ඔහු ලෝක කුසලානයට හොඳ බලාපොරොත්තුවක් ගෙනාවා – දිමුත්

450

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්ත අතර පසුගිය (21) පැවැත්වුණු ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 35කින් ජයගෙන 1-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ දී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් දවාගෙන ඉතාමත් හොඳ දස්කම් දැක්වූයේ ලෝක කුසලානය සඳහා ඔහු සූදානම් බව විදහා දක්වමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රබලයෝ 5ක් කැරිබියන් සටනට වෙන්දේසි වෙයි

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් ………..

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස්කර ගත්තේය. එය හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ස්කොට්ලන්තය සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් එම සබඳතාවය වැඩිදුර රැගෙන යාමට ප්‍රදීප් අවස්ථාව ලබා නොදුන්නේ නායක කයිල් කෝටේසර් හා කාලම් මැක්ලියාඩ් යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා දවා ගනිමිනි.

“ස්කොට්ලන්තය හෙමින් සීරුවේ හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඒක අපිට වදයක් වේගෙන එනකොට මම ප්‍රදීප් එක්ක කතා කරලා ඇහුවා වේගවත් හොඳ බවුන්සර් පන්දු ටිකක් දාලා දෙන්න පුළුවන් ද කියලා. ඔහු මම හිතුවටත් වඩා හොඳට ඒ දේ කළා. පස්සේ මැද පන්දුවාර ටිකේ ඔහුට පොඩි විවේකයක් දීලා අවසන් පන්දුවාර කිහිපයේ දී මම ඔහුව ආයිත් පන්දු යැවීම සඳහා කැඳෙව්වා.” යැයි කරුණාරත්න තරගයට පසුව මාධ්‍ය අමතමින් පවසා සිටියේය.

ස්කොට්ලන්ත ඉනිමේ අර්ධයක් පමණ අවසන් වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර නැවතත් තරගය ආරම්භ වූයේ පැය 2ක පමණ ප්‍රමාදයකට පසුවයි. අවසානයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 7ක් තුල ලකුණු 103ක ඉලක්කයක් හිමි විය.

අනතුරුව වේගවත් පිතිකරණයක නිරත වූ වමතින් පිතිකරණයේ නිරත වන ජෝර්ජ් මන්සි පන්දු 41ක් තුල ලකුණු 61ක් වාර්තා කරගත්තේ ස්කොට්ලන්තයට යම් බලාපොරොත්තුවක් ගෙන එමින් වුවත් නුවන් ප්‍රදීප් යොමු කළ යෝකර්ස් පන්දුවල පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස මන්සි හා ටොම් සෝල් දැවී ගියේය.

පන්දුව හිසේ වද්දා ගත් හිතුවක්කාර නායකයා

1996 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ එක්සත්……..

“මේ වගේ තත්ත්ව තුල යෝකර්ස් පන්දු යවනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. මොකද වැහලා තිබ්බ නිසා පිටිය තෙත් වෙලා තිබ්බේ. පන්දුව ලිස්සන ප්‍රමාණය වැඩියි. නමුත් ප්‍රදීප් ඔහුට දුන්න අවස්ථාවෙන් ලොකු දෙයක් පෙන්නුවා. ඒක අපේ කණ්ඩායමට ලොකු සවියක් ගෙනාව වගේම, ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ලොකු බලාපොරොත්තුවක් රැගෙන ආවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය.

පන්දු යැවීමෙන් නුවන් ප්‍රදීප් වැඩි දස්කම් දක්වද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් හා ලහිරු තිරිමාන්න වැනි පිතිකරුවන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පිවිසීමට සමත් විය.

“ගොඩක් කාලෙකට පස්සේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට ආවේ. ඒක ටිකක් අමාරු වුනත් හොඳින් මට ඒ දේ කරගන්න පුළුවන් වුනා. පළමු පන්දු ටිකේ දී නම් මට යම් ආකාරයක පීඩනයක් තිබ්බා. නමුත් ටික වෙලාවක් විකට් එකේ ඉන්න කොට ඒ දේ නිකන්ම ඇරිලා ගියා. දැවී යාමට ඉඩ තිබුණු අවස්ථාවන් දෙකකින් වගේ මම බේරුණා. කොහොම නමුත් මම ලබා ගත්තු ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ලකුණු අතරට එන්න ලොකු පිටිවහලක්  වෙයි කියලා මම හිතනවා.” යැයි කරුණාරත්න පවසන ලදි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දිමුත් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 322ක වගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න අවිශ්කත් ලොකු දායකත්වයක් ලබා දුන්නා. කාලෙකට පස්සේ පළමු කඩුල්ල වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දෙන්න අපි දෙන්නට පුළුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අවිශ්ක කියන්නේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවාසනාවට ඔහුට ශතකයකට යන්න බැරි වුනා. ඔහුගේ පිතිකරණ රටාව ඉතාමත් හොඳයි. දුර්වල පන්දුවක් දුටු විගස එයින් හොඳ ඵල නෙලාගන්න ඔහු දන්නවා.”

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකාව (මැයි 24) සහ ඕස්ට්‍රේලියාව (මැයි 27) සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 01 වැනිදා නවසීලන්තය සමඟ කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<