තා කළ එම පෙරළිකාර ජයග්‍රහණය පිළිබඳ හිටපු රග්බි ක්‍රීඩකයින්,විචාරකයින් මෙන්ම  ප්‍රේක්ෂකයින් ද තම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදාහදාගෙන තිබෙනු සුලභව දක්නට ලැබුණි. 

සත්කාරක දේශයේ ප්‍රහාරයෙන් රග්බි ලෝකය උඩුයටිකුරු වෙයි

දිනෙන් දින උණුසුම් වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සතියේ අන්තය ආරම්භ කරමින් අද (28) පැවති මූලික වටයේ තරගයන්ගෙන් ජය…

ඉන් වඩාත් කැපී පෙනුණු අදහස් කිහිපයක් මෙසේ සංක්ෂිතව ඉදිරිපත් කිරීමට අපි කල්පනා කළෙමු.

“සැලැස්මට අනුව වැඩේ සිද්ධ වුනේ නැහැ” – අයර්ලන්තය නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකුවන බ්‍රයන් ඕ’ඩිස්ක්‍රොල්

“තරගයට කලින් ගහපු සැලසුම් පිටියේ මැද දී නිසියාකාරව ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැරි වුනා. දැන් ඉතින් ඉතිරි තරග දෙකම අමතර ප්‍රසාද ලකුණුත් එක්ක දිනන්න වෙනවා වගේම අනෙක් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල දිහා බලන් ඉන්නත් සිද්ධ වෙනවා. පළවෙනි තරගය ක්‍රීඩා කරපු විලාසයත් එක්ක සසඳා බලද්දී ඇත්තටම කනගාටුයි. ඒ කොහොම වුනත් මම හදවතින්ම සුබ පතනවා ජපාන කණ්ඩායමට ඔවුන් අද දවසේ දී පෙන්නපු විශිෂ්ට ක්‍රීඩා විලාශයට.”

“ඇත්ත වශයෙන්ම කිව්වොත් උපරිමයෙන් තරගය රසවින්දා” – හිටපු එංගලන්ත නායක ලෝරන්ස් ඩලාලියෝ

“දෙවියනේ! මොකක්ද මම මේ අත්වින්ඳේ? හීනයක් ද නැත්නම් හැබෑවක් ද? ඇත්ත වශයෙන්ම කිව්වොත් මම උපරිමයෙන්ම තරගය රසවින්දා.12-3ක් වැනි ලකුණු පරතරයක ඉදන් ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරන්න ඔවුන් ගත්ත ඒ වෑයම සුවිශේෂී. 2015 බ්‍රියිට්න්හීදී අපි අත්විඳපු ඒ ප්‍රතිහාරය නැවත වතාවක් අද දවසේදිත් ඒ විදිහටම දැක ගන්න වරම් ලැබුණා.”

“තාමත් ඒ කියපු වදන් කිහිපය මගේ හිතේ දෝංකාර දෙනවා.” – හිටපු අයර්ලන්ත ක්‍රීඩක ගෝර්ඩන් ඩි’ආර්සි ජපන් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ජේමි ජෝසප් මහතා තරගයට පෙර දැක්වූ අදහස් නැවත ආවර්ජනය කරමින්

“තාමත් ඔහු එදා ඒ කියපු වචන කිහිපය මගේ හිතේ දෝංකාර දෙනාවා. අපි මේ තරගය සඳහා පෙර සූදානම් වෙන්නේ අවුරුද්දක විතර කාලසීමාවක ඉදන්. නමුත් අයර්ලන්තය මේ තරගය පිළිබඳ අවධානය යොමු කරන්නේ සඳුදා දිනයේ ඉඳන්.”

ආචාරය ජපන් ආරට

ලෝක ශූර “ඕල් බ්ලැක්ස්” කණ්ඩායම ජපානයට පැමිණියේ ප්‍රතිවාදීන්ට පහර දීමට අවි රැගෙන පමණක් නොවේ. ඔවුන් ජපානයට පැමිණ තිබුණේ ජපන් තාලයට…

“තීරණාත්මක අමතර ලකුණු” – හිටපු එංගලන්ත Fly Half ක්‍රීඩක ඇන්ඩි ගූඩි

“අවසන් තත්පර කිහිපයේ දී පන්දුව පිටියෙන් ඉවතට යන විදියට Joey Carbery විසින් එල්ල කරපු පා පහර පිළිබඳව දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා නැත්නම් විවේචනය කරනවා. සමහර විට ඔහු ඒ අවස්ථාවේ දී එහෙම තීරණයක් නොගත්තා නම් අයර්ලන්තයට සාපේක්ෂව ජපානයට ලකුණු ලබාගන්න වැඩි ඉඩකඩක් තිබ්බා. මොකද අයර්ලන්තයට උත්සාහක දිනුමක් වාර්තා කරන්න මීටර් 95ක විතර දුරක් ආවරණය කරන්න තිබ්බා.”

“ඉතින් මේ වගේ කාණ්ඩයක තරග කරන කොට අමතර ප්‍රසාද ලකුණක් කියන්නේ ඉතාමත් තීරණාත්මක සාධකයක්. ලකුණු පස්සේ ගිහිල්ලා සමහර විට ඒ වෙලාවේ මේ ලබාගත්ත ලකුණත් ඔවුන්ට අහිමි වෙන්න තිබ්බා.”

“අති විශිෂ්ට ජයග්‍රහණයක්” – අයර්ලන්ත රග්බි කණ්ඩායම් නිල twitter ගිණුමේ තැබූ සටහනක් උපුටා දක්වමින්.

“ජපාන රග්බි කණ්ඩායම අද දිනයේ තරග කළ ආකාරයට ඔවුන් තමයි නියම ජයග්‍රාහකයින් විය යුත්තේ. එසේ ළඟා කර ගත් එම අති විශිෂ්ට ජයග්‍රහණයට අපි සුබ පතනවා. අපි වෙනුවෙන් අවසන් මොහොතක දක්වා ජයඝෝෂා නංවමින් දිරිගැන්වූ සියලු දෙනාටමත් ස්තුතිය පුද කරනවා.”

“හොඳයි! හොඳයි! හොඳයි!” – වේල්සය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකුවන ජොනතන් ඩේවිස්

“හොඳයි! හොඳයි! හොඳයි! ජපාන කණ්ඩායමේ අද ක්‍රීඩා කළ විලාසය නම් පුදුමසහගතයි. ජපානය සහ ස්කොට්ලන්තය අතර තරගය නම් ඉතාමත් රසවත් එකක් වෙනවා නොඅනුමානයි.”

All Blacks සහ Springboks ගැටුම විසඳේ!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද (21) දිනයේ දී පැවති මූලික වටයේ තරග තුනකින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව,…

“රග්බි නීති රීති ගැන නම් මම දන්නේ නෑ” – ජපන් ප්‍රේක්ෂකයෙක් තම පෞද්ගලික twitter ගිණුම හරහා @aya_001a

“මට රග්බි නීති රීති ගැන නම් ලොකු අවබෝධයක් නැහැ. නමුත් දැන් මම සෑහෙන උනන්දුවෙන් සැදී පැහැදිලා ඉන්නේ ඊළඟ තරඟය නරඹන්න යන්න”

“මම ඇඬුවා” – ජපන් ප්‍රේක්ෂකයෙක් තම twitter ගිණුම හරහා @potapota3198

“මගේ ජීවිතයේ පළවෙනි වතාවට තමයි මම රග්බි තරගයක් අවසන් මොහොත දක්වාම නැරඹුවේ. අපි හැමෝම දැන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඇත්තටම මම ඇඬුවා. මේ ජයග්‍රහණය ලොකු දිරිමත් කිරීමක් ඉදිරි තරගවලට.”

AFP ඇසුරෙනි!

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<